කල්යන පළාත් පාලන ඡන්දයට දැන් කොච්චර වියදම් කරලද?

    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල

අවශ්‍ය අරමුදල් නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පත්ව ඇත්තේ ආන්දෝලනාත්මක තත්ත්වයකටය. දින නියම කර කල් දමමින් යන 2023 පළාත් පාලන මැතිවරණයට, මැතිවරණ කොමිෂන් සභාව දැනට කොච්චර මුදලක් වියදම් කර තිබේද? මේ හෙලිදරව් කිරීම ඒ පිළිබඳවය.

ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ පුරවැසියෙකුට ඇති අයිතිය මත බීබීසී සිංහල පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා සිටියේය.

තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා අප වෙත එවන ලද සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබේ.

2023 පෙබරවාරි මස අවසන් වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධිකය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326කි. එනම් බිලියන 9.3කි.

2023 පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට දින නියම කළත් එය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

ඒ අනුව ලබන අප්‍රේල් මස 25 වැනිදා ඡන්දය පැවැත්වීමට දෙවැනි වරටත් දින නියම කළත් එදිනටද ඡන්ද විමසීම පැවැත්වීම මේවන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිට අනුව මෙම මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති උත්සාහයන් ගණන අවම වශයෙන් 30කි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව සඳහන් කළ ද ආණ්ඩුව විසින් 2023 නිදහස් උත්සවය සඳහා රුපියල් මිලියන 200කට අධික වියදමින් සැමරුම් උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව අතරින් සැළකිය යුතු විරෝධයක් මීට පෙර මතුවිය.

තැපැල් ඡන්ද දිනයේ යලි වෙනසක්

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද වීමසීම දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම (මාර්තු 23 වැනිදා) නිවේදනය කළේය.

පවතින වාතාවරණය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග (මාර්තු 23 වැනිදා) දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මාර්තු 28, 29,30,31 දිනවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

ඒ අනුව තැපැල් ඡන්ද සලකණු කිරීම එම දිනවල සිදුනොවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පක්ෂ ලේකම්වරුන්ගෙන් යෝජනා 04ක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණයට තරගකරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් යෝජනා 4ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. එනම්

  • පවත්නා තත්ත්වය යටතේ 2023 අප්‍රේල් 25 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බැවින් ඉදිරි නිශ්චිත දිනයක් සඳහන් කර ඡන්ද විමසීම කල්දැමීම.
  • පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් නොකර ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා පසුබිම සාක්ෂාත් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම.
  • පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට අදාළව දැනට අධිකරණයේ පවත්නා නඩුකර මගින් දී ඇති අතුරු නියෝග අනුව ඡන්ද පැවැත්වීම කල් දැමීම පිළිබඳව නීතිමය ගැටලු පවතින බැවින් කුමන ආකාරයකට හෝ ඡන්ද විමසීම කල් නොදැමිය යුතුවේ.
  • පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ සෙසු පාර්ශව සමග සාකච්ඡා කොට එමගින් ඇති කර ගන්නා එකඟතා මත ඡන්ද විමසීම සඳහා ඉදිරි දිනයක් තීරණය කිරීම.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම සියලු කාරණා මෙන්ම අදාළ ඡන්ද විමසීම් නීති පිළිබඳ අධ්‍යයනය කර ඡන්ද විමසීම් දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවය.

පළාත් පාලන ආයතන 340ක පාලනය කවුරුන් යටතේද?

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 340ක පාලනය මේවන විට මහජන නියෝජිතයන්ගෙන් ගිලිහි විශේෂ කොමසාරිස්වරුන් අතට පත්ව ඇත.

ඒ අනුව මහ නගර සභා 29 ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී තිබේ.

අදාළ පළාත් පාලන ආයතන 340ක ඡන්ද විමසීම සඳහා පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා ඇප මුදල් භාර ගනු ලැබීය.

ජනවාරි 18 වැනි සිට ජනවාරි 21 වැනිදා දහවල් 12 දක්වා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැණුනි.

මෙවර මැතිවරණයෙන් පළාත් පාලන සභිකයින් 8000කට අධික පිරිසක් තෝරපත් කර ගැනීමට නියමිතව ඇත.

ඡන්දයට තරග කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය කළ බොහෝ දෙනෙක් නාමයෝජනා භාර දී ඇති අතර ඔවුන් ද මේවන විට අපහසුතාවයට පත්ව ඇත්තේ ඔවුන්ට හිමි වැටුප් හා දීමනා ද නොලැබීයාම හේතුවෙනි.