ගෝලීය සරණාගතයින්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළට

    • Author, අහමේන් ඛවාජා සහ මහිමා අබේඩින්
    • Role, බීබීසී ලෝක සේවය

ගෝලීය වශයෙන් උත්සන්න වන යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය මෙන් ම ස්වභාවික විපත් ඉහළ යාමත් සමග මේ වසරේ මැයි මාසය දක්වා සිය රටින් පළා යන හෝ පළා යාමට සිදු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 120කට වඩා වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය වන UNHCR නිකුත් කළ නවතම සංඛ්‍යා දත්ත අනුව අනාවරණය වී තිබේ.

මෙය ඊට පෙර වසරට වඩා 8%ක ඉහළ යාමක් වන අතර, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සංඛ්‍යා ලේඛන වාර්තා තබා ගැනීම ඇරඹූ දා සිට එය පෙර නොවූ විරූ ඉහළ අගයක් ගන්නා බව එම කාර්යාලය පවසයි. එසේ බලහත්කාරයෙන් අවතැන් කරවූ ජනතාවගෙන් 40%ක් ළමයින් ය.

ඉන් පැහැදිලි වන්නේ, සෑම මිනිත්තුවකදී ම, අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුට ගැටුම්, පීඩා හෝ ත්‍රස්තවාදය නිසා සියල්ල අතහැර පළා යාමට සිදුවන බව ය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙම අනාවරණයන් නිවේදනය කළේ, ජූනි 20 වන දාට යෙදෙන ලෝක සරණාගතයින්ගේ දිනය ආසන්නයේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීම ආරම්භ කළේ, "ලොව පුරා සිටින සරණාගතයින්ගේ ශක්තියට සහ ධෛර්යයට ගෞරව දැක්වීම සඳහා ය‍.

‘මෙම වර්ධනය සහ ඉහළ යන සංඛ්‍යාව පිටුපස අසංඛ්‍යාත මිනිස් ඛේදවාචක තිබෙනවා. ඒ තුළින් බලහත්කාරයෙන් අවතැන් වීමට බලපාන මූලික හේතු විසඳීමට හදිසි ලෙස ක්‍රියා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව පෙළඹවිය යුතුය’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි පැවසීය.

සරණාගතයින් පළා එන්නේ කුමන රටවල සිට ද?

2023 වසරේදී සෑම සරණාගතයින් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම පාහේ (73%) පැමිණ ඇත්තේ, රටවල් 5කිනි: ඒ, ඇෆ්ගනිස්ථානය, සිරියාව, වෙනෙසුවෙලාව, යුක්‍රේනය සහ සුඩානය යන රටවලින් බව අදාළ වාර්තාව සඳහන් කරයි.

සිරියාව ලොව විශාලතම අවතැන් වීමේ අර්බුද සහිත රට වන අතර, පසුගිය වසර 12 තුළ එරට ග්‍රහණය කර ගත් සිවිල් යුද්ධය හේතුවෙන්, 2023 වසර අවසන් වන විට මිලියන 13.8ක් රට තුළ සහ ඉන් පිටත බලහත්කාරයෙන් අවතැන් වී ඇත.

මේ වසරේ ගෝලීය දත්ත ඉහළ යාමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ, සුඩානයේ පවතින සිවිල් යුද්ධය යි. 2023 අවසන් වන විට සුඩාන වැසියන් මිලියන 11ක් එරටින් ඉවත් වී තිබිණි.

2021 වසරේදී තලිබාන් බලය අල්ලා ගැනීමෙන් පසුව, වඩා හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් පසුගිය වසරේදී වැසියන් මිලියන 6.4ක් ඇෆ්ගනිස්ථානයෙන් පළා ගියහ.

2013 වසරේ සිට බලයේ සිටි සමාජවාදී ජනාධිපති නිකලස් මදුරෝ යටතේ ඛනිජ තෙල් දැවැන්තයෙකු වන වෙනිසුවෙලාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු එරට වැසියන් මිලියන 6ක් රට හැර ගියහ.

යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය අඛණ්ඩව පැවතීම හේතුවෙන්, 2023 වසර අවසානයේදී යුක්‍රේනයෙන් පළා ගිය සරණාගතයින් සංඛ්‍යාව මිලියන 6කි.

UNRWA (නැගෙනහිර පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය) අනුව, ගාසා තීරයේ වත්මන් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ මිලියන 1.7 ක ජනතාව බොහෝ විට කිහිප වතාවක් (ජනගහනයෙන් 75%) අවතැන් වී ඇත.

සරණාගතයින්, සංක්‍රමණිකයින්, රැකවරණ අපේක්ෂා කරන්නන් අතර වෙනස්කම් මොනවා ද?

සරණාගතයෙකු යනු යුද්ධ, පීඩා හෝ ස්වාභාවික ව්‍යසන හේතුවෙන් සිය මව් රට හැර යාමට බලකෙරුණු පුද්ගලයෙකි.

බීබීසී පුවත් සේවය සංක්‍රමණිකයින් යන පදය භාවිත කරන්නේ, තවමත් රැකවරණ ඉල්ලා සිටීමේ නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කර නොමැති ගමනාන්තයක් නොමැති සියලු ම පුද්ගලයින් හැඳින්වීමට ය. යුද්ධයෙන් විනාශ වූ රටවලින් පළා යන, සරණාගත තත්ත්වය ලබා දීමට ඉඩ ඇති පුද්ගලයින් මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර, රැකියා සහ වඩා හොඳ ජීවිත අපේක්ෂා කරන, රජයන් පාලනය කිරීමට ඉඩ ඇති පුද්ගලයින්, ආර්ථික සංක්‍රමණිකයන් ලෙස සැලකේ.

සරණාගතයින් විස්තර කිරීමට සංක්‍රමණිකයින් යන වචනය භාවිත කිරීමට සමහරුන් අකැමැත්තක් දක්වන්නේ, සංක්‍රමණිකයින් අනතුරකින් පළා යාමට බල කිරීමකට වඩා වෙනත් ස්ථානයකට සංචාරය කිරීම තෝරා ගන්නා හෙයිනි.

සරණාගතයෙකු ආරක්ෂිත රටකට ළඟ වූ පසු, ඔහුට සරණාගතයෙකු ලෙස ම රැඳී සිටිය හැකි අතර, එසේ නැතහොත්, රැකවරණය පතමින් එහි රැඳී සිටීමට අවසර ඉල්ලීමට තීරණය කළ හැකි ය.

සරණාගතයින් වෙනුවෙන් ලබා ගත හැකි උපකාර මොනවා ද?

සෑම වසරක ම ජනතාව මිලියන ගණනක් තම මව් රටවලින් පළා යන අතර භයානක ගමන්වල නිරත වෙමින්, ඔවුන්ගේ අවසානය කොතැන දැයි කල්පනා කරමින් සිටින අතර, පළා යාමට බල කෙරෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර පුණ්‍යායතන උපකාර කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බොහෝ සංවිධාන ලොව පුරා අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සඳහා කඳවුරු පිහිටුවා ඇති අතර සරණාගතයින්ට උපකාර කිරීමට සම්පත් සපයයි.

ඒ අතර, ආරක්ෂාව, ආහාර, වෛද්‍ය ප්‍රතිකාර හෝ දිගු කාලීනව අවතැන් වූ අවස්ථාවලදී අධ්‍යාපන අවස්ථා ද ලබා දිය හැකි ය.

කෙසේ වෙතත්, සරණාගතයින් සංඛ්‍යාත්මකව වැඩි වන විට, ඇතැම් රජයයන් පවසන්නේ, අලුතින් පැමිණෙන්නන් විශාල පිරිසක් නඩත්තු කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බව ය.

ඇතැම් සිදුවිම්වලදී, සරණාගතයින් අවසානයේ ජීවත් වන්නේ කොතැන ද යන ප්‍රශ්නය මතභේදාත්මක දේශපාලන ගැටලුවක් බවට පත්විය හැකි ය.