ශ්‍රීලනිප සභාපතිවරයා වශයෙන් පත්වී සිටින විජයදාසට එරෙහිව දුමින්ද ඉල්ලා සිටින වාරණ නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Wijeyadasa Rajapakshe| Facebook
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂත්,වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්තත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය; එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත්, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බවයි.
එම විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බවත් ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන් පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 46(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝග සඳහා කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට අයිතිය ලබාදෙමින් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා කියා සිටියේය.
පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් 12 වන දා පැවැත් වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී තම පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන අය පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායකගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
ඊට අමතරව විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත පක්ෂයේ නිලතල සඳහා පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පැමිණිල්ල සළකා බැලීම සඳහා පෙරේදා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ඉකුත් 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව විජයදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලූ කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දින වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අධිකරණ බලය අවභාවිතා කරමින්" පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සළකා බැලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින්
"කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මාගේ සේවාදායකයාට ලැබී නෑ. එම නිසා එම වාරණ නියෝගය මාගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ. ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වුණේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ. එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව පවරනු ලැබුවේ කෙසේ ද? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ ආකාරයෙන් නඩු පැවරීමට ගියහොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වැනි අධිකරණ වලට ගොස් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. මාගේ සේවාදායකයාට ඕනෑම අධිකරණයක නඩු පැවරීමට හිමිකමක් තිබෙනවා. ඒක ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එම මූලික අයිතිය සීමා කිරීමට හැකියාවක් නෑ. එසේම කඩුවෙල නඩු තීන්දුවෙන්
කොළඹ දිසා අධිකරණයේ බලය සීමා වීමක් සිදුවන්නේත් නෑ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
නඩුව යළි කැඳවෙයි
ඉහත වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල පැමිණිල්ල සංශෝධන සිදුකොට කොළඹ දිසා අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 93 වන වගන්තිය අනුව මෙවැනි නඩුවක් සලකා බැලීමට පෙර ඊට සිදුකිරීමට යන සංශෝධන මොනවාද? යන්න පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කළ යුතු බව සඳහන් කළේය.
එහෙත් මෙම පැමිණිල්ලට සිදු කරන සංශෝධන පිළිබඳව සිය සේවාදායකයාට දැනුවත් කොට නොතිසි ලබාදීමක් සිදුකර නොමැති හෙයින් මෙම අවස්ථාවේදී අදාළ පැමිණිල්ල සළකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව හෙතෙම සඳහන් කළේය.
එම අවස්ථාවේදී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අයගේ පදිංචිය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය නිකුත් කිරීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.
එහෙත් අදාළ පැමිණිල්ල සංශෝධනය කර යළි වාරණ නියෝගය ලබා ගැනීම සඳහා කරුණු තහවුරු කිරීමේ අයිතිය පැමිණිල්ලට විනිසුරුවරයා විසින් ලබා දුන් බවත් ඔහු සිහිපත් කළේය.
ඒ අනුව හතර වන සහ පස්වන විත්තිකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් බව තහවුරු කොට අදාළ පැමිණිල්ල සංශෝධනය කර මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය බාරගෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවසර ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා අදාළ පැමිණිල්ල ලබන සඳුදා(20) කැඳවන ලෙසත් නියෝග කළා.














