ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියානු හිටපු ජනපති බෂාර් අල්-අසාද්ගේ බිරිඳ, අස්‌මා අල්-අසාද් ගැන මේ කරුණු දැන සිටියා ද?
සිරියාවේ ජනාධිපති ලෙස බෂාර් අල්-අසාද්ගේ වසර 25කට ආසන්න ධූර කාලය අතරතුර ඔහු සමග සිටි එක් චරිතයක් නොවෙනස්ව සිටියාය. ඒ ඔහුගේ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ බිරිඳ අස්මා ය.
නවීකරණය වන සිරියාවේ මුහුණුවර ලෙස 49 හැවිරිදි ඔහු වරෙක පෙනී සිටිය ද, 2011 මාර්තු මාසයේදී රට තුළ ආරම්භ වූ විනාශකාරී සිවිල් යුද්ධයේ සිට ඔහු ම්ලේච්ඡ පැතිකඩක් පවත්වාගෙන ගොස් තිබේ.
හෘද රෝග විශේෂඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ සිරියානු දෙමව්පියන්ගේ දරුවෙකු ලෙස බටහිර ලන්ඩනයේ ඇක්ටන්හි උපත ලැබූ අස්මා අක්රස් අධ්‍යාපනය ලැබුවේ මිතුරන් ඇයට "එමා" ලෙස කතා කළ පුද්ගලික පාසලකදී ය. ආයෝජන බැංකුකාරිණියක වීමට පෙර ඇය පරිගණක විද්‍යාව හැදෑරීමට ප්‍රසිද්ධ කිංග්ස් කොලීජියට ගියා ය.
ඒ වන විට එහි අධ්‍යාපනය ලබමින් සිටි සුදුසුකම් ලැබූ අක්ෂි විශේෂඥ අසාද් ව ඇයට මුණ ගැසුණේ ලන්ඩනයේදී යි.
සිය පියා වන හෆීස් අල්-අසාද්ගෙන් පසු අසාද් ජනාධිපති ලෙස පත් වී මාස කිහිපයකට පසු, 2000 දී ඔහු සමග විවාහ වී එම වසරේදී අස්මා සිරියාවට පැමිණියා ය.
ඔවුන් පුතුන් දෙදෙනෙකු සහ දුවක් ඇතුළු දරුවන් තිදෙනෙකු ලැබූ අතර, එම දරුවන් දැන් වැඩිහිටියන් ය.
මහජන සබඳතා වත්කමක් ලෙස
වසර ගණනක් තිස්සේ බටහිර රටවල් විශ්වාස කළේ ඇගේ බ්‍රිතාන්‍ය ශික්ෂණය සිරියාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ දිරිමත් කරනු ඇති බවටයි. අස්මාව රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය බවට පත් කිරීමට සහය වීමට කුලියට ගත් බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනයක් ක්‍රියා කරමින් සිටියේය.
2012 දී එක්තරා මුලාශ්‍රයක් බීබීසී වෙත පැවසුවේ, අසාද් අස්මා සමග විවාහ වූයේ ඇය මැද පෙරදිග රටට නැවුම්, නුතන මුහුණුවරක් ලබා දීමට සම්පතක් වනු ඇති බවට දැනගෙන බවයි.
අස්මා අයත් සුන්නි බහුතරය සහ අසාද් අයත් ඇලවිට්ස් (Alawite) නිකාය යන දෙකෙහිම ආශාවන් ඒකාබද්ධ කිරීමේ අවස්ථාවක් ලෙස එකල බහුතරක් මෙම විවාහය හඳුනා ගත් හ. විශේෂයෙන් ම මහජන සම්බන්ධතා සුළුවෙන් තැකූ ජනාධිපතිගේ සොහොයුරිය බුෂ්රා සහ ඔහුගේ මව අනීසේ ජනපති ආර්යාව ලෙස ඇය ඇයගේ භූමිකාවට පිවිසීම අසාද් පවුල තුළ ආතතියට හේතු වූ බව මූලාශ්‍ර පවසයි.
මෙම මහජන සම්බන්ධතා උපායමාර්ගය යම් සාර්ථකත්වයක් අත් කරගත්තේ ය.
2011 පෙබරවාරියේ දී එක්සත් ජනපද වෝග් සඟරාව "කාන්තාරයේ රෝස කුසුමක්" ලෙස නම් කරමින් ඇය උත්කර්ෂයට නංවන ලිපියක් ප්‍රකාශයට පත් කළේ ය.
මුද්‍රණයෙන් සහ අන්තර්ජාලයෙන් යන දෙකෙන් ම ඉවත් කර ඇති ලිපියේ ඇයව විස්තර කර තිබුණේ, "උපක්‍රමශීලී අවතක්සේරුවකින් සැරසී සිටින පුහුණු වූ විශ්ලේෂණාත්මක මනසක් ඇති සිහින්, හින්දෑරි රූමතියක්," මෙන් ම "අලංකාරවත්, තරුණ සහ මෝස්තරකාරියක්," ලෙසයි.
මෙම ලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන ජුලියට් ජෝන් බක් පසුව මෙම ලිපිය පිළිබඳව ඇගේ පසුතැවීම ප්‍රකාශ කළේ එය ඇයගේ වෘත්තීය ජීවිතය "කිළිටි" කළ බවටත්, වෝග් සමග ඇගේ සහයෝගය අවසන් කළ බවටත් පවසමින් ය.
[අස්මා පිළිබඳ] ලිපිය පළ කර යන්තම් මාසයක් ගත වූ පසු, මිලියන බාගයකට වැඩි මිනිසුන් ප්‍රමාණයක් මරා දමා තවත් මිලියන 12කට තම නිවෙස්වලින් පලා යාමට බල කළ විනාශකාරී සිවිල් යුද්ධය අවුළුවමින් සාමකාමී, ප්‍රජාන්ත්‍රවාදී ගැති නැගිටීම් අසාද් කෘර ලෙස තලා පෙළා දැමුවේ ය.
"ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ව" ඇය "සනසන" බවට පවසමින්, 2012 පෙබරවාරි මාසයේ දී ඇගේ රට පුරා පැතිරී ගිය යුද්ධය පිළිබඳ ඇගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කළේ වසරකට ආසන්න කාලයකට පසුවයි. බ්‍රිතාන්‍ය පුවත්පතක් වන 'ද ටයිම්ස්' වෙත ප්‍රකාශයක් කරමින් ඇගේ සැමියාට සහය දක්වන බව පුන පුනා ඇය මෙසේ ප්‍රකාශ කළා ය: "ජනාධිපතිවරයා ජනාධිපති වෙන්නේ සිරියානුවන්ට මිසක් සිරියාවේ කොටසකට නොවෙයි. ඒ භුමිකාවේදී ජනාධිපති ආර්යාව ඔහුට සහය දක්වනවා."
එම වසරේ ම, ඇගේ ප්‍රසිද්ධ ප්‍රතිරූපයට තවත් පහරක් එල්ල කරමින්, සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අස්මාගේ කැමැත්ත පිළිබඳ අදහසක් ඇති කරමින්, අසාද් පවුලේ යැයි කියන පුද්ගලික විද්‍යුත් තැපැල් පණිවුඩ දහස් ගණනක් ක්‍රියාකාරිකයන් විසින් හෙළි කරන ලදී.
බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ගාඩියන් විසින් පළමුව හෙළිදරවු කළ විද්‍යුත් තැපැල් පණිවුඩවල, රට වර්ධනය වන නොසන්සුන්තාවයක තිබියදීත් අස්මා ඇමෙරිකානු ඩොලර් 5,000ක (ස්ටර්ලින් පවුම් 3,200ක) අඩි උස සපත්තු සොයමින් සිටි බව පෙන්වීය.
2022 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ඇස්තමේන්තුවකින් අසාද් පවුලේ මුළු වටිනාකම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1-2 අතර බවට ගණනය කළේ ය.
2012 මාර්තු මාසයේ දී යුරෝපා සංගමය අස්මාට සම්බාධක දැමීය. සිරියාවෙන් පිටවීමට ඇයට යෝජනා ලැබී ඇති බවත්, ඇය එය ප්‍රතික්ෂේප කළ බවත් රුසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලබන TV Rossiya 24 වෙත පවසන තුරු ඇය 2016 වන තෙක් නැවත විදෙස් මාධ්‍යවලට කතා කළේ නැත.
"මම මුල සිට ම හිටියේ මෙහේ, මම වෙන තැනක ඉන්නවා කියන එක කොහොමටවත් හිතලා නෑ," ඇය පැවසුවා ය.
"ඔව්, මට සිරියාවෙන් පිටවෙලා යන්න හෝ සිරියාවෙන් පැනලා යන්න අවස්ථාවක් දුන්නා. මේ පොරොන්දුවලට මගේ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව විතරක් නොවෙයි මුල්‍යමය ආරක්ෂාව සහතික කිරීමත් ඇතුළු වෙලා තිබුණා. ඇත්තටම මේ මිනිස්සු මොකක් වෙනුවෙන් ද ඒක කළේ කියල දැනගන්න බුද්ධිමතෙක් ඕනේ නෑ. ඒ ජනාධිපතිවරයා ගැන මිනිස්සුන්ගේ විශ්වාසය කුඩුපට්ටම් කරලා දාන්න ගත්ත හිතාමතා කරපු උත්සහයක්."
යුද්ධය දිගටම පවතින විට, මියගිය සොල්දාදුවන්ගේ පවුල් හමු වී අස්මා පුණ්‍ය කටයුතු මෙහෙය වූ අතර, ආධාර මෙහෙයුම් සම්බන්ධීකරණයේ දී ප්‍රධාන වූ විශාල රාජ්‍ය නොවන සංවිධානයක් වන සංවර්ධනය සඳහා සිරියානු භාරයේ නායකත්වයට පත් විය.
2018 දී ඇයට පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන, මුල් අවධියේ දී ම මාරාන්තික රෝගයට ප්‍රතිකාර ලබා ගත්තා ය. වසරකට පසු ඇය පුර්ණ සුවය ලැබූ බවට නිවේදනය කළා ය.
2024 මැයි මාසයේ දී සිරියානු ජනාධිපති හෙළි කළේ අස්මාට ලියුකේමියාව වැළඳී ඇති බවයි. ප්‍රකාශයකින් පැවසුණේ අයව හුදෙකළා කොට පොදු කටයුතුවලින් ඉවත් වීමට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර ප්‍රොටෝකෝලයක් ඇයට ආරම්භ කරන බවටයි.
කැරළිකාර හමුදා ඩමස්කස් අගනුවර අල්ලාගැනීමෙන් පසු සිරියානු ජනාධිපති අසාද්ව බලයෙන් පහ කිරීමත් සමග ජනාධිපති ආර්යාව ලෙස ඇගේ වසර 25කට ආසන්න ධූර කාලය ඉරිදා හදිසියේ ම අවසන් විය.
දැන් අසාද්වරුන් හිටපු පාලනයේ ප්‍රධාන සගයෙකු වන රුසියාවේ සිටින අතර, රුසියානු රාජ්‍ය මාධ්‍යන්ට අනුව ඔවුන්ට එහි දේශපාලන සරණාගතභාවය හිමිව තිබේ.