'මගේ වැරදි නෙමෙයි හදා ගන්න ඕන' - මන්ත්‍රී දයාසිරි ජයසේකර

Dayasiri Jayasekara and Maithripala Sirisena

ඡායාරූප මූලාශ්‍රය, Dayasiri Jayasekara

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස 2019 වසරේදී පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම තීරණය ගෙන තිබුණු අතර, එහි නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇත.

'මම වැරැද්දක් කරලා නැහැ'

මෙම සිද්ධිය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ඔහු කිසිදු වරදක් සිදුකර නොමැති බව යි.

"දේශපාලන මණ්ඩලයක් රැස් කළා කියනවා. එහෙම දේශපාලන මණ්ඩලයක් රැස් කළේ නැහැ. මටත් කතා නොකර දේශපාලන මණ්ඩලයක් රැස් කරන්න බැහැනේ. ඒ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 14-15ක් ඉන්නවා, නමුත් ඒකට ඉදලා තියෙන්නේ සාමාජිකයින් පස් දෙනෙක් විතරයි. ඒක සම්පූර්ණ නීති විරෝධියි, එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා," මන්ත්‍රීවරයා පැවසුවේ ය.

ඔහු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාක්ෂිකයින් සහ සංවිධායකවරුන් ද වික්ෂිප්තභාවයට පත්ව ඇතැ යි හිටපු මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

දිගින් දිගටම ඔහුට කතා කළ ඔවුන්, පක්ෂය සිදුකර ඇත්තේ වැරදි ක්‍රියාවක්බව දැනුම්දුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

'මහ ලේකම් තනතුර නැතුව ඕනෑම තනතුරකට භාර ගන්නවා' - මෛත්‍රිපාල සිරිසේන

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට පැමිණි එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර පක්ෂයේ මහ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරකට භාර ගැනීමට සූදානම් බව පැවසුවේ ය.

එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, එකඟත්වයට පැමිණෙන්නේ නම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඕනෑම මොහොතක ඉවත් කළ හැකි බව යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අයින් කරලා නෑ... තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ."

"එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන්, අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා."

"සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්," හිටපු මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, පක්ෂයේ බලය ඔහු යටතට ගනු ඇති බවට පක්ෂයේ සභාපතිවරයා තුළ බියක් පවතින බව යි.

"පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ."

'මගේ වැරදි නෙමෙයි හදා ගන්න ඕන'

වැරදි හදාගෙන එනවා නම් නැවත භාර ගන්න සූදානම් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්, වැරදි නිවැරදිකර ගත යුත්තේ ඔහු නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර පැවසුවේ ය.

"මගේ වැරදි නෙමෙයි හදාගන්න තියෙන්නේ එතුමාගේ වැරදි. මහලේකම්කම නැතුව අනෙක් ඒවා දෙන්න පුළුවන් නම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නය? පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලා වෙනත් තනතුරක් දෙන්නම් කියලා කියන්නේ මම වැරැද්දක් කරලා නැති නිසානේ."

"මම පක්ෂය අතහැරලා යන්නේ නැහැ. මම පක්ෂයත් එක්ක දිගටම ඉන්නවා," මන්ත්‍රීවරයා පැවසුවේ ය.

'එක්වෙමු - වෙනසකට සැරසෙමු'

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය ඉකුත් සැප්තැම්බර් මස තෙවැනිදා පැවැත්වුණි.

"එක්වෙමු - වෙනසකට සැරසෙමු" යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර සංවත්සරයේ තේමාව විය.

ගෙවුණු 72 වසරක කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරුන් සය දෙනෙකු සහ මහ ලේකම්වරුන් 12 දෙනෙකු කටයුතුකර තිබේ.