ගිං ගඟත් බෙන්තර ගඟත් අතර සැමරෙන 'කිරි පෝය'

කිරිපෝය

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ.

කිරි පෝය යනු, ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන එවැනි උත්සවයකි.

එය හුදෙක් ම චාරිත්‍ර වාරිත්‍රවලින් ඔබ්බට ගිය සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකි ය.

කිරි ආහාරවලින් පිරුණු 'කිරි පෝය'

දකුණු පළාතේ එක් කොටසක පමණක් සැමරෙන මෙම විශේෂ පොහොය පිළිබඳ ලද තොරතුරු අනුව බීබීසී සිංහල අප ගමන් කරමින් සිටියේ අහුංගල්ල ප්‍රදේශය බලා ය.

අහුංගල්ල, බලපිටිය ආදී ප්‍රදේශවල මෙම චාරිත්‍ර වාරිත්‍ර වාර්ෂිකව ඇසළ පොහොය දිනයේදී සිදුකරන බව අපට දැනගැනීමට හැකි විය.

'කිරි පෝය' ලෙස හැඳින්වෙන මෙම උත්සවය සිංහල-හින්දු අලුත් අවුරුද්ද සේම එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සමරන සංස්කෘතික උත්සවයකි.

අපගේ ගමනාන්තයට ළඟා වන විටත් ඒ අසල පිහිටි නිවෙස්වල ගෘහණියන් නිවසින් පිටත ලිප් බැඳ එම ලිප්වල විශාල වළං තබා, දිගු කිතුල්පත්තකින් කිරියා හැඳිගාන අයුරු දැක ගැනීමට අපට හැකි විය.

පොල්කිරි, හාල් පිටි, සීනි හෝ හකුරු සහ වියළිමිදි, කජු ආදිය යොදා සකස් කරන කිරියා ඉතා ප්‍රණීත ආහාරයකි. එය බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන කිරි දාන සංස්කෘතියේ නොමැකෙන ආහාරයකි.

සවස සිදුකිරීමට ඇති කිරි පෝය චාරිත්‍ර සඳහා එම ආහාර පිසින වග ගෘහණියෝ අපට පැවසූහ.

කාන්තාවන් කිරියා හැඳිගාන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෘහණියන් ලිප් බැඳ කිරියා හැඳිගාන අයුරු දැක ගැනීමට අපට හැකි විය

'කිරි පෝය' ඉතිහාසය

මෙම කිරි පෝය චාරිත්‍රය අතීතයේ පටන් සිදු කරන චාරිත්‍රයක් බවට අප සමග අදහස් හුවමාරු කරගත් ගම්වැසියන් බොහෝ දෙනෙක් පැවසූහ.

ඉර බැස ගොස් අදුර පැමිණෙත් ම නිවස තුළ කිරි පෝය චාරිත්‍ර සිදු කරන ගම්වැසියන් සවසට නැවත එකතු වන්නේ ගමේ පිහිටි දේවාලයට ය. කිරි පෝය, එසේත් නැතිනම් ඇසළ පොහොය දිනයේ සහ ඊට පසු දින විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් සංස්කෘතිකාංග රැසක් එම දේවාලයේදී සිදු කෙරේ.

අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි "තිලකමුණි කෝවිල" එදින අපි මෙම චාරිත්‍රය නැරඹීමට තෝරාගත් ස්ථානයයි. එදින එම දේවාලය තුළ බොහෝ පිරිසක් එක් රැස්වී සිටියේ කිරි පෝයට අදාළ සංස්කෘතිකාංග සඳහා පසුබිම් සකස් කිරීමට ය.

තිලකමුණි කෝවිල

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි "තිලකමුණි කෝවිල" එදින අපි මෙම චාරිත්‍රය නැරඹීමට තෝරාගත් ස්ථානය යි

එම සංස්කෘතිකාංග රංග දැක්වීම සඳහා පැමිණ සිටි නැට්ටුවන්, බෙර වාදකයන්, මෙන් ම කපු මහතුන් යන සියලු දෙනා පාරම්පරිකව සිය ශාස්ත්‍රය ප්‍රගුණ කළ අය වේ.

මෙම කිරි පෝය චාරිත්‍රය සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට, කතරගම දෙවියන්ට, සහ දෙවොල් යක්ෂයාට බව මෙම දේවාලයේ සිටි එක් කපු මහතෙකු වූ චතුරංග පැවසුවේ ය. පාරම්පරික නර්තන ශිල්පියෙකු සහ බෙර වාදකයෙකු වන ඔහු එදින රාත්‍රියේ සංස්කෘතිකාංග කිහිපයකට ම අදාළව නර්තනයේ යෙදීමට සූදානම්ව සිටියේ ය.

පහතරට බෙරය

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම උත්සවයේදී යොදා ගන්නා ප්‍රධාන අවනද්ධ භාණ්ඩ අතර පහතරට බෙරය සුවිශේෂී තැනක් ගනී
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"කිරි පෝය චාරිත්‍ර සිදු කරලා මිනිස්සු පත්තිනි මෑණියන්ගෙන් ගම ආරක්ෂා කරලා දෙන්න, දරු සම්පත් ලබාදෙන්න වගේ දේවල් ඉල්ලනවා. ඒ වගේම ධීවරයෝ දෙවොල් යක්ෂයාට කන්නලව් කරනවා ඔවුන්ව මුහුදේදී ආරක්ෂා කරන්න කියලා. බහු දින ධීවර යාත්‍රා ඇරෙන්න අනෙකුත් ධීවර යාත්‍රා සාමාන්‍යයෙන් මේ දවසට මුහුදු යන්නේ නෑ," ඔහු විස්තර කළේ ය.

පහතරට නර්තන සම්ප්‍රදායේ එක් ශාන්තිකර්මයක් වන්නේ 'පත්තිනි නර්තනයයි'.

පත්තිනි දේවතාවිය නිරූපණය කරමින් මෙම නර්තනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි. පත්තිනි දේවතාවියගේ ආභරණ සහ ඇඳුම් මෙන් ම, දීර්ඝ කෙස් කළඹ පැළඳගෙන එම නර්තනයේ යෙදෙමින් ශාන්තිකර්මය කරනු ලබන්නේ පිරිමි නැට්ටුවෙකු විසින් ය.

මේ සඳහා ද පාරම්පරික පහතරට නැට්ටුවෙකු වන ජානක සූදානම්ව සිටියේ ය. කිරි පෝය දිනයේදී කිරි ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් ජානක විස්තර පැහැදිලි කළේ ය.

"කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සට පසුව කතරගම දක්වා ගමන් කරන විට මේ ප්‍රදේශය හරහා ගමන් කරලා තියෙනවා. එතකොට බෙන්තර ගඟත් ගිං ගඟත් අතර ප්‍රදේශයේ ජනතාව කිරි ආහාර වලින් ඔහුට සංග්‍රහ කරලා තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්. ඒ නිසා තමයි මේ උත්සවයට විශේෂයෙන් ම කිරි ආහාර සකස් කරන්නේ."

පත්තිනි නර්තනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, පත්තිනි දේවතාවිය නිරූපණය කරමින් නර්තනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි

කිරි පෝයට "ජොරා මරන" ගම්වැසියෝ

රාත්‍රියේදී පැවැත්වන ශාන්තිකර්ම සඳහා පසුබිම් සකස් කරමින් සිටි සහ රාත්‍රියේ පැමිණෙන ගම්වැසියන්ට ලබා දෙන දානයේ කටයුතු සිදුකරමින් සිටි පිරිස් ඉර අවරට යත්ම "ගෙදර ගිහින් ජොරා මරලා එන්නම්," යනුවෙන් පවසමින් නිවෙස් වෙත යාම අපගේ කුහුලට හේතුවක් විය.

එදින අප සමග මෙම ගමනට එකතු වී සිටි අහුංගල්ලේ පදිංචිකරුවෙකු වන උදිත එම චාරිත්‍රය පිළිබඳව අපට පැහැදිලි කළේ ය.

"දවල් ඉඳන් හැඳිගාන කිරියා සහ කිරිබත් ගෙදර සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළයක දාලා කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ. මේ උත්සවයට කලින් දවස් තුනක විතර පටන් අපි මස් මාළු කන්නේ නෑ. ගෙවල් කහ වතුරෙන් සෝදනවා. කිරි පෝය දවසේ උදේ පටන් කිරියා හැඳි ගාන එක හැම ගෙදර ම වගේ කරනවා."

"ඉර බැහැලා අඳුර වැටීගෙන එනකොට පවුලේ හැමෝම නිවසේ සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළ බිම අතුරලා ඒ කෙසෙල් කොළ උඩට කිරියා සහ කිරිබත් දාලා හැමෝම එකතුවෙලා කනවා. ඊට කලින් මිදුලේ ගොක්කොලවලින් පොඩි මල්පැලක් හදලා ඒ ඇතුලෙන් මේ කිරි ආහාරවලින් කොටසක් තියෙනවා. මේ විදිහට කිරි ආහාර කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

ගොක්කොල මල්පැලේ තබන කිරි ආහාර සොරකම් කිරීම ගමේ කොල්ලන් කුරුට්ටන්ගේ විනෝදාංශය බව ඔහු පැවසුවේ ය. නමුත් එදිනට තම මල් පැලේ ඇති කිරි ආහාර යම් තරුණයෙකු හෝ කුඩා පිරිමි දරුවෙකු සොරකම් කළත් නිවැසියන් ඔවුන් සමග අමනාප නොවේ.

'ජොරා මැරීමේ' චාරිත්‍රය අවසන් කර ගම්වැසියන් ටිකෙන් ටික දේවාල භූමිය කරා ඇදී එන ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

පුද පූජාවල නිරතවන ගම්වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්වැසියෝ දේවාලයට පැමිණ උත්සවය ආරම්භයට පෙර පුදපූජාවල නිරත වූහ

මුළු ගමක් එක්තැන් කරන සංස්කෘතික මංගල්‍යය

ගමේ සියලු දෙනා තරහ මරහ අමතක කර එකට එකතු වී සිදුකරන මෙම චාරිත්‍රයට දුරබැහැර රැකියා සඳහා ගොස් සිටින අය පවා පැමිණ තිබිණි.

කිරි පෝය දිනයේ රාත්‍රිය පුරා දෙවොල්මඩුව, පත්තිනි නර්තනය, ගිනි පෑගීම, ගරා යකා නැටීම, කාවඩි නර්තනය මෙන් ම ජන ක්‍රීඩා වන අංකෙළිය, පොරපොල් ගැසීම වැනි ක්‍රීඩා ද සිදු කෙරෙයි.

උත්සවය පැවැත්වෙන දෙදින පුරා දන්වේල් තුනක් ද ලබාදෙන අතර ශාන්තිකර්ම සිදුකිරීමට පැමිණ තිබෙන කපු මහතුන්ට මුලින් දානය පිළිගන්වා, ඉන්පසුව ගම්වැසියන් සියලු දෙනාට මෙම ආහාර ලබා දීම සිදුකරයි.

එහි පළමු දානය වන කිරි පෝය දිනයේ රාත්‍රිය ලබාදෙන දානය ලබා ගැනීම සඳහා, ගම්වැසියන් පෝලිම්වල එකතු වී සිටින ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

ඉන්පසු දින උදෑසන කිරි දානයක් ද, සවස හමාර දානයක් ද ලබා දෙන බව කපු මහත්වරු අපට පැවසූහ. මෙම දාන සියල්ල සඳහා වියදම් දරන්නේ ගම්වැසියන් සාමූහිකව ය.

අතීතයේදී කුල වශයෙන් බෙදී තිබූ කාලයේදී සෑම කුලයක අයෙකුට ම වෙන් වූ විශේෂ රාජකාරියක් කිරි පෝය උත්සවය තුළ තිබූ බව කපු මහත්වරු කියා සිටියහ. වර්තමානය වන විට එවැනි කුල භේදයක් නොමැති වුවත්, සියලු ගම්වැසියන් එක් එක් වගකීම් බෙදාගෙන සාමූහිකව මෙම උත්සවය සංවිධානය කරන බව එහි සංවිධායකයෝ පැවසූහ.

රාත්‍රී දානය ලබා ගැනීම සඳහා ගම්වැසියන් පැමිණ සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, රාත්‍රී දානය ලබා ගැනීම සඳහා, ගම්වැසියන් එකතු වී සිටින ආකාරය අපට දැක ගැනීමට හැකි විය

මෙම ශාන්තිකර්මය අතරතුරදී, මධ්‍යම රාත්‍රියේදී කොඩි වැල් එල්ලන ලද පුවක් ගසක් දේවාලයේ මිදුලේ සිටවනු ලබයි. එය හඳුන්වන්නේ "කාල පන්දම" ලෙසයි. හොඳින් වැඩුණු පුවක් ගසක් කපා එය ශුද්ධ කර කාල පන්දම සකස් කිරීම සඳහා යොදා ගනියි.

එහි සතර දිශාවට කොඩිවැල් සතරක් එල්ලන අතර ගම්වැසියන්ගේ විවිධ බලාපොරොත්තු වෙනුවෙන් පඬුරු ගැට ගැසීම සිදුකරන්නේ එම කාල පන්දමේ ය.

සතර කොනට එල්ලූ කොඩි වැල්වල මුදල් නෝට්ටු ගැටගසා, සිදුකරන ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ද එක් කපු මහතෙක් පැහැදිලි කළේ ය.

"මේ කොඩිවැල් හතරෙ සල්ලි කොල එල්ලනවා. ඊට පස්සේ කට්ටියට කියනවා උඩ පැනලා කකුලෙන් ගහලා ඒ කොඩිවැල් කඩන්න කියලා. ඒ විදිහට උඩ පැනලා කකුලෙන් කොඩිවැල කැඩුවොත් කොඩි වැලේ එල්ලලා තියෙන සල්ලි ඒ කෙනාට ලැබෙනවා," ඔහු පැවසුවේ ය.

කාල පන්දම

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාන්තිකර්මය අතරතුරදී, මධ්‍යම රාත්‍රියේදී කොඩි වැල් එල්ලන ලද පුවක් ගසක් දේවාලයේ මිදුලේ සිටවනු ලබයි. එය "කාල පන්දම" ලෙස හඳුන්වයි.

පරම්පරාවෙන් පැමිණෙන උරුමය

ගිං ගඟත්, බෙන්තර ගඟත් අතර මුහුදුබඩ ප්‍රදේශයේ එක් එක් ගම්වල දේවාල මුල් කරගෙන පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යය පාරම්පරික දැනුම එක්තැන් කරන අවස්ථාවක් ලෙස නම් කළ හැකියි.

අහුංගල්ලේ මෙම උත්සවය පැවැත්වුණු තිලකමුණි කෝවිලේ භාරකාරීත්වය ද එලෙස පාරම්පරිකව ලැබෙන හිමිකමකි.

වර්තමානය වන විට එම දේවාලයේ භාරකාරීත්වය දරන්නේ එම පරම්පරාවේ දහතුන් වන පරම්පරාවයි. වර්තමානයේ එම දේවාලයේ භාරකරු වන දිනේෂ් වරින් වර විදෙස්ගත වන්නෙකු වුවත් මෙම උත්සවය සඳහා නොවරදවා ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකි.

"මේ දේවාලයේ භාරකාරීත්වය මගේ තාත්තගෙන් මට ලැබුණේ. තාත්තට සීයගෙන්. මේ විදිහට පරම්පරාවෙන් ගලාගෙන ආව උරුමයක් තමයි මේ දේවාලය. මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක විදෙස්ගත වෙන්න සිදුවුණත් සාමාන්‍යයෙන් මම සෑම වසරක ම ලංකාවට ඇවිත් කිරි පෝය චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන්න අදාළ කටයුතු සංවිධානය කරලා දෙනවා. මගෙන් පසුව ඒ උරුමය යන්නේ මගේ පුතාට," දිනේෂ් පැවසුවේ ය.

දෙවියන්ට දානය පූජා කිරීම සඳහා පුදපූජා කටයුතුවල නිරතවන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සංස්කෘතික මංගල්‍යය පාරම්පරික දැනුම එක්තැන් කරන අවස්ථාවක් ලෙස නම් කළ හැකි ය

මෙම ශාන්ති කර්මය සඳහා පැමිණ සිටි නැට්ටුක්කරුවන්, බෙරකරුවන් ඇතුළු සියලු දෙනා ද එලෙස පාරම්පරිකව එම වෘත්තියේ නියැළෙන්නන් ය.

දෙවොල්මඩු ශාන්තිකර්මයට සහ පත්තිනි නර්තනය ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි කපු මහතුන් දෙදෙනා ම පාරම්පරික පහතරට නර්තන ශිල්පීන් වන අතර, ඔවුහු වයස අවුරුදු හතේ සිට නර්තනයේ යෙදෙන බව පැවසූහ.

විදේශීය සංචාරකයන්ගේ ප්‍රතිචාරය

ඇනට් මාක්ස් සහ ඈන් මාරි

ඡායාරූප මූලාශ්‍රය, Tharaka Samman|BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇනට් මාක්ස් සහ ඈන් මාරි ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

සංචාරක කර්මාන්තය ද සිදුකෙරෙන ප්‍රදේශයක් වන අහුංගල්ලේ මෙම චාරිත්‍ර වාරිත්‍ර නැරඹීම සඳහා විදේශීය සංචාරකයෝ ද පැමිණ සිටියහ. එවැනි සංචාරකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව බීබීසී සිංහල වෙත හිමි විය.

ඇනට් මාක්ස් සහ ඈන්මාරි ලැන්ග්හේන් එලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි. "මේ උත්සවය හරිම වර්ණවත්. අපට හරිම වෙනස් අත්දැකීමක් ලැබුණා. මේ තැනට ආවට පසුව අපට ලොකු ආධ්‍යාත්මික සුවයක් දැනුනා. හැමෝම එකතු වෙලා මෙතන ඉන්නවා. ඒවගේ ම හරි ම ප්‍රියමනාපයි," ජර්මනියේ ගුරුවරියක ලෙස කටයුතු කරන ඇනට් මාක්ස් පැවසුවා ය.

"මම මේ ශ්‍රී ලංකාවට පැමිණි හත් වන අවස්ථාව. ඒ හැම අවස්ථාවකදී ම ශ්‍රී ලංකාවේ ලස්සන සංස්කෘතිය මට අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නා," ඈන් මාරි පැවසුවා ය.