විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) සිව්වන චක්‍රය: ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මොනවාද?

The Universal Periodic Review

ඡායාරූප මූලාශ්‍රය, Foreign Ministry of Sri Lanka/Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන (The Universal Periodic Review (UPR)) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සිව්වන වරටත් පෙබරවාරි 01 වන දින පරීක්ෂාවට ලක් කළේය.

එහිදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව වෙත තවත් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කළේය.

විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව 2022 දෙසැම්බර් 22 දින ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් භාරගත් මානව හිමිකම් වගකීම් ඉටු කිරීම සඳහා 2017 නොවැම්බර් මාසයේ අවසානයේ සිට ගෙන ඇති පියවර පිළිබඳ තම ස්වයං තක්සේරුවක් ද මෙහිදී සපයනු ලැබීය.

ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මොනවාද?

  • සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කර සමලිංගික හැසිරීම් සාපරාධී නොවන ලෙස හැඳින්වීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම
  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායට කේන්ද්‍රීය වන අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගමයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස අනුමත කිරීම
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනත් හදුන්වාදීම
  • අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම වහාම අත්හිටුවීම
  • අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම
  • ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව නීති සම්පාදනය කිරීම සහතික කිරීම

එහිදී එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය මානව හිමිකම් ආරක්ෂකයින් රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග භාවිතා කිරීම සහ ඉහළ යන දූෂණය මෙන්ම ආරක්ෂක අංශ විසින් ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාව අපයෝජනය හා බියගැන්වීම සම්බන්ධ වාර්තා පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

"LGBTQI පුද්ගලයින්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බව සහතික කිරීම සහ සමලිංගික සබඳතා සාපරාධී වරදක් වීම ඉවත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළුව LGBTQI ප්‍රජාවට වෙනස්කම් කිරීම සහ හිරිහැර කිරීම් අවසන් කිරීමට පියවර ගැනීම, මානව හිමිකම් කඩකිරීම්, අපයෝජනයන් සහ හිරිහැර කිරීම්වලට විශේෂයෙන්ම සුළුතර ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ හිරිහැර කිරීම්වලට වගකිවයුතු ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු සහ වගවිය යුතු නිලධාරීන් දඬුවම් නොලැබීමේ ප්‍රවණතාවය අවසන් කිරීම" සඳහා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ශ්‍රී ලංකාවේ වාර්තාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ජාතික වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිදු කර ඇති අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශනයක් ද පැවැත්වූ බව එහි සඳහන්ය.

ශ්‍රී ලංකා දූත පිරිසේ නායකයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පූර්ව පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශයක් මගින් අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ 'සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සහ සමාජ සාධාරණත්ව කොමිසමක් පිහිටුවීම ඇතුළුව කඩිනමින් ආමන්ත්‍රණය කළ යුතු පුළුල් පරාසයක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග' ශ්‍රී ලංකාව විසින් හඳුනාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරන නව ජාතික ආරක්ෂක නීති සම්පාදනය මේ වන විට අවසන් වෙමින් පවතින බවත්, ජාතික අවශ්‍යතා මත විදේශගත ශ්‍රී ලාංකිකයන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අයුරින් කටයුතු කිරීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් ස්ථාපිත කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසීය.

අමාත්‍ය අලි සබ්‍රි වැඩිදුරටත් පැවසුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උතුරු නැගෙනහිර සඳහා කඩිනම් සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙන බවයි.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව අමාත්‍ය සබ්‍රි පෙබරවාරි 1 වැනිදා ජිනීවාහි පැවති විශ්ව කාලාන්තර සමාලෝචනයේ (UPR) සිව්වන චක්‍රයේ දී කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පෙර චක්‍රය තුළ පිළිගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී මුහුණ දුන් අභියෝග සහ පසුගිය වසර 4 ½ තුළ ලබා ඇති ප්‍රගතිය ග්‍රහණය කරමින් 4 වන චක්‍රය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව සකස් කළ බවත් එහි උපරිම විනිවිදභාවය සඳහා, මෙම නිර්දේශ සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, අදාළ ආංශික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රජයේ පාර්ශ්වකරුවන් සමඟ ද බෙදා ගත් බවයි.

2017 වසරේ සිට UPR නිර්දේශ ක්‍රියාත්මක කිරීම බැලිය යුත්තේ එතැන් සිට ශ්‍රී ලංකාවට බලපෑ තීරණාත්මක ජාතික හා ජාත්‍යන්තර වර්ධනයන් සමග බවට අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"2017 සිට 2022 දක්වා වූ සමාලෝචිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, COVID-19 වසංගතය සහ රටට බලපෑ බරපතල ආර්ථික හා සමාජීය අභියෝගවලින් අවසන් වූ, යුක්රේනයේ යුද්ධයේ බලපෑම් ඇතුළු පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දුන්නා. 2022 වසර මෑත කාලයේ අපගේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදය බව නිගමනය කිරීම අතිශයෝක්තියක් නොවන බව මම ජිනීවා හි මෑතකාලීන මැදිහත්වීම් වලට අවධාරණය කරනවා" යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

"පුළුල් දේශපාලන සමාජ සහ ආර්ථික පෙරමුණු වලදී අපි පැහැදිලි ප්‍රගතියක් ලබා තිබෙනවා.දේශපාලන සංක්‍රාන්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය ක්‍රියාවලීන් දැඩි ලෙස පිළිපැදී ඇති අතර අපගේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය ආයතන බොහෝ ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. මෑත කාලීන සමාජ නොසන්සුන්තාවයෙන් පසුව සහ ජනතාව ප්‍රකාශ කළ අභිලාෂයන්ට අනුකූලව, රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම, පාර්ලිමේන්තුව බලගැන්වීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර තිබෙනවා. මීට අමතරව, මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කර ඇති අතර, දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉදිරි මට්ටමකට පැමිණ තිබෙනවා" ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව UPR ක්‍රියාවලිය යටතේ මීළඟ කැපවීම් වටය භාර ගැනීමට සූදානම් වන විට ජාතික සමගිය සහ ජනතාව අතර සංහිඳියාව වෙනුවෙන් දැනෙන පියවර ගැනීම රජයේ අධිෂ්ඨානය බවයි.

"මෙම සන්දර්භය තුළ, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සහ සමාජ සාධාරණත්ව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළුව කඩිනමින් ආමන්ත්‍රණය කළ යුතු පුළුල් පරාසයක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරන නව ජාතික ආරක්ෂක නීති සම්පාදනය අවසන් වෙමින් පවතිනවා. ජාතික අවශ්‍යතා මත එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් අයුරින් කටයුතු කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් ස්ථාපිත කෙරෙනවා. මෙම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උතුරු නැගෙනහිර සඳහා කඩිනම් සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙනවා. තවද, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ. මෙම ක්‍රියාදාමයන් ඵලදායි ලෙස ප්‍රගතිය සහතික කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙන අතර අතුරුදන් වූවන්, අභ්‍යන්තර අවතැන් වූවන්, ඉඩම් සහ වන්දි ලබාදීමට අදාළ කරුණු කිහිපයක් දැනටමත් සාකච්ඡා කර තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

මෙම ප්‍රයත්නයන් සඳහා දේශපාලන සහයෝගය ලබා ගැනීම සහ සම්මුතිය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් දෙමළ හා මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු සර්ව දේශපාලන පක්ෂ නායක සමුළුවක් දෙසැම්බර් මාසයේ සිට අවස්ථා දෙකකදී කැඳවා තිබෙන බවත් ක්ෂණික ප්‍රමුඛතාවය ආර්ථික ස්ථාවරත්වය බවත්, UPR ක්‍රියාවලිය සඳහා රජයේ කැපවීම මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නිරූපණය කරන බවත් එහිදී ඔහු කියා සිටියේය.