පොප්සිකල් කෝටුවකින් ඩොලර් උල්පතකට මග පාදා ගත් ගුවන් යානා ආකෘති නිර්මාණකරුවා

ශයනක ලියනගේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Shayanaka Liyanage

මීකුණකින් ධනපතියෙකු බවට පත්වූ ධෛර්යවන්තයින් පිළිබඳ කතා අපි අසා ඇත්තෙමු. මේ එවැනි ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ කතාවකි.

ඔහු මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය උපයන නිර්මාණකරුවෙකි.

ගුවන් යානා ආකෘති නියමාකාරයෙන් දැව යොදාගෙන නිර්මාණය කිරීම ඔහු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි.

32 හැවිරිදි වියේ පසු වන ඔහු, මාතර ඉපිද පන්නිපිටියේ පදිංචිව සිටින ශයනක ලියනගේ ය.

"මම ගොඩක් ම ආකෘති කරන්නේ පිට රටවල ඇණවුම්වලට. ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇණවුම් කරනවා. ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ, ගුවන් නියමුවන්ගෙන්. ඒගොල්ලො මුලින් ම පැදපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක. ඒ වගේ ආකෘති මට කියලා හදව ගන්නවා. ලෝකෙ හොයා ගන්න ම බැරි ආකෘති තියෙනවා. ඒගොල්ලො කලින් පාවිච්චි කරල තියෙන යානා තියෙනවා, ඒත් ඒගොල්ලන් ළඟ ආකෘතියක් නෑ. අන්න ඒ වගේ ඕනෑ ම ආකෘතියක් මම හදනවා,” බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශයනක ලියනගේ ප්‍රකාශ කළේ ය.

ඔහුගේ නිර්මාණවල විශේෂත්වය වන්නේ, මුල් ආකෘතියේ සියලු අංග සහිතව දැවමය ආකෘතිය නිර්මාණය කිරීම ය.

ආරම්භය පොප්සිකල් කෝටුවකින්

ඔහු ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමට පෙළඹී ඇත්තේ, අහම්බෙනි. 2018 වසරේදී එය ආරම්භ වීමට බලපෑ හේතුව ඔහු විස්තර කළේ, මෙලෙසිනි.

"අයිස්ක්‍රීම් කෝටුවකින් තමයි මුලින් ම හදන්න පටන් ගත්තේ. ඒක හදලා අපේ ගෙවල් ළඟ පොඩි ළමයෙකුට ඒක තෑග්ගක් විදිහට දුන්නා. ඒක දුන්නා ම ඒ ළමයා ඒකට ගොඩක් කැමති වුණා. එයා ඒක එයාගෙ ජීවිතේ ම කර ගත්තා. ඊට පස්සෙ තමයි මම තීරණය කළේ, මේක තවත් අයට වටින්න පුළුවන් කියලා."

"මට ගුවන් යානා ආකෘතියක් ගන්න ආශාවෙන් හිටියා පොඩි කාලෙ. ඒත් ඒ කාලෙ ඒකක් ගන්න රුපියල් 8000ක් විතර ඕන වුණා. ඉතින් මට ඒකක් ගන්න විදිහක් තිබුණෙ නැති නිසා, මට හිතුණ එකක් හදා ගන්න ඕනෙ කියලා. මගේ ආශාව තමයි මම මෙච්චර දුරක් අරගෙන ආවෙ."

අයිස්ක්‍රීම් කෝටුවකින් ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීම ආරම්භ කළ ද, ඔහු මේ වන විට ආකෘති නිර්මාණය සඳහා යොදා ගන්නේ, බල්සා, (ආනයනික), මැහෝගනී සහ පයින් වුඩ් යන ලී වර්ග තුනකි.

ඔහු යන්ත්‍ර භාවිතයෙන් තොරව දෑතින් මෙම ආකෘති නිර්මාණය කිරීම විශේෂත්වයකි.

අයිස්ක්‍රීම් කෝටුවකින් ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීම ආරම්භ කළ ද, ඔහු මේ වන විට ආකෘති නිර්මාණය සඳහා යොදා ගන්නේ, බල්සා, (ආනයනික), මැහෝගනී සහ පයින් වුඩ් යන ලී වර්ග තුනකි.

ඡායාරූප මූලාශ්‍රය, Shayanaka Liyanage

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිස්ක්‍රීම් කෝටුවකින් ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීම ආරම්භ කළ ද, ඔහු මේ වන විට ආකෘති නිර්මාණය සඳහා යොදා ගන්නේ, බල්සා, (ආනයනික), මැහෝගනී සහ පයින් වුඩ් යන ලී වර්ග තුනකි.

ශයනකගේ පාසල් සමය

මාතර, මලිදූව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ ශයනක, උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා මාතර, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.

එහිදී, ඔහු චිත්‍ර කලාව, සිංහල සහ භූගෝල විද්‍යාව යන විෂයයන් හැදෑරුව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැත.

චිත්‍ර කලාව කෙරෙහි තමන් සතුව තිබූ හැකියාව පිළිබඳව විශ්වාසය හේතුවෙන් ඔහු පරිගණක ග්‍රැෆික් නිර්මාණකරණය හදාරා කොළඹ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවක් ආරම්භ කළේ ය.

ඔහුගේ ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමේ ආශාව දලු දා වැඩුණේ, පන්නිපිටියේ පදිංචියට පැමිණ රැකියාව කරමින් සිටි කාලයේදී ය.

මුදලක් ඉපයූ පළමු ආකෘතිය

"පළවෙනි එක විකුණුවේ, මට මතක හැටියට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඉගෙන ගනිමින් හිටිය ශිෂ්‍යයෙකුට. නම නම් දැන් මට මතක නෑ. ඒ කාලේ මම ඒකට රුපියල් 3000ක් තමයි ගත්තේ. විකුණපු පළවෙනි ගුවන් යානා ආකෘතිය CW 26 කියන එයාර් ක්‍රාෆ්ට් එක,” ඔහු ආවර්ජනය කළේ ය.

මුල් යුගයේදී ඔහු ගුවන් යානා ආකෘතිවල සැබෑ ස්වරූපය නිර්මාණය නොකළ අතර, පසුකාලීනව සැබෑ ආකෘතිය නිර්මාණය කළ යුතු බව ඔහු වටහා ගත්තේ ය.

"හිමිහිට ටික ටික කරගෙන යනකොට මට තේරුණා, මේක නිකං කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක හොඳට අධ්‍යයනය කරල කරන්න ඕන දෙයක් කියලා. මගේ ළඟට එක අය බලාපොරොත්තු වෙන්නෙ, ප්‍රොෆෙෂනල් දෙයක්. මම හරියට ආකෘතියක් හදන්න නම්, ඒ ආකෘතිය ගැන ඉ‌ගෙන ගන්න ඕනෙ‍. ඉතින් මම ගුවන් යානා හදන්න කලින් ඒ ගුවන් යානා මාදිලියේ ඉංජිනේරු කොටස ඉගෙන ගන්නවා."

මේ වන විට ඔහු එක් ගුවන් යානා ආකෘතියක් වෙනුවෙන් අය කරන අවම මුදල රු. 18000කි.

ශයනක ලියනගේ ප්‍රකාශ කළේ, ඔහු මේ වන විට ගුවන් යානා ආකෘති 500කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති බව ය.

"මේ ළඟදි මම ආකෘතියක් කළා එයාර් ලංකා ලෝගෝ එක ඇඳපු ශාන්ත සපරමාදු මහතාට. එයා ළඟ තියෙන ට්‍රයිස්ටාර් ආකෘතිය හැදුවෙ මම, එයාර් ලංකා ලෝගෝ එක දාලා. එයා කිව්වා එයා ඇඳපු ලෝගෝ එක මුලින් ම ගැහුවේ ට්‍රයිස්ටාර් ගුවන් යානයක කියලා. ඒ නිසා ට්‍රයිස්ටාර් එකක් කරල දෙන්න කියල කිව්වා.”

ඡායාරූප මූලාශ්‍රය, Shayanaka Liyanage

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ ළඟදි මම ආකෘතියක් කළා එයාර් ලංකා ලෝගෝ එක ඇඳපු ශාන්ත සපරමාදු මහතාට. එයා ළඟ තියෙන ට්‍රයිස්ටාර් ආකෘතිය හැදුවෙ මම, එයාර් ලංකා ලෝගෝ එක දාලා. එයා කිව්වා එයා ඇඳපු ලෝගෝ එක මුලින් ම ගැහුවේ ට්‍රයිස්ටාර් ගුවන් යානයක කියලා. ඒ නිසා ට්‍රයිස්ටාර් එකක් කරල දෙන්න කියල කිව්වා.”

විශේෂ නිර්මාණ

ඔහු මේ වන විට විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකුට ගුවන් යානා ආකෘතිය නිර්මාණය කර දී තිබේ.

‘එයාර් ලංකා’ නිල ලාංඡනය නිර්මාණය කළ ශාන්ත සපරමාදු වෙනුවෙන් නිර්මාණය කළ ගුවන් යානා ආකෘතිය එවැන්නකි.

"මේ ළඟදි මම ආකෘතියක් කළා එයාර් ලංකා ලෝගෝ එක ඇඳපු ශාන්ත සපරමාදු මහතාට. එයා ළඟ තියෙන ට්‍රයිස්ටාර් ආකෘතිය හැදුවෙ මම, එයාර් ලංකා ලෝගෝ එක දාලා. එයා කිව්වා එයා ඇඳපු ලෝගෝ එක මුලින් ම ගැහුවේ ට්‍රයිස්ටාර් ගුවන් යානයක කියලා. ඒ නිසා ට්‍රයිස්ටාර් එකක් කරල දෙන්න කියල කිව්වා.”

ඊට අමතරව, ප්‍රසිද්ධ ගුවන් නියමුවෙකු වූ කපිතාන් එල්මෝ ජයවර්ධන වෙනුවෙන් මේ දිනවල ආකෘතියක් නිර්මාණය කරමින් සිටින බව ඔහු පැවසීය.

“ඩෙන්මාර්ක්වල අවුරුදු විස්සක් විතර වැඩ කරපු කැප්ටන් කෙනෙකුටත් මම ආකෘතියක් කරල දුන්නා. එයා දැනටත් ලංකාවෙ ඉන්නේ. එයා කියනවා මේක පුදුම වැඩක් කියලා. ඇස් දෙකට නොදැක්ක දෙයක් ෆොටෝ එකක් දිහා බලාගෙන හදන එක ගැන එයා පුදුම වෙනවා."

"මගේ හීනයක් වෙලා තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන එක. ඒක මම ඉටු කරගෙන ඉන්නෙ මේ වෙද්දී"

ඡායාරූප මූලාශ්‍රය, Shayanaka Liyanage

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ හීනයක් වෙලා තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන එක. ඒක මම ඉටු කරගෙන ඉන්නෙ මේ වෙද්දී"

"මගේ හීනයක් වෙලා තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන එක. ඒක මම ඉටු කරගෙන ඉන්නෙ මේ වෙද්දී. ඊළඟට මගේ ඉලක්කය වුණේ, ලෝකෙ තියෙන ගුවන් සමාගම්වල වැඩ කරන අයට මගේ ආකෘතියක් දෙන එක. මම ඒකත් ඉටු කර ගත්තා. එමිරේට්ස් එකට තමයි ඒ ආකෘති දුන්නේ. මගේ දැනට තියෙන හීනේ තමයි, ඩයි කාස්ට් ආකෘතියක් විදිහට මේක රටේ නිෂ්පාදනය කරලා ඩොලර් ගේන එක. ඒකත් දැනට හිමිහිට කරගෙන යනවා.”

සැබෑ ගුවන් යානය මෙන් 200 ගුණයක් කුඩා ආකෘති නිර්මාණය කිරීම

ඔහු මෙම ආකෘති නිර්මාණය කරන්නේ, සැබෑ ගුවන් යානයේ විශාලත්වයට සාපේක්ෂව ය.

එහිදී, ඔහු සැබෑ ගුවන් යානයේ විශාලත්වය මෙන් 200 ගුණයක් කුඩා කර ආකෘතිය නිර්මාණය කරයි.

"ඕන ම ගුවන් යානයක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම මම සැබෑ ප්‍රමාණය වගේ 200 ගුණයක් කුඩා කරනවා. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය. ඒක හදන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට මම හදන එකේ ඒ රෝදෙ ලොකු ප්ලේන් එකක තියෙන රෝදෙ වගේ දෙසිය ගුණයක් පොඩියි."

"ඕන ම ගුවන් යානයක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම මම සැබෑ ප්‍රමාණය වගේ 200 ගුණයක් කුඩා කරනවා. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය.

ඡායාරූප මූලාශ්‍රය, Shayanaka Liyanage

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඕන ම ගුවන් යානයක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම මම සැබෑ ප්‍රමාණය වගේ 200 ගුණයක් කුඩා කරනවා. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය"

විදේශ විනිමය උපයන මාර්ගයක්

ශයනක ලියනගේ පවසන පරිදි මෙය විදේශ විනිමය ඉපයිය හැකි සාර්ථක ව්‍යාපාරයකි.

"මේක අනිවාර්යයෙන් ම රටට ඩොලර් ගේන මාර්ගයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට මම ආකෘති දෙනවා. සූවනියර්ස්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් දෙනවා‍. අනික් ගුවන් සමාගම්වලටත් දෙනවා. මේ වගේ නිර්මාණාත්මක දේවල් තියෙනවා රටට විදේශ විනිමය උපයන්න පුළුවන් විදිහේ."

රැකියා නොමැති බවට මැසිවිලි නොකියා සාර්ථකත්වයට පත්විය හැකි මාර්ග විශාල සංඛ්‍යාවක් ඇතැයි ශයනක ලියනගේ විශ්වාස කරයි.

"මිනිස්සු ගොඩක් වෙලාවට අදහස් හිතේ තියාගෙන ඉන්නව, ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ. අපට වැඩිය දක්ෂයෝ තවත් රටේ ඉන්නවා. හැබැයි ඒගොල්ලො උත්සහ කරන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ බය නොවී හිතට එන අදහස් ක්‍රියාත්මක කරල බලන්න, අපට නොපෙනෙන මාර්ගයක් ඒ හරහා නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. මේක පටන් ගනිද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා. මම දැන් ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.”