'යටිනුවර ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක දිවි නසා ගනී': බිරිඳ සහ දියණියකගේ මළ සිරුරුත් නිවස තුළ

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක චම්පික නිලන්ත, ඔහුගේ බිරිඳ සහ වැඩිමල් දියණිය නිවසක් තුළ මිය ගොස් සිටියදී හමුවී ඇතැයි පොලිසිය පවසයි.
නිවසක් තුළ පුද්ගලයෙකු සියදිවි නසාගෙන කාන්තාවක සහ දැරියක මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
ජූලි 28 වන දින රාත්‍රී කාලයත් ජූලි 29 අලුයම් කාලයත් අතරතුර මෙම මරණ සිදුවී ඇති බවට සැක පළ කරයි.
ඔවුන් පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, 13 හැවිරිදි බාල දියණිය "නිරුපද්‍රිතව" සිටින බවත් ඇය අධිකරණය හමුවට ඉදිරිපත් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව, ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මිය ගොස් ඇත්තේ කවුද?
යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ චම්පික නිලන්ත නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි වැඩිමහල් දියණිය එලෙස මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, බිරිඳ සහ දියණියගේ මරණය සිදුවූයේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.
මෙම සිදුවීම පිළිබඳව බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, "පැති කිහිපයකින්" සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ය.
"යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තියෙනවා. එම නිවසේදී ම ඔහුගේ බිරිඳ සහ දියණිය ද මියගොස් සිටිනවා. මේ වන විට SOCO, මහේස්ත්‍රාත්වරයා, ඒ වගේ ම අපරාධ පරීක්ෂණ ලේඛනාගාරයේ නිලධාරීන් පැමිණ පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා," ඔහු පැවසීය.
පේරාදෙණිය පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මරණවලට හේතුව තවමත් අනාවරණය වී නොමැති බව ය.

සමගි ජන බලවේගයේ ප්‍රතිචාරය
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු මිය ගිය පුද්ගලයා තම පක්ෂ සාමාජිකයෙකු බවට තහවුරු කළ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජිතයෙකු යවා ඇති බව ද පැවසීය.
කෙසේ වෙතත්, ඔවුන්ගේ මරණ පිළිබඳව නිශ්චිත හේතුවක් පැවසිය නොහැකි බව ද මහ ලේකම්වරයා පැවසීය.
"එතනට මගේ එක්කෙනෙක් යැව්වා. එයාට මම හිතන්නේ, පෞද්ගලික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න තිබිලා තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළැක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909















