ලාංකිකයින්ගේ කුසගිනි නිවීම 'තර්ජනයක්': ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී 94.9% දක්වා ඉහළට

Food inflation reaches its' highest in September

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA

ශ්‍රී ලංකාවේ 'උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට ඇති හැකියාව තර්ජනයට ලක්ව ඇතැයි,' ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

ලෝක ආහාර වැඩසටහන මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ, සැප්තැම්බර් මස ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව නිකුත් කරමිනි.

මෙම වාර්තාව මගින් දක්වා ඇති වඩාත් බරපතළ තත්ත්වය වන්නේ, බාහිර සහයක් නොලැබුණහොත් 2022 වසරේ ඔක්තෝබර් සිට 2023 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය තවත් දරුණු වනු ඇති බවට පුරෝකථනය කර තිබීමය.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ සැප්තැම්බර් මස ශ්‍රී ලංකා වාර්තාවේ ප්‍රධාන කරුණු

  • ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමාණවත් ආහාර සපයා ගැනීමේ හැකියාව තර්ජනයට ලක්ව තිබේ.
  • මෙම තත්ත්වය ඉදිරි මාස 4 තුළ තවදුරටත් දරුණු තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇත.
  • කොළඹ නාගරික කලාපයේ ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ යමින් තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය 93.7%ක් ලෙස සටහන් වූ අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

එය ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයයි.

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සහන සැලසීමට ලෝක ආහාර වැඩසටහන පියවර ගනිමින් සිටින බව ද එහි දැක්වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ග්‍රෑම් 250 ගාණ කියන්නේ බඩු ගන්න එන අයට හාර්ට් ඇටෑක් හැදෙයි කියලා බයට.''

මේ අතර, ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත්, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුණහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් ලෝක ආහාර වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී අනතුරු ඇඟවීය.

ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50ක් පමණ පහත වැටීම සහ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩුවීම මෙම තත්ත්වයට මූලිකව බලපා ඇතැයි එම වාර්තාවේ දැක්විණි.

කෙසේ වෙතත් මේ අතර මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ මාධ්‍ය පුහුණුකරුවෙකු වන අමන්ත පෙරේරා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර ලෝක ආහාර වැඩසටහන සැප්තැම්බර් මස නිකුත් කළ වාර්තාවට, අගෝස්තු මස වාර්තාවේදී පුරෝකථනය කළ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 1/3ක් එනම් (මිලියන 7 කට ආසන්න අගයක්) ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණදීමේ අවධානමක සිටින බවට ඇතුළත් කොට තිබු සංඛ්‍යා දත්ත ඇතුළත් නොවුයේ මන්ද යන්න සම්බන්ධයෙන් විමතියක් ඇති බවයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

දේශගුණික තත්ත්වයන්ගෙන් දැඩි බලපෑමක්

මේ වන විට ශ්‍රී ලංකාව දේශගුණික බලපෑම්වල තර්ජනයකට ද මුහුණ දී සිටින අතර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවන තත්ත්වයන්ට මුහුණ පා සිටින බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය ද කෘෂිකාර්මික කටයුතුවලට ජනතාව නැඹුරු වීම කෙරෙහි අයහපත් ලෙස බලපානු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මෙහි අවසන් ප්‍රතිඵලය විය හැක්කේ, ආහාර නිෂ්පාදනය තවදුරටත් පහළ යාමය.

පසුගිය ජූලි මාසයේදී ලෝක බැංකු වාර්තාවකින් අනාවරණය වූයේ, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ම ආහාර උද්ධමනය සහිත රටවල් අතර 5 වන ස්ථානයට පත්ව ඇති බවය.

අදාළ වාර්තාවට අනුව, ලොව ඉහළ ම ආහාර උද්ධමනයක් සහිත රටවල් 5 පිළිවෙළින් මෙසේය.

1. ලෙබනනය (ආහාර උද්ධමනය - 332%)

2. සිම්බාබ්වේ (ආහාර උද්ධමනය - 309%)

3. වෙනිසුවෙලාව (ආහාර උද්ධමනය - 155%)

4. තුර්කිය (ආහාර උද්ධමනය - 95%)

5. ශ්‍රී ලංකාව (ආහාර උද්ධමනය - 91%) (*සැප්තැම්බර් - 94.9%)

ශ්‍රී ලංකා රුපියලේ අගය

මේ අතර, විනිමය අගය වැඩි ම අවප්‍රමාණය වූ මුදල් ඒකක අතර ලෝකයේ සිව් වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ඔහු නිකුත් ක‍ර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ, 2022 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රුපියලේ අගය 49.28%කින් පහත වැටී ඇති බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

වැඩි ම අවප්‍රමාණයක් සහිත ඒකකය සිම්බාබ්වේ ඩොලරය (75.61%) වන අතර කියුබානු පෙසෝ (60.00%), ඝානා සේඩි (54.62%) යන මුදල් ඒකක ශ්‍රී ලංකා රුපියලට වඩා අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය හෑන්ක්ගේ වාර්තාවෙන් පෙනී යයි.