කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ මෙරෝන් විජේසිංහ කවුද ?

ඡායාරූප මූලාශ්‍රය, Meron Wijesinghe
පසුගියදා අවසන් වූ 2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී නව වාර්තා 36ක් පිහිටුවීමට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබුවේ කොළඹ ආනන්ද විදුහලේ මෙරෝන් විජේසිංහ ය.
මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.38ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත් විය.
මෙම මලල ක්‍රීඩා තරගාවලියත් සමග ලබන අගෝස්තු මාසයේ දී පේරු රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා මේ වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සුදුසුකම් ලැබීමට සමත්ව ඇති අතර එය මෙතෙක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයක් සඳහා මෙරටින් සුදුසුකම් ලැබූ ඉහළම ක්‍රීඩක සංඛ්‍යාව වේ.
කවුද මේ මෙරෝන් විජේසිංහ කියන්නේ ?
2005 වසරේ ජූලි මස 10 වැනිදා උපත ලබා අති මෙරෝන් විජේසිංහ පළමුව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති අතර මේ වන විට කොළඹ ආනන්ද විදුහලේ උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටින වයස අවුරුදු 19ක සිසුවෙකු වේ.
ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර මෙරෝන් කුඩා කළ පටන් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දරුවෙකු බව ඔහුගේ මව බීබීසී සිංහල වෙත පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Meron Wijesinghe
‘එයා කුඩා කාලේ ඉදලම හෙමින් ගියේ නැහැ’
මෙරෝන් විජේසිංහගේ මව වන ගයනි රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ කුඩා කාලයේ සිටම තම පුත්‍රයා ක්‍රීඩාවට ඇල්මක් දක්වන නිසා ඔහුගේ ඉදිරි ගමන වෙනුවෙන් රැකියාවට පවා සමුදීමට කටයුතු කළ බව ය.
"කුඩා කාලේ ඉදලම මෙරෝන් ක්‍රියාශීලි දරුවෙක්. එයා හැම තිස්සේම දුවනවා. එයා මුලින්ම ඉස්කෝලේ ගියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රාජකාරි කරපු නිසා පුතා ඉස්කෝලේ යද්දී මගේ චුටි බබා හම්බ වෙලා හිටිය නිසා එයාව ඇත්ලටික් ප්‍රැක්ටිස් වලට අරන් යන්න බැරි වුණා."
"නමුත් මෙරෝන් ඉස්කෝලේ යන කාලේ ඉදලම ඇත්ලටික් පැත්තට යොමු වෙලා හිටියේ."
"ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල පැවැත්වෙන ඉන්ටර් ස්කූල් ඇත්ලටික් මිට් එකට මෙරෝන් සුදුසුකම් ලැබුවත් තරගය දවසේ එයාට දුවන්න ලැබුනේ නැහැ. ඒ පුතා ප්‍රැක්ටිස් වලට ගියේ නැති නිසා."
"පස්සේ ඉස්කෝලේ තිබුණ ගුරු - දෙගුරු රැස්වීමකට අපි සහභාගී වුන වෙලාවේ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ හිටිය ක්‍රීඩා භාර ගුරුවරයෙකු වුණ කාලිංග සර් තමයි අපිට කිව්වේ මෙරෝන් ඇත්ලටික් වලට දක්ෂ දරුවෙක්. ඒ නිසා එයාට උදව් කරලා හරි පාරේ අරන් යන්න කියලා."
"එදා ඒ ගුරුවරයා කිව්ව වෙලාවෙම මම හිතා ගත්තා රස්සාවට සමුදෙනවා කියලා."
"මගේ මහත්තයා එපා කියද්දී මම හොරෙන්ම රැකියාවට සමුදුන්නා. ඒ වෙද්දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අවුරුදු 15ක් විතර රස්සාව කරලා හොඳ තනතුරක හිටියේ."
"රස්සාවෙන් අයින් වෙලා මම එදා ඉදල අද වෙනකම් මෙරෝන් ගේ ක්‍රීඩා වැඩවලට එයත් එක්ක ඉදලා ඒ ගමන යන්න උදව් කරනවා."
මෙරෝන් විජේසිංහ ගේ මව වන ගයනි රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙරෝන් විජේසිංහ ජාත්‍යන්තර පාසැල්හි පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 60 ධාවන ඉසව්වෙන් තෙවන ශ්‍රේණියේදී වාර්තාවක් ද පිහිටුවීමට සමත් වූ බව ඇය මෙහිදී පැවසුවාය.
‘ගමනේ හැරවුම් ලක්ෂ්‍ය’
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරෝන් විජේසිංහ 4 වැනි ශ්‍රේණියේ දී කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් කළ බව ඔහුගේ මව පැවසීය.
"ආනන්ද විදුහලට ගියාට පස්සේ පස් වන ශ්‍රේණියේ ඉදලා මේ වෙනකම් පැවැත්වු සෑම නිවාසාන්තර තරගවලදී මලල ක්‍රීඩා ඉසව්වෙන් එක් අවුරුද්දක හැර අනෙක් හැම අවුරුද්දකම එයා තරග කරන මීටර් 100 ඉසව්වේ පළවෙනියා වුණා."
"ඊට පස්සේ එයා කලාප තරග, සමස්ත ලංකා තරගවලට සහභාගී වුණාට එයා දස්කම් දක්වලා අවස්ථා කිහිපයකදී ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබුනත් ක්‍රීඩාව තුළ ලොකුම පෙරලියක් ඇති වුනේ මේ ගත වුණු අවුරුදු 3-4 ඇතුළතදී."
"ඒ වගේම ලයිසියම් පාසැලේ හිටියා බණ්ඩාර කියලා ගුරුතුමෙක්. පොඩි කාලයේ ඉදලා පුතාගේ ගමනට අවශ්‍ය තාක්ෂණික ලෙස අඩුපාඩු පෙන්වලා අවශ්‍ය සහය ලබා දුන්නේ."
"මෙරෝන් අවුරුදු 16න් පහළ ක්‍රීඩකයෙක් විදිහට සුනිල් සහ භද්‍රා ගුණවර්ධන කියන ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනා ළඟ පුහුණුවීම් කරන්න අවස්ථාව උදා කර ගන්න සමත් වුණා."
"මේ පුහුණුකරුවන් දෙදෙනා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතිව මේ ළමයින්ට පුහුණුවීම් කරන්නේ."
"ඒ පුහුණුකරුවන් දෙන්නා යටතේ පුහුණුවීම් ලබලා මෙරෝන් එයාගේ දක්ෂතා අතරට එන්න පටන් ගත්තේ අවුරුදු 18-20 වයස් කාල සීමාවේදී ඉදලයි."
"මෙරෝන් එයාගේ පළවෙනි ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වුනේ 2023 වසරේ දකුණු කොරියාවේ පවැත්වූණු කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලියේ මීටර් 100 ඉසව්වට තරග වැදුණා."
"21 වැනි කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලිය පැවැත්වුනේ මේ අවුරුද්දේදී ඩුබායි වලදී. එකේදී මෙරෝන් මීටර් 100 ඉසව්වට වගේම මිටර් 100 x 4 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළා."
"මෙරෝන් 9 වසරේ ඉදලා තනියම බස් එකේ ඉස්කෝලේ යන්න පුරුදු වුණා. මිනුවන්ගොඩ ඉදලා පාන්දර 4.45 ට බස් එකේ කොළඹ ගිහින් ටොරින්ටන් එකේ පුහුණුවීම් කරලා උදේ 8 වෙද්දී ඉස්කෝලේ ගිහින් ආපහු හවස 3 ඉදලා ජිම් එකේ සෙෂන් එකට යනවා. ඒක ඉවර වෙලා හවස 6 වගේ එනවා ආපහු. එයාගේ ගමන වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන කෙනෙක් එයා. "
"විශේෂයෙන්ම කිව්වොත් එයා නිසා අපි පවුලක් විදිහට ලොකු කැපකිරීමක් කරනවා." ඇය කිය සිටියාය.
‘මගේ උපරීම දක්ෂතා අතරට එන්න හැකි වුණා’
ඩුබායි හිදී පැවති 21 වන කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලියේදී තමන්ට උපරිම දක්ෂතා අතරට ඒමට හැකිවූ බව මෙරෝන් විජේසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේය.
"මේ අවුරුද්දේ මට තිබ්බ මීටර් 100 ට්‍රයල් එකේදී මට පළමු වතාවට තත්ත්පර 10.50 කියන වේගයට එන්න හැකියාව ලැබුණේ."
"ඒකෙන් පස්සේ ඩුබායි වල තිබුණු කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලියේ මීටර් 100 සහ මීටර් 100x4 කියන ඉසව්වලට තරග කරන්න හැකියාව ලැබුණා."
"ඩුබායි වල මීටර් 100 අවසන් මහ තරගයේ දී මගේ පුද්ගලික දක්ෂතාවයක් විදිහට තත්ත්පර 10.53 කින් තරගය නිම කරන්න ලැබුණා. ලංකාවේ කනිෂ්ඨ මීටර් 100 ඉසව්වේ තෙවැනියට හොඳම කාලය හැටියට ඒක සටහන් වෙනවා."
"නමුත් දැන් මම ඉන්නේ දෙවැනියට හොඳම කාලය වාර්තා කරලා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මීටර් 100 කනිෂ්ඨ ඉසව්වෙන් ලංකාවේ හොඳම වාර්තාව තියලා තියෙන ෂෙහාන් අඹේපිටියගේ වාර්තාව බිඳ හෙලන්න බලාපොරොත්තු වෙනවා."
"ඒ ඩුබායි ටුවර් එකේදී අපිට දකුණු ආසියානු වාර්තාවක් එක්ක රිදී පදක්කමක් දිනා ගන්න ලැබුණා මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන්. එතැනදී අපේ කාලය වුනේ තත්ත්පර 38.80කට."
"ඇත්තටම කියන්න ඕන අපේ රීලේ ටීම් එකේ හොඳ ක්‍රීඩකයෝ පිරිසක් ඉන්නවා."
"අපි ලබන අගෝස්තු වලදී පේරු රාජ්‍යයේ තියෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ක්‍රීඩා ශූරතාවයට යන්න ඉන්නේ."
"එතැනදී මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ලංකාවට රන් පදක්කමක් ගෙන එන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියනවා." ඔහු කියා සිටියේය.
‘ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා.’
2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී වටිනාම ක්‍රීඩකයා ලෙස මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අභියෝගතා ශුරතාවය දිනා ගැනීම ලැබීම ගැන සතුටු වන බවද මෙරෝන් විජේසිංහ පැවසීය.
"තරගය පටන් ගන්න කොට මම දැනන් හිටියා මේක තමයි මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට යන්න චාන්ස් එක ගන්න ලැබෙන අවස්ථාව කියලා."
"ඩුබායි ඉදලා ඇවිල්ලා මාස 03ක් පුහුණුවීම් කළා."
"මගේ පෞද්ගලික දක්ෂතාවයන්ට වඩා තරගය පළමු ස්ථානයට එන්න තමයි ගොඩක් ෆොක්ස් කළේ."
"භද්‍රා මිස් ඇවිල්ලා කිව්වා ටයිම් එකට වඩා ෆර්ස්ට් ප්ලේස් එකට යන්න කියලා. ඒ එකක්ම අපේ භෞතික චිකිත්සකවරයා විදිහට කටයුතු කරන වෙදකාරක ඉඟියක් දුන්නා මේකේ පළවෙනි තැනට එන කෙනාට තත්ත්පර 10.40 සීමාවට යන්න පුළුවන් කියලා."
"ටාර්ගට් කරන් ගියා වගේ හොඳ රේස් එකක් තිබ්බා. පිළිවෙලින් 1 ඉදලා 4 වන ස්ථානය වෙනකම් ආවේ අපේ රීලේ ටීම් එකේ දුවන අය. හැමෝම තමන්ගේ හොඳම කාලය වාර්තා කරලා තිබුණා."
"මම පළවෙනි තැන දිනා ගත්තා, තත්ත්පර 10.38ක කාලයක් සටහන් කරගෙන."
"කාලයකින් පස්සේ හොඳ තරගයක් තිබ්බා. ගොඩක් අය මේ තරගය නරඹන්න ඇවිත් හිටියා."
"තරගය ආරම්භයේ ඉදලම මට හොඳ ආරම්භයක් ලබා ගන්න ලැබුණා. ටයිමින් බෝඩ් එක දකිද්දී ලොකු සතුටක් දැනුණා." ඔහු කියා සිටියේය.
ඉදිරියේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ක්‍රීඩා ශූරතාවයේ දී වගේම ආසියානු ශුරතාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් ලංකාවට පදක්කමක් දිනා දීම තමන්ගේ ඉලක්කය බවත් ඉන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කිරීම සහ 2028 හෝ 2032 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම තම ඉලක්කය බව මෙරෝන් විජේසිංහ පැවසුවේය.
‘අධ්‍යාපන කටයුතුත් සමබරව කරන් යනවා’
ක්‍රීඩා කටයුතු මෙන්ම සිය අධ්‍යාපන කටයුතු ද සමබරව කරගෙන යෑමට තමන් කටයුතු කරන බව මෙරෝන් විජේසිංහ පැවසුවේය.
"මගේ ඉගෙනුම පාසැලේ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපන කටයුතු කරනවා. ඒ ඔක්කොමත් එක්ක ක්‍රීඩාවත් බැලන්ස් එකේ වැඩ කරන් යනවා”
"මීට් එකක් එද්දී ඒ ගැන අවධානය යොමු කරනවා ටිකක් වැඩියෙන්. කොහොම වුනත් මගේ කෝච් එක්ක කතා කරගෙන වැඩ කටයුතු බැලන්ස් එකේ කරන් යනවා. තවම ඒ නිසා වැරැද්දක් වෙලා නැහැ." ඔහු කියා සිටියේ.
‘අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි අයෙක්’
මෙරෝන් විජේසිංහ ගේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන භද්‍රානි ගුණවර්ධන බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ ඔහු ඉතා උනන්දුවක් සහ අනාගතයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් තැබිය හැකි මලල ක්‍රීඩකයෙකු බවය.
"මෙරෝන් ලොකු උනන්දුවකින් පුහුණුවීම් වල යෙදෙන කෙනෙක්. ඒ උනන්දුව එක්ක සහ ඔහුගේ තියෙන කැපවීමත් එක්ක හොඳ ගමනක් යන්න පුලුවන් ක්‍රීඩකයෙක් කියලා දැන් ඉදලම ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා."
"අපි එයාව පුහුණු කරනවා. එයා අනාගතයේදී ශ්‍රී ලංකාවට හොඳ බලාපොරොත්තුවක් වේවි." ඇය කියා සිටියාය.














