තිස් වසරක යුද්ධය පිළිබඳ මාධ්‍ය සාක්ෂිකරුවෙකුගේ මතක ආවර්ජණය

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Chandrapala
වසන්ත චන්ද්‍රපාල යනු ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
අම්පාර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සේවය කළ ඔහුගේ විශේෂත්වය වන්නේ, 30 වසරක් පැවති සිවිල් යුද්ධයේ අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකු වීම ය.
තමන් යුද්ධ පුවත් වාර්තා කිරීමෙන් ලැබූ අත්දැකීම් අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් 'කඳුළින් නොසේදුණු මතක' යන මැයෙන් ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
මෙම ග්‍රන්ථය ජනවාරි 28 පස්වරු 2.00ට අම්පාර නගර ශාලාවේදී එළිදැක්වීමට නියමිත ය.
"තිස් අවුරුද්දක් පැවති යුද්ධය වාර්තා කරපු මාධ්‍යවේදියෙක් විදිහට මට ඕන වුණා, මගේ අත්දැකීම් වත්මන් සහ අනාගත පරපුරට ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි, මම මේ ලිපි එකතු කරලා පොතක් මුද්‍රණය කරන්න තීරණය කළේ."
ඔහු සිය මාධ්‍ය ජීවිතයට බීබීසී සිංහල සේවයෙන් ලැබුණු සහය පිළිබඳව ද සිහිපත් කරයි.
"මට මේ ඉන්න තැනට එන්න මග පෙන්වීම ලැබුණේ බීබීසී සිංහල සේවයෙන්. විශේෂයෙන් එල්මෝ ප්‍රනාන්දු මාධ්‍යවේදියාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේ ම නව තාක්ෂණය, මාධ්‍ය ආචාර ධර්ම වගේ ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා බීබීසී සේවයෙන්. මම මේ ගමන ගැන බීබීසී සිංහල සේවයට ස්තුතිවන්න වෙනවා."
'බිය දැනුණු අත්දැකීම්'
වසර ගණනක් යුද්ධය පිළිබඳ වාර්තා සටහන් කළ මාධ්‍යවේදියෙකු ලෙස වසන්ත චන්ද්‍රපාල මුහුණ දුන් අත්දැකීම් රැසක් තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු ඒ අතරින් කිහිපයක් සිහිපත් කළ අතර, ඔහු ඒවා හැඳින්වූයේ, සිය මාධ්‍ය ජීවිතය තුළදී මුහුණ දුන් 'බිය දැනුණු අත්දැකීම්' ලෙස ය.
"එක්තරා අවස්ථාවක පොතුවිල් ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වෙලා මුස්ලිම් ජනතාව 13 දෙනෙක් ඝාතනය වුණා. ඒ අවස්ථාවේ බීබීසී සංදේශය වෙනුවෙන් මම ඒක වාර්තා කරන්න ගියා. එදා රූ නවයට විතර මම ගියේ ත්‍රිරෝද රථයක. වාහනයක යන්න බය යි. වැඩේ අවසන් වෙලා එද්දි ටිකක් රෑ වුණා. තිරුක්කෝවිල් කියන සම්පූර්ණයෙන් එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණ ප්‍රදේශයක් හරහා ආවේ. පාරේ ලයිට් තිබුණෙත් නෑ. එක පාරට ගිනි අවි දෙකක් අරගෙන දෙන්නෙක් පාරට පැනල අත දැම්මා. ඊට පස්සෙ මම ත්‍රීවීලර් එකේ මැද පහත් වෙලා හැංගුණා. මේ කතාව කියද්දිත් මගේ ලොමු දැහැගැන්වෙනවා. ත්‍රීවීලර් රියැදුරා එහාට මෙහාට කපනවා දැනුණා මට. මම හිතුවා දැන් වෙඩි තියයි, දැන් වෙඩි තියයි කියල. හැබැයි වෙඩි තිබ්බෙ නෑ. ඊට පස්සෙ ත්‍රීවීලර් එකේ රියැදුරා 'මහත්තයා.. මහත්තයා' කියලා කතා කළා. ඊට පස්සෙ අපි එහෙම්මම ගියා ළඟ තිබුණ එස්.ටී.එෆ්. කෑම්ප් එකකට. එතනදිත් අපිව දැකලා තුවක්කු එල්ල කළා. මම අත් උස්සලා කිව්වා මම මාධ්‍යවේදියෙක් කියලා. ඊට පස්සේ අපට කෑම්ප් එකේ කට්ටිය උදව් කළා. ආරක්ෂාව ලබා දුන්නා අම්පාර දක්වා එන්න," වසන්ත චන්ද්‍රපාල පැවසීය.
ඔහු තවත් එවැනි ම අත්දැකීමක් මෙසේ විස්තර කළේ ය.
"තව දවසක් මම ගියා යාපනයේ තිබුණ වැඩකට. ඒ කාලේ යුද්ධය හොඳට ම තිබුණ කාලයක්. එදා මම රෑ නැවතුණේ, වවුනියාව රංජිත් ජයසුන්දර කියල මාධ්‍යවේදියෙකුගේ ගෙදර. උදේ එයා මාව බයික් එකේ ගෙනත් දැම්ම හමුදා මුරපොළ ළඟට. එතනින් පස්සේ එල්.ටී.ටී.ඊ. මුරපොළක්. එතනට ලංකාවෙ ගොඩක් තැන්වලින් බස් ඇවිත් තිබුණා 'සාම භාවනාව' කියන වැඩසටහනට යන්න. ඊට පස්සෙ ඒ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ගොඩක් හිටියා. මම ඒ වෙලාවෙ ඡායාරූප කිහිපයක් ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ රැවුල වවාගත්ත කෙනෙක් ඇවිල්ලා, 'ආ කොහොම ද මල්ලි' කියල කතා කරල මගේ පිටටත් තට්ටුවක් දාලා මගෙන් ඇහුවා 'ෆොටෝ කීයක් විතර ගත්ත ද?' කියලා. මං කිව්වා 'පහක් හයක් ගත්තා' කියලා. ඊට පස්සෙ එක පාර ම මගෙ අතින් අල්ලගෙන කැමරාවත් අරගෙන මාව එල්.ටී.ටී.ඊ. කෑම්ප් එක ඇතුළට අරන් ගියා. අරගෙන යද්දි මට පොඩි චකිතයක් ඇති වුණා. රංජිත් ජයසුන්දර මට කියල තිබුණා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එයාගේ නම කියන්න කියලා. ඊට පස්සෙ මම අර කට්ටියට කිව්වා, මම රංජිත් ජයසුන්දරගෙ යාළුවෙක්, එයාගෙ ගෙදර තමයි හිටියෙ කියලා. මොක ද රංජිත් ජයසුන්දර ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව වාර්තා කරන්න ගිහින් තිබුණා. ඒ නිසා එයා ඒ පැත්තේ එල්.ටී.ටී.ඊ. පිරිස ගොඩක් දන්නවා. ඊට පස්සෙ මාව සමර් හට් එකකට එක්කගෙන ගියා. ඊට පස්සෙ අර පුද්ගලයා කැමරාවත් අරගෙන එයාලගේ නායකයා හම්බ වෙන්න ගියා. මම දන්නෙ නෑ ඒ නායකයා කවුද කියලා. ඊට පස්සෙ ටික වෙලාවකින් ඇවිත් කැමරාව දීල කිව්වා 'හරි යන්න හැබැයි ආයෙත් ෆොටෝ ගන්න එපා කියලා. ඒකත් මම මුහුණ දුන්න බිය දැනුණු අත්දැකීමක්."
වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය
මේ අතර, විනෝදාංශයක් ලෙස වසන්ත චන්ද්‍රපාල ඡායාරූපකරණයේ නිරතව සිටින අතර, වනජීවීන් ආශ්‍රිතව පසුගිය වසර කිහිපයක් පුරා ඔහු විසින් ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයක් ද ජනවාරි 29 වන දා සිට අම්පාර නගර ශාලාවේදී පැවැත්වේ.
මේ, ඔහු ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Chandrapala

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Chandrapala

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Chandrapala

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Chandrapala














