ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියාවේ කැරලි නායක අබු මොහොමඩ් අල්-ජොලානි යනු කවුද?
- Author, කාර්ය මණ්ඩල වාර්තාකරුවන්
- Role, බීබීසී අරාබි පුවත්, බීබීසී මොනිටරිං සහ බීබීසී එක්ස්ප්ලේනර්ස්
වසර 13ක සිවිල් යුද්ධයෙන් පසු ජනාධිපති බෂාර් අල්-අසාද් රටින් පලා ගොස් ඇතැයි පළ වන වාර්තා මැද, සිරියානු කැරලි හමුදා ඩමස්කස් වෙත ඇතුළු වී තිබේ.
අගමැති මොහොමඩ් අල්-ජොලානි පවසා තිබෙන්නේ, රට තුළ පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය දීමට ඔහු සූදානම් බව ය.
එය සිදුවූයේ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් (HTS) සහ මිත්‍ර කණ්ඩායම් විසින් වයඹ ප්‍රදේශයෙන් දැවැන්ත ප්‍රහාරයක් දියත් කර දින 12කට පසුව ය.
කැරලිකරුවන් ප්‍රථමයෙන් ඇලෙප්පෝ උපනගරය අල්ලා ගත් අතර, පසුව සිරියානු හමුදා බිඳවැටීමත් සමග අගනුවර දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ දකුණට ඇදී ගියේ ය.
HTS නායක අබු මොහොමඩ් අල්-ජව්ලානි මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
ආසන්න වසර කිහිපය තුළ ඔහු වඩාත් මධ්‍යස්ථ ප්‍රතිරූපයක් ලෝකයට පෙන්වීමට උත්සහ කළ නමුත්, ඔහු අල්ලා ගතහොත් ඩොලර් මිලියන 10ක් ලබා දෙන බවට එක්සත් ජනපදය දිගට ම පොරොන්දු ලබා දුන්නේ ය.
අල්-ජොලානි පැමිණියේ කොහි සිට ද?
අබු මොහොමඩ් අල්-ජව්ලානි යනු ව්‍යාජ නමකි. ඔහුගේ සැබෑ නම සහ වයස පිළිබඳව විවාදයක් පවතියි.
ඔහු ඉපදුණේ, අහමඩ් අල්-ෂාරා ලෙසත්, ඔහුගේ පවුල ගෝලාන් ප්‍රදේශයෙන් පැමිණි සිරියානුවන් වන බවත් අල්-ජොලානි ඇමෙරිකානු රූපවාහිනී සේවාවක් වන PBS වෙත පැවසුවේ ය. ඔහුගේ පියා ඒ වන විට සේවය කරමින් සිටි සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි ඔහු උපත ලබා ඩමස්කස්හි හැදී වැඩුණු බව ඔහු පැවසුවේ ය.
කෙසේවුවත් ඔහු නැගෙනහිර සිරියාවේ දේර් එස්-සෝර්හි උපත ලැබූ බවට ද වාර්තා පළ වන අතර, ඉස්ලාමීය සටන්කාමියෙකු වීමට පෙර ඔහු වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවට තහවුරු නොකළ කටකතා පවතියි.
එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමයේ වාර්තාවලට අනුව, ඔහු 1975 සහ 1979 අතර කාලයේ උපත ලබා තිබේ. ඔහු 1979 උපත ලැබූ බව ජාත්‍යන්තර පොලිසිය පවසයි. අස්-සෆීර්ගේ වාර්තා පවසන්නේ ඔහු 1981 ඉපදුණු බවයි.
අල්-ජොලානි ඉස්ලාමීය කණ්ඩායමක නායකයා බවට පත් වුණේ කෙසේ ද?
ඇමෙරිකාව මෙහෙයවූ හමුදා සන්ධායක් 2003දී ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව, අල්-ජොලානි අල්-ඛයිඩා ජිහාඩ් කණ්ඩායමට බැඳෙන්නට ඇති බව සැලකෙයි.
හමුදා සන්ධානය ඉක්මනින් ම ජනාධිපති සදාම් හුසේන් සහ ඔහුගේ බාත් පක්ෂය බලයෙන් ඉවත් කළ නමුත්, විවිධාකාර සටන්කාමී කණ්ඩායම් සහයෝගයෙන් සිදු කළ ප්‍රතිරෝධයන්ට මුහුණ දීමට සිදුවිය.
2010දී, ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදා විසින් අල්-ජොලානි අත්අඩංගුවට ගෙන කුවේට් දේශසීමාව ආසන්නයේ පිහිටි බුකා කඳවුරේ රඳවනු ලැබ තිබිණි. ඉරාකයේ අයිඑස් අනාගත නායකයා වූ අබු බකර් අල්-බග්දාදි ඇතුළු පසුව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිහිටවූ ජිහාඩ්වාදීන් ඉතා සමීපව ඔහු ඇසුරු කළේ ය.
2011දී සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනයට එරෙහිව සන්නද්ධ ගැටුමක් ඇති වූ පසු අල්-ජොලානි මාධ්‍යයට පැවසුවේ, සංවිධානයේ ශාඛාවක් ආරම්භ කිරීමට රටට යාමට ඔහුට අල්-බග්දාදි කටයුතු සැලසූ බව ය.
අයිඑස් සමගින් රහසිගතව සම්බන්ධ වී සිටි නුස්රා පෙරමුණ (හෝ ජබාත් අල්-නුස්රා) ලෙස හඳුන්වන සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධාන අණ දෙන නිලධාරියා බවට අල්-ජොලානි පත්විය. සටන් බිමේදී එය විශාල වශයෙන් සාර්ථක වී තිබේ.
2013දී අල්-ජොලානි අයිඑස් හා සම්බන්ධ නුස්රා පෙරමුණේ වැඩ කළ අතර එය අල්-ඛයිඩා පාලනය යටතට ගත්තේ ය.
කෙසේ වුවත්, 2016දී ඔහු පටිගත කළ පණිවුඩයකින් නිවේදනය කළේ ඔහු අල්-ඛයිඩා වෙතින් ද ඉවත් වූ බවයි.
හයාත් තරිර් අල්-ෂාම් නිර්මාණය කිරීමට ඔහුගේ සටන්කරුවන් සිරියාවේ වෙනත් කැරලි කණ්ඩායම් සමග සම්බන්ධ වී සිටින බව අල්-ජොලානි 2017දී පැවසුවේ ය.
අල්-ජොලානි කුමන ආකාරයේ පාලකයෙකු ද?
අල්-ජොලානිගේ අණ යටතේ HTS, සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් සහ ඒ අවට ප්‍රදේශයේ ප්‍රධානතම කැරලි කණ්ඩායම බවට පත්විය.
යුද්ධයට පෙර නගරයේ ජනගහනය මිලියන 2.7ක් වූ අතර, අවතැන් ජනතාවගේ ගලාඒම නිසා ඇතැම් ඇස්තමේන්තුවලට අනුව එම සංඛ්‍යාව මිලියන 4ක් දක්වා වැඩි වී තිබේ.
ඉඩ්ලිබ් පළාතේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සහ අභ්‍යන්තර ආරක්ෂාව ලබා දෙමින් ප්‍රාදේශීය පාලනය ලෙස කටයුතු කරන "ගැලවීමේ ආණ්ඩුව" විසින් ඒවා පාලනය කරනු ලබයි.
අල්-ජොලානි 2021දී PBS වෙත පැවසුවේ, ඔහු අල්-ඛයිඩාහි ගෝලීය ජිහාඩ් උපක්‍රමය අනුගමනය නොකරන බවයි. ඔහු පැවසුවේ, ඔහුගේ ප්‍රධාන ඉලක්කය වූයේ සිරියානු ජනාධිපති අල්-අසාද් පලවා හැරීම බවත් ඇමෙරිකාවේ සහ බටහිර රටවල් එම අරමුණට සහය දුන් බවත් ය.
"මේ කලාපය යුරෝපයට සහ ඇමෙරිකාවට ආරක්ෂක තර්ජනයක් වෙන්නේ නෑ," ඔහු පැවසුවේ ය. "මේ කලාපය විදේශීය ජිහාඩ් ක්‍රියාත්මක කරවීමේ වේදිකාවක් නොවෙයි."
ආයුධ පැහැරගෙන එහි ඇතැම් නායකයින් සිරගත කරමින්, 2020දී HTS විසින් ඉඩ්ලිබ්හි තිබූ අල්-ඛයිඩා කඳවුර වසා දමන ලදී.
HTS පාලන ප්‍රදේශවල ඔවුන් ඉස්ලාමීය නීතිය ප්‍රකාශයට පත් කර ඇතත්, ජිහාඩ් කණ්ඩායම්වලට වඩා කැපීපෙනෙන ලෙස දැඩි බවින් අඩු ය.
එය ක්‍රිස්තියානි සහ වෙනත් මුස්ලිම් නොවන අය සමග ප්‍රසිද්ධියේ කටයුතු කරයි. ඔවුන් වඩාත් මධ්‍යස්ථ වීම ලෙස දකින එය ජිහාඩ් කණ්ඩායම් විවේචනය කරයි.
කෙසේ වුවත්, මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කරන්නේ, HTS මහජන විරෝධතා මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝණය කරන බවට යි. අල්-ජොලානි මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
බටහිර සහ මැද පෙරදිග රටවල් කිහිපයක් විසින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් HTS ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ග කරනු ලැබ තිබේ.
අල්-ජොලානිගේ පෙර පැවති අල්-ඛයිඩා සම්බන්ධය නිසා ඔහුව අල්ලා ගැනීමට ප්‍රමුඛ වන ඕනෑ ම තොරතුරක් සඳහා එක්සත් ජනපද රජය ඩොලර් මිලියන 10ක් ලබා දෙයි.