ජනපති අපේක්ෂකයන් වැඩි වීම රටට බරක්ද ?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මෑතකාලීන ජනාධිපතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ යාම සමාජ කතාබහකට ලක්ව තිබේ.
අපේක්ෂකයන් ප්‍රමාණය වැඩිවීමත් සමඟ ජනාධිපතිවරණයේ අපේක්ෂිත වියදම් සහ අවශ්‍යතා සෑම අතකින් ම පාහේ ඉහළ යාමත්, ඒ සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වීමත් එයට හේතුවයි.
එසේනම් අපේක්ෂකයන් වැඩි වීම ජනාධිපතිවරණය සංකීර්ණ කරන්නේ කෙසේද?
අපේක්ෂකයෙකු විය හැකි ආකාරය
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විය හැකි ආකාර දෙකකි. ඒ පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හෝ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමයි.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා රු.50,000ක ඇප මුදලක් ද, ස්වාධීන හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් රු.75,000ක ඇප මුදලක් ද මැතිවරණ කොමිෂන් සභාවේ තැන්පත් කළ යුතු ය.
එලෙස නියමිත දිනට ඇප මුදල් තැන්පත් කර නාමයෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතුරින් සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස නම් කිරීම සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩිවන අපේක්ෂක උනන්දුව
ජනාධිපති අපේක්ෂකයන් සයදෙනෙකුගෙන් සමන්විතව පැවති 1982 පළමු ජනාධිපතිවරණයෙන් පසුව පැවති 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ අපේක්ෂකයන් තිදෙනෙකු පමණි.
එය අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාවකින් මෙරට පැවති ජනාධිපතිවරණයයි. එතෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් පමණක් අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් 1994 පැවති ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබුණි.
1999 හා 2005 ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත්ව තිබූයේ අපේක්ෂකයන් 13 බැගින් ය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහල යන්නේ 2010 ජනාධිපතිවරණයේදීයි.
එම ජනාධිපතිවරණයේ දී තරග කළ අපේක්ෂකයන් සංඛ්‍යාව 22කි. එය 2015 දී 19කට අඩු වූ නමුත් 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙකු තරඟ කළ හ.
මෙවර 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ අතර අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙන ලදි. එම නාමයෝජනා 39 ම මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් පිළිගන්නා ලදි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක් තරගවදී.
අඩි දෙකක් දිගු වූ ඡන්ද පත්‍රිකාව
2019 වසරේ විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වීමත් සමඟ මෙතෙක් ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කෙරුණේ එම වසරේදී ය.
ඡන්ද පත්‍රිකාව අඟල් 24කට වඩා දිගු වූ අතර, ඒ අනුව අඩි දෙකක පමණ දීර්ඝ ඡන්ද පත්‍රිකාවක සිය ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයන් හට සිදුවිය.
ඡන්ද පත්‍රිකාව දිගු වීමත් සමඟ ඇතැම් දේශපාලන පක්ෂ සිය ඡන්ද සලකුණට අමතරව, සිය අපේක්ෂකයාගේ නම තිබෙන්නේ ඡන්ද පත්‍රිකාවේ කීවැනියාටදැයි යන්න පවා ප්‍රචාරණය කරන ලදි.
අපේක්ෂකයන් 35 දෙනෙකු එක් වූ එම ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවටත් වඩා 2024 ජනාධිපතිවරණ පත්‍රිකාව දීර්ඝ විය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය විශාල වන ආකාරය අනුව එක් ඡන්ද පෙට්ටියක් සඳහා දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය සීමා වීම හේතුවෙන් ඒ සඳහා වෙනත් හදිසි විකල්පයක් සැලසීමට 2019 දී මැතිවරණ කොමිසමට සිදු විය.
මෙම අවශ්‍යතාවය වෙනුවෙන් ඝණ කාඩ්බෝඩ් වලින් සාදන ලද ඡන්ද පෙට්ටි ඉතා ඉක්මනින් ම මැතිවරණ කොමිසම විසින් සූදානම් කරගන්නා ලදි.
එක් එක් ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව අනුව ලබා දුන් ඡන්ද පෙට්ටියේ විශාලත්වය වෙනස් විය.
මෙලෙස කාඩ්බෝඩ් පෙට්ටි සකස් කිරීමට මැතිවරණ කොමිසමට අමතර වියදමක් දැරීමට සිදු වූ අතර, ඒවා ප්‍රවාහනය සඳහා ද අමතර වියදමක් දැරීමට සිදු විය.
වැඩි අපේක්ෂකයන් ජනාධිපතිවරණය සංකීර්ණ කරන්නේ කොහොමද?
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය විශාල වනවාත් සමඟ ම කඩදාසි සහ මුද්‍රණය සඳහා වන වියදම පැහැදිලිව ම ඉහළ යයි.එසේම අපේක්ෂකයන් වැඩිවීමෙන් ඡන්ද ක්‍රියාවලියේ සංකීර්ණභාවය ඉහළ යා හැකිය.
2019 වසරේ සිදු වූ ආකාරයට ම මෙවර ද මැතිවරණ කොමිසම සතු ලී ඡන්ද පෙට්ටිවලට අමතර ව ඡන්ද පෙට්ටි සැපයීමට සිදුවීමට ඉඩ ඇති නිසා ඒ සඳහා ද අමතර වියදමක් දැරීමට මැතිවරණ කොමිසමට සිදු වනු ඇත.
ඡන්ද පෙට්ටි ප්‍රමාණය වැඩි වීම නිසා ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමටත්, ඒවායේ ආරක්ෂාව සඳහා යොදන නිලධාරීන් ප්‍රමාණයත් වැඩි කිරීමට සිදුවන අතර, ඡන්ද ගණන් කිරීම සඳහා ද විශාල කාලයක් ගත විය හැකි ය.
ඡන්දදායකයෙකු විසින් ඡන්දය සලකුණු කර කිහිපවරක් නවා ඡන්ද පෙට්ටිය තුළට දමන දීර්ඝ ඡන්ද පත්‍රිකාව නැවත දිගහැර අවම වශයෙන් තෙවරක් ගණන් කිරීමට නිලධාරීන්ට සිදුවේ.
කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක ප්‍රතිශතයක් ඉක්මවා ඡන්ද ලබා නොගතහොත් නැවත දෙවන හා තුන්වන මනාප ගණන් කිරීමට ද නිලධාරීන්හට සිදුවනු ඇත.
2019 දී මැතිවරණ වියදම් දෙගුණ වෙයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2015 හා 2019 ජනාධිපතිවරණ සඳහා වියදම් වූ මුළු මුදල සලකා බැලීමේ දී 2015ට සාපේක්ෂව 2019 දී වියදම් දෙගුණයකින් වැඩින් වී ඇති බව නිරීක්ෂණය වේ.
එක් එක් මැතිවරණයට පසුව මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද නිල වාර්තාවට අනුව 2015 ජනාධිපතිවරණය සඳහා රු. බිලියන 2.7ක් වැය වී ඇති අතර, 2019 දී එය රු. බිලියන 4.56කි.
2024 ජනාධිපතිවරණය සඳහා රු. බිලියන 10ක් වෙන් කර තිබේ.
විශේෂයෙන් ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම කිහිප ගුණයකින් ම වැඩි වී තිබේ.
2015 දී මිලියන රු. 76.5ක් වූ එම වියදම 2019 දී මිලියන 268ක් දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.
2019 ට සාපේක්ෂව කඩදාසි හා මුද්‍රණ වියදම් වර්තමානය වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීමත්, 2019ට වඩා අපේක්ෂකය්න් ද 2024 දී වැඩි වී තිබීමත් නිසා මෙම මුද්‍රණ වියදම් තවත් කිහිප ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන් ම මැතිවරණයේ සමස්ත වියදම්වලින් 2015 දී 48.125ක් වූ වැටුප්, අතිකාල, ප්‍රවාහන හා දීමනා වියදම් 2019 ජනාධිපතිවරණයේ දී සමස්ත වියදමෙන් 57.62ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2019 ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 72,808ක් යොදාගෙන තිබේ.
වර්තමානයේ පවතින ආර්ථික තත්වය අනුව මෙම වියදම් මෙවර තවත් ඉහළ අගයකට යනු ඇත.

'දරන්නා වූ හැම සතයක් ම මහජනතාවගේ බදු කාසි'
පසුගිය අගෝස්තු 14 දින මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙලෙස පිළිතුරු දුන්නේ ය.
"ජනාධිපතිවරණයේ දී සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ මතවාදයක් ජනතාව අතරට ගෙනයන සැබෑ තරගකරුවන් තරගයේ සිටීම වඩා යහපත්."
"අපේක්ෂකයන් වැඩිවනවාත් සමඟ වියදම වැඩිවෙනවා. මේ දරන්නා වූ සෑම සතයක් ම මේ රටේ මහජනතාවගේ බදු කාසිවලින් එකතු කරගන්න මුදල්."
"අපේක්ෂකයන් වැඩිවනවාට අපි කැමතියි. නමුත් එය සිදුවිය යුත්තේ යම් ආකාරයක ප්‍රතිපත්තිමය කාරණා තුළයි."
තැපෑල, ගුවන් කාලය සහ ආරක්ෂාව
1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතට අනුව එක් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයාට හිමිවන වරප්‍රසාද කිහිපයක් තිබේ.
එම පනතේ 117 වගන්තියට අනුව ගාස්තු ගෙවීමකින් තොරව නීතියේ දක්වා ඇති සීමාවන්ට යටත්ව ශ්‍රී ලංකා රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට එක් එක් අපේක්ෂකයාට කාලයක් හිමි වේ.
එම පනතේ ම 114 වන වගන්තිය අනුව තැපැල්පතිවරයාගේ සීමාවන්ට යටත්ව ගාස්තු ගෙවීමකින් තොර ව, සිය තෝරා පත්කර ගැනීම සම්බන්ධ ලේඛනයක් ලියාපදිංචි ඡන්ද දායකයන් වෙත යැවීමේ වරප්‍රසාදය ද අපේක්ෂකයන්ට හිමි වේ.
එමෙන් ම, සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයන්ට ජනාධිපතිවරණ කාලසීමාවේ දී ආරක්ෂාව ලබා දීමට ද සිදුවේ.
මෙවර ජනාධිපතිවරණ නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ පසු අපේක්ෂකයන් හට ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේදැයි තීරණය කරන බව බීබීසී සිංහල කළ විමසීමක දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම වරප්‍රසාද සියල්ල රටේ මහජනතාවගේ බදු මුදල්වලින් නඩත්තුවන ආයතනවලින් ලබාදෙන වරප්‍රසාද නිසා අපේක්ෂකයන් වැඩි වීමත් සමඟ එම ආයතනවලට දැරීමට සිදුවන පිරිවැය ද අධිකය.
මීට අමතරව එක් එක් අපේක්ෂකයාට ඡන්ද නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයන් හා ඡන්දපොළ නියෝජිතයන් ද පත් කරගැනීමේ අවස්ථාව ද හිමිවන නිසා ඡන්ද මධ්‍යස්ථානවල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තදබදයක් ඇතිවීමට ද ඉඩ තිබේ.
මේ පිළිබඳව බීබීසී සිංහල කළ සොයාබැලීමක දී නම් හෙළි කිරීමට අකමැති වූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයන් අපේක්ෂකත්වය විදෙස් රටවල්වල රැකවරණය ලබා ගැනීමේ අරමුණින් මෙය අමතර වාසියක් ලෙසද සඳහා යොදාගන්නා බවයි.
ඇප මුදල් වැඩි කිරීම විසඳුමක් වේවි ද?
අපේක්ෂකත්වය සඳහා තැන්පත් කරන ඇප මුදල් ප්‍රමාණය අඩුවීම මෙලෙස අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණයට තරග කිරීමට හේතුව බව බොහෝ පාර්ශවයන්ගේ මතයයි.
වර්තමානයේ පවතින ඇප මුදල 1981 දී තීරණය කළ අගයකි. දශක හතරකට පෙර ගනු ලැබූ එම තීරණය වර්තමානයේ රුපියල අවප්‍රමාණ වීම ඇතුළු බොහෝ හේතු නිසා සංශෝධනය විය යුතු බවට අදහස් ඉදිරිපත් වී තිබේ.
මීටපෙර මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ නමුත් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් සංශෝධනයක් සිදුවූයේ නැත.
'අපේක්ෂකයන් වැඩි වීමෙන් පෙනෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයයි'
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දෙන්නේ, ක්‍රම ක්‍රමයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැඩි වීමෙන් පැහැදිලි පෙනෙන්නේ රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදය බවයි. බීබීසී සිංහල කළ විමසීමක දී මහාචාර්යවරිය පෙන්වා දුන්නේ ඇප මුදල් වැඩි කිරීම මඟින් අපේක්ෂකයන් ඉදිරිපත්වීම සීමා කිරීම වඩාත් යෝග්‍ය බවයි.
"දේශපාලන පක්ෂ දියාරු වෙලා පුද්ගල චරිත මතුවෙනවා කියන්නෙ ම ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් තියෙනවා කියන එක."
"ප්‍රධාන පක්ෂ සමස්තයට ආමන්ත්‍රණය කරන්න අසමත් වෙලා තියෙනවා. මේ අපේක්ෂකයන් කිසිවෙක් බහුතරය නියෝජනය කරන්නේ නෑ. වැඩි පිරිසක් තම තමන්ගේ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් පමණයි ආමන්ත්‍රණය කරන්නේ."
මෙම තත්ත්වය ප්‍රජාන්තන්ත්‍රවාදයේ සංකල්පයක් වන බහුතර කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක් මතු කරන බව ඇය පෙන්වා දෙයි.
"මෙවැනි තත්වයක දී සිදුවෙන්නේ බහුතර කැමැත්තට වඩා වෙන් වෙලා ගිය කැමැත්තක් ප්‍රකාශ වීම."
මහාචාර්යවරිය යෝජනා කරන්නේ යම් යම් සීමාවන් යටතේ ඇප මුදල වැඩි කළ යුතු බවයි. "සමහර පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මැතිවරණ කාලසීමාවේ දී ලැබෙන යම් වරප්‍රසාද වෙනුවෙන්. දැනටත් අපේක්ෂකයන් සඳහා ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන් ඉවත් කරලා යම් සීමාවන් යටතේ ඇප මුදල වැඩි කිරීමක් සිදු කළ යුතුයි."
එලෙස සීමා කිරීමෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන්නේ ද යන්න පිළිබඳව අප මහාචාර්යවරියගෙන් විමසූ විට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා කියන්නේ ම ඒ අයට හොඳ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. පොදුවේ ඇප මුදල වැඩි කිරීම සිදු කරලා විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය ව්‍යතිරේඛයන් සකස් කරගත්තොත් සැබෑ අපේක්ෂකයෙකුට ඉදිරිපත් වීමේ අවස්ථාව අවහිර වෙන්නේ නෑ. නමුත් වර්තමානයේ තිබෙන ආකාරය ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්බුදයට යවනවා."













