රාජ්‍ය සේවකයින් ඉල්ලන රුපියල් 25 000ක වැටුප් වැඩිවීම අද අයවැයෙන් ලැබෙයි ද?

Protestors hold placards as they take part in an anti-government demonstration in Colombo on September 25, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රාජ්‍ය සේවකයින්ගේ දහසකුත් බලාපොරොත්තු මැද 2023 වර්ෂය සඳහා වන අයවැය අද (නොවැ. 14) පස්වරු 1.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. 

රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින රුපියල් 25,000ක වැටුප් වැඩිවීම අද අයවැයෙන් ලැබෙනු ඇති ද?

මෙවර අයවැය දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන්

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.

ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වනු ඇත.

මීට පෙර, 2022 වර්ෂය සඳහා සංශෝධිත අයවැයක් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අයවැය මඟින් යොමුකර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරය සකස්කිරීම කෙරෙහිත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත.

2023 අයවැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන්ට යහපත් රටකට අවශ්‍ය අලුත් වැඩපිළි‍වෙළක් නිර්මාණය කිරිමට නියමිත ය.

රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එම්. පී. ආර්. අතුල කියා සිටියේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් අද අන්ත අසරණභාවයට පත්ව ඇති බව ය.

“අතිකාල කප්පාදු කරලා තියෙනවා. සියලුම දීමනා කප්පාදු කරලා තියෙනවා. අද අන්ත අසරණභාවයට පත්වෙලා තියෙන්නේ මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයෝ. තමන් ගන්නා වූ වැටුප දවස් කිහිපයකින් වාෂ්පවෙලා යනවා.”

එබැවින් මෙවර අයවැයෙන් වැටුප් වැඩිවීමක් අපෙක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය. 

“අපි ආණ්ඩුවට බලකර සිටිනවා මේ අයවැයෙන් රුපියල් 25000කවත් වැටුපක් වැඩිකරන්න කියලා. එහෙම නැතිනම් ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන්න මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ.”

රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් නුවන් බුද්ධික අවධාරණය කළේ, භාණ්ඩ හා සේවා බදු ඉහළ දැමීම හමුවේ සේවකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ය.

“ආණ්ඩුව විසින් සමහර අවස්ථාවල රාජ්‍ය සේවකයා මේ බදු මුදලින් යැපෙන්නේ කියලා, ජනතාව අතර අද රාජ්‍ය සේවකයාව ඉතාම හෑල්ලුවට හා දුර්වලකමකට ලක්කරලා තියෙනවා. ජලය හා විදුලිය අනෙකුත් භාණ්ඩ හා සේවා බදු විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. එහෙම නම් මේ වන විට කිසිදු වැටුප් වැඩිවීමක් අපිට ලැබිලා නැහැ. එහෙම නම් කියන්න බැහැ මේ රටේ රාජ්‍ය සේවකයා බදු මුදලෙන් යැපෙනවා කියලා. අපිට පේන විදිහට මේ වැඩි කරපු සියලුම බදු ආණ්ඩුව තමා අරන් තියෙන්නේ,” ඔහු කියා සිටියේ ය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මුදල් පනත් ලෙස ආණ්ඩුව දැනටමත් බදු වැඩිකර ඇති බව ය.

“බදු වැඩිකිරීම් ටික දැනටමත් බොහෝ දුරට කරල ඉවරයි. එව්ව ඉදිරිපත් කරලා තියෙනවා මුදල් පනත් හැටියට. එතකොට අද සමහරක් විට පොඩි බදු දෙක, තුනක් ගහලා උත්සාහ කරයි කියන්න මේ බලන්න අපි බජට් එකක් ඉදිරිපත් කළා, නමුත් ඒ බජට් එකේ මහ ලොකු බදු වැඩිවීමක් නැහැ කියලා,” ඔහු පෙන්වා දුන්නේ ය.

මෙරට දුප්පත්කම දෙගුණයකින් පමණ වැඩි වී ඇතැ යි ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. 

“මේ වසර වෙනකොට, මේ මාස 12ට ආහාර උද්ධමනය 95% පැනලා තියෙනවා. මේ ගිය සතියේ ලෝක බැංකුව පාර්ලිමේන්තුවට ආවා. ඒ වැඩමුළුවේ දී ඔවුන් පෙන්වලා දුන්නා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 2021/ 2022 අතර දෙගුණ වෙලා තියෙනවා කියලා. අවම වශයෙන් දුප්පත්කම 13% ඉඳලා 27%ට වැඩිවෙලා තියෙනවා. වතු ආශ්‍රිත දුප්පත්කම 50% ඉක්මවා ගිහිල්ලා තියෙනවා.”

“දුප්පත්කම දෙගුණ වුණා නම්, සමාජ සුබසාධනයට වියදම් කරන ප්‍රමාණය සත පහකින්වත් වැඩි කරන්නැතුව අඩු කරනවා නම්, කෝ මේ සමාජය තේරුම් ගැනීම?" ආචාර්ය ද සිල්වා ප්‍රශ්නකර සිටියේ ය.

“මිනිස්සුන්ගේ බදු වැඩි කරනවා. සුබසාධන වියදම් අඩු කරනවා. ඇමැති මණ්ඩලය වැඩිකරනවා. මොන විකාරයක් ද?” ඔහු චෝදනා කර සිටියේ ය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ මේ අවස්ථාවේ දී ජනතාව විශාල වශයෙන් සහන බලාපොරොත්තු වන බව ය.

“මෙතෙක් සාමාන්‍ය විසර්ජන පනතක තිබුණු අංක එකේ වියදම වූ ආරක්ෂක වියදම මේ වතාවේ ටිකක් පහළට ඇවිල්ලා තියෙනවා. සමාජ ආරක්ෂණය සඳහා තමයි බිලියන 575ක්,” ඔහු සඳහන් කළේ ය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

වැඩිම වියදම් මොනවාට ද?

Budget SL 2023

2023 වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත්ලක්ෂ අසූහත්දහස් නවසිය හතළිස්නවය ඉක්මවා තිබේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.

වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා 2023 වසරට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික ය.

 සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබන වසරේ මූලධන වියදම් වෙනුවෙන් වෙන්කෙරෙන මුදල රුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියයකට අධික වනු ඇත.

2023 වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහකි. 

මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැටඑක්දහස් තුන්සිය අනූ තුනකට වෙන්කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හතළිස් එක්දහසකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න වන අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි තිස්හත්දහස් දෙසිය හැට හතරකට අධික ය.

 කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි එකොළොස්දහස් පන්සියයකි.

රුපියල් කෝටි විසිතුන්දහස් දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද, රුපියල් කෝටි තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබේ.

අයවැය පරාජය වුණොත් මොකද වෙන්නේ?

ජනාධිපති වික්‍රමසිංහ 2023 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවනවර කියවීමේ විවාදය හෙට (නොවැ. 15) සිට ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

අයවැය ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිත ය.

අයවැය පරාජයට පත්වුවහොත් කුමක් සිදුවන්නේ ද යන්න මුදල් රාජ්‍ය අමාත්‍යරංජිත් සියඹලාපිටිය පැහැදිලි කළේ ය. 

“2023 වර්ෂය අපි නැගී සිටින්න උත්සහ කරන වර්ෂයක්. අයවැය ලේඛනයක් අපේ රටේ පරාජය වෙලාම නැහැ. පරාජය වුණොත්, යම් අවස්ථාවක ඒකත් රජයකට ඉතා දැඩිව බලපානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා සේ සැළකෙනවා,” අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“අයවැය ලේඛනය පරාජය වූවිට, එතකොට රජය ඉබේම විසුරුවා හැරීමක් වෙනවා. ඒනිසා අයවැය ලේඛනයක් සම්මත කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා රජයකට,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග 3 වැනි වටයේ සාකච්ඡා නොවැම්බර් 17 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.