සහල් ඇටයෙන් විශ්මිත නිර්මාණ මවන ක්ෂුද්‍ර කලා ශිල්පියා

ඡායාරූප මූලාශ්‍රය, Dayananda Lokuliyanage
තාක්ෂණයේ දියුණුවත් සමගම, ලෝකයට අලුත් දෑ එකතු කරමින් කලාවේ නව මානයන් සොයා යන්නට කලාකරුවන්ට ද ඉඩ හසර ලැබී ඇත.
මහනුවර පදිංචි ලොකුලියනගේ දයානන්ද ද, පියාගේ ආභාසයෙන් ඔහු වෙත උරුම වූ කලා හැකියාව තාක්ෂණය ද සමග මුසුකොට එවන් අපුර්වතම නිර්මාණ ලෝකයට ලබාදෙන්නෙකි.
ක්ෂුද්‍ර කලාවේදියකු (micro artist) වන ඔහුගේ අපුර්වතම හා විශ්මිත කලා නිර්මාණය වන්නේ සහල් ඇටය මත සිතුවම් කරනු ලබන අලේඛය රූප ය.
සිව් වසරක් තිස්සේ ඔහුගේ අපූර්ව හැකියාවෙන් ලෝකය විචිත්‍රවත් කරන ඔහු, තමන් මෙරට සිටින එකම වෘත්තිමය ක්ෂුද්‍ර කලාකරුවා ලෙස හඳුන්වා දෙමින් බීබීසි සිංහල සේවය හා කතා බහකට එක්විය.
“මයික්‍රෝ ආර්ට් කිව්වාම ගොඩක් දේවල් තියෙනවා. මොනම හරි කලා නිර්මාණයක් කුඩා පරිමාණයෙන් කරන කෙනෙක් තමයි මයික්‍රෝ ආර්ටිස්ට් කෙනෙක් කියන්නේ. ඒකෙ දී මම දැනට කරනවා පැන්සල් තුඩුවල විවිධ නිර්මාණ කරනවා. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳිනවා. උදාහරණයක් විදියට, හාල් ඇටවල ඕනම කෙනෙක්ගේ මූණක් මට අඳින්න පුළුවන්. විවිධ චිත්‍ර හාල් ඇටවල නිර්මාණය කරනවා. ඊට අමතරව කුඩා රත්තරන් කැබලිවල හූරලා කරන නිර්මාණ (Engraving) වගේ ක්ෂුද්‍ර පරිමාණයේ විශාල ප්‍රමාණයක් කරනවා.”
ලොව පුරා සීමිත කලාකරුවන් පමණක් සිටින, ඉතා දුර්ලභ කලාවක් වූ ක්ෂුද්‍ර කලාව ස්වයං අධ්‍යනය හරහා උගත් ආකාරය ද ඔහු විස්තර කළේ ය.
“පියාගේ ආභාසයෙන් පොඩි කාලේ ඉඳලා මට චිත්‍ර අඳින්න පුළුවන්. දැනට අවුරුදු හතරකට කලින් මම ව්‍යාපාර කටයුත්තක් කළා. ඒක සාර්ථක නොවුණ තැන මගේ ඇඟේ කලාව තියෙන නිසා මම බැලුවා ටිකක් වෙනස් විදියේ දෙයක් කරන්න. එතකොට තමයි මම දැක්කේ වෙන රටවල ශිල්පීන් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඒ බලලා මම හිතුවා මේක මට කරන්න පුළුවන් කියලා. ඇත්තටම යුටියුබ් එකෙත් දාලා තියෙනවා මේ නිර්මාණ කරන විදිය. මම ඒවා දිහාත් බලලා මට තියෙන සරල උපකරණවලින් මම මේ නිර්මාණ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක සාර්ථක වුණා.
“ඊට පස්සේ මම ටික ටික ඩිවලප් කරගත්තා. ටූල්ස් ගත්තා. ඇස්වලින් බලලා කරන ඒවා වෙනුවට කාච භාවිතා කරලා කරන්න ගත්තා. ඊට පස්සේ මයික්‍රෝස්කෝප් එකක් වගේ උපකරණ අරගෙන ඒවගේ ඩිවලප් කරලා ඒ ශිල්පීන් කරලා තිබුණ නිර්මාණවලට වඩා එහාට ගිය නිර්මාණ මම දැන් කරලා තියෙනවා,” ක්ෂුද්‍ර කලා ශිල්පී දයානන්ද කියා සිටියේ ය.
ක්ෂුද්‍ර නිර්මාණයක් කිරිමට අවම වශයෙන් දින තුන හතරක් හෝ ඊට වඩා වැඩි කාලයක් වැය වන අතර, නිර්මාණය අවසන් කිරිමට පෙර සුළු හෝ වැරදීමක් සිදුවුවහොත් නැවත එම නිර්මාණය මුල සිට අලුතින් ආරම්භ කිරිමට සිදුවේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
සහල් ඇටයෙන් ගිනස් වාර්තාවට යාමේ බලාපොරොත්තුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සහල් ඇටයේ අලේඛ්‍ය නිර්මාණ හා චිත්‍ර ඇඳීම ආරම්භ කර වසර එකහමාරක් පමණ වනබව පවසන හෙතෙම, එම නිර්මාණ ආරම්භයේ ඉතිහාස කතාව ද බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
“මම පැන්සල් තුඩුවල නිර්මාණ කරද්දි මට ඕන වුනා අඳින එක කරන්න. එතනදි මම බැලුවා කුඩා ප්‍රමාණයේ නිර්මාණ කරන්න පුළුවන් ද කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ හාල් ඇටයක චිත්‍රයක් අඳින්න පුළුවන් ද කියලා. හාල් ඇටය මම තෝරගත්තේ ඒ නිසා. එතකොට මට වෙනම නමක් හදාගන්න පුළුවන්. විවිධ කුඩා දේවල්වලින් මම අධ්‍යයනය කරලා බැලුවා, ඒ අතරින් තමයි මම හාල් ඇටේ තෝරගත්තේ.
“මම ලෝකේ ප්‍රසිද්ධ අයගේ පෝට්රේට් (Portrait) කලෙක්ෂන් එකක් කරනවා. ඒකේ දැනට 80ක් විතර කරලා තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලෝකේ ජනප්‍රියම, ප්‍රසිද්ධම පුද්ගලයන් සිය දෙනාගේ පෝට්රේට් ටික කරලා කුඩාම පෝට්රේට් ටික හෝ කුඩාම චිත්‍ර විදියට හෝ ඒ දෙක වෙන වෙනම කරලා ඒකෙන් ගිනස් වාර්තාවක් ඉල්ලන්න,” ඔහු පැවසීය.
සහල් ඇටයෙන් කරන නිර්මාණ සඳහා වසර 10ක පමණ වගකීම් කාලයක් ලබා දෙන බව පවසන මේ ක්ෂුද්‍ර කලා ශිල්පියා, ඔහුම යොදනා ආරක්ෂිත ආලේපනයක් හරහා හාල් ඇටයට සිදුවන ස්වාභාවික හානි වළක්වා ගැනීමට සමත්ව ඇත.
පැන්සල් තුඩින් සිදුකරන නිර්මාණවලට ද එවැනිම වගකීමක් ලබා දෙන ඔහු, වසර 30කට වැඩි කාලයක් කිසිදු ස්වාභාවික හානියක් නොවී එම නිර්මාණ ආරක්ෂා කර ගත හැකි බවට විශ්වාසය පළ කරයි.
මෙම නිර්මාණයන්හි විචිත්‍රත්වය පියවි ඇසින් දැක ගැනීමට හැකිමුත් එය තරමක් අපහසු ය. ඔහු ඔහුගේ නිර්මාණ වඩා පැහැදිලිව රස විඳීමට ඒ සමගම කාචයක් හෝ කුඩා ප්‍රමාණයේ අන්වීක්ෂයක් පරිභෝගියන්ට ලබා දීමට කටයුතු කරයි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
මෙරටට වැඩිය පිටරටින් ඉල්ලුම
ක්ෂුද්‍ර කලා ශිල්පය පිළිබඳ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරිමේ බලාපොරොත්තුවකින් සිටින දයානන්ද පවසන පරිදි, මෙම ශිල්පය හැදෑරීමට මෙරටින් ලැබෙන ඉල්ලීමට වඩා වැඩි ඉල්ලීමක් විදෙස් රටවලින් ලැබෙයි.
“මම ඇකඩමි එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මගේ ප්‍රමාණයට, මේ රටේ ප්‍රමාණයට යන්න පුළුවන් දුර ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාවෙන් පවා මේ වෙනකොට මට වර්ක්ෂොප් ඔර්ගනයිස් කරලා තියෙනවා. අවසනාවකට ලංකාවේ කතා කරලා කෙනෙක් මේ ගැන අහනවා හරි අඩු යි,” මෙම ශිල්පය ඉදිරි පරපුරට දයාද කිරීමට බලා සිටින ක්ෂුද්‍ර කලා ශිල්පියා කියා සිටියේ ය.
විදෙස් රටවලින් විශාල ඉල්ලුමක් ඇති මෙම නිර්මාණයන් අන්තර්ජාලය හරහා ඔහු විදෙස් රටවලට අලෙවි කරනු ලබන අතර, දේශීය පරිභෝගිකයන්ට නිර්මාණ අලෙවි කිරිමේ දී එම නිර්මාණයට වැයවන කාලයට පමණක් මුදල් අය කරන බව ද සඳහන් කළේ ය.
ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට මේ තාක් නොහැකිවීම ගැන කනස්සල්ලෙන් පසුවන ඔහු, එය නොහැකිවූයේ ඊට වැය වන අධික මුදලට අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපහසු වීම නිසායැ යි ද වැඩිදුරටත් කියා සිටියේ ය.












