ක්‍රීඩා ලෝලීන් පවසන ආකාරයට දකුණු අප්‍රිකාවේ 'ක්‍රිකට් ලෝක කුසලාන සාපය' තවම අවසන් වී නැද්ද?

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දියාව සමග අවසන් මහා තරගයට තරග වැදීමේ වරම ඕස්ට්‍රේලියාව විසින් අද (නොවැම්බර් 16 වැනිදා) හිමිකර ගනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දියාව සමග අවසන් මහා තරගයට තරග වැදීමේ වරම ඕස්ට්‍රේලියාව විසින් අද (නොවැම්බර් 16 වැනිදා) හිමිකර ගනු ලැබීය.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා වරම් ලද 8 වැනි අවස්ථාව මෙයයි.

කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විණි.

2023 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භයේදී පසුගාමී ස්වරූපයකින් තරගාවලියට ප්‍රවේශ වූවත්, ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගය සඳහා වරම් ලැබීය.

එහෙත් ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩයමක් වන දකුණු අප්‍රිකාවට ලෝක කුසලාන හා ප්‍රධාන තරගාවලි වලින් කලින්ම ඉවත් වීමට සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූවිරූ පරිද්දෙනි.

ඇතැම් විචාරකයින් මෙන්ම ක්‍රිකට් ලෝලීන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විමසා සිටින්නේ දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලාන සාපයක්ද යන්න පිළිබඳවය.

ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩයමක් වන දකුණු අප්‍රිකාවට සෑමවිටම පාහේ ලෝක කුසලාන හා ප්‍රධාන තරගාවලි වලින් කලින්ම ඉවත් වීමට සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූවිරූ පරිද්දෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩයමක් වන දකුණු අප්‍රිකාවට සෑමවිටම පාහේ ලෝක කුසලාන හා ප්‍රධාන තරගාවලි වලින් කලින්ම ඉවත් වීමට සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූවිරූ පරිද්දෙනි.

අතීතයේ මොකද වුණේ..?

දක්ෂතා අතින් ගත්විට, අතීතයේ පටන්ම ඒ.බී ඩිවිලියර්ස්, ජැක් කලිස්, හර්ෂල් ගිබ්ස්, ජේ.පී දුමිනි, ඩේල් ස්ටේන්, ෂෝන් පොලොක්, මෙන්ම, ලාන්ස් ක්ලූස්නර්, හැන්සි කොන්යේ,ඩැරල් කලීනන්, ජොන්ටි රෝඩ්ස්, ඇලන් ඩොනල්ඩ්, ගැරී කර්ස්ටන් වැනි ප්‍රවීණ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක තරගයක තීරණය උඩුයටිකුරු කිරීමට තරම් හැකියාවෙන් යුත් ක්‍රීඩකයින් බව ක්‍රිකට් ඉතිහාසය සාක්ෂි දරයි.

දකුණු අප්‍රිකාව ලොවට හඳුන්වා දී ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් සලකා බැලීමේදී ප්‍රහාරත්මක පිතිකරුවන්, සුපිරි වේගපන්දු යවන්නන් , දඟ පන්දු යවන්නන් මෙන්ම ජොන්ටි රෝඩ්ස් වැනි නම් දැරූ පන්දු රකින්නෝ ද වෙති.

කෙතරම් එවැනි දක්ෂ ක්‍රිඩකයින් සිටියද, දකුණු අප්‍රිකාවට දශක 3කට අධික කාලයක සිට සියලු ලෝක කුසලාන තරගාවලිවල අවසන් මහා තරගයකට ක්‍රිඩාකිරීමේ වරම් ගිලිහී ගියේ දැඩි සිත් රිඳවීම් ඇතිකරමිනි.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා වරම් ලද 8 වැනි අවස්ථාව මෙයයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

1992 ක්‍රිකට් ලෝක කුසලානය: අවසන් පූර්ව තරගය

දකුණු අප්‍රිකාවට විශාලතම සිත් රිඳවීමක් ඇතිකරන සිද්ධියක් වුයේ 1992 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයයි. ඒ ආන්දෝලනාත්මක තත්ත්වයක් ද ඇති කරමිනි. දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති එම දෙවන අවසන් පූර්ව තරගයේදී, වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට දකුණු අප්‍රිකාවේ ඉලක්කය වී තිබුණේ පන්දු 13කට ලකුණු 22 කි.

එහෙත් මිනිත්තු 10ක ප්‍රමාදයකින් පසුව තරගය නැවත ආරම්භ වූ අතර ඵලදායී ඕවර ක්‍රමයට අනුව, තරගයේ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට එක් පන්දුවකින් ලකුණු 22ක් ලබා ගතයුතු ආකාරයට තරගයේ කොන්දේසි සංශෝධනය කිරීමත් සමඟ තරගය ආන්දෝලනාත්මක තත්වයන් යටතේ අවසන් විය. ඒ අනුව දකුණු අප්‍රිකාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

මෙම සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස එම ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියාවේ පැවැති එක්දින ජාත්‍යන්තර තරග සඳහා මෙම තරග රීතිය වෙනසකට ලක් කරන ලද අතර, 1999 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය ඊට ආදේශ කරන ලදී.

1996 ක්‍රිකට් ලෝක කුසලානය: අර්ධ අවසන් පූර්ව තරගය

1996 ක්‍රිකට් ලෝක කුසලානයේ කරච්චිහි පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇලන් ඩොනල්ඩ් ඉවත් කර ඒ වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්ස් කැඳවීමෙන් දකුණු අප්‍රිකාව, ක්‍රීඩකයින් තේරීමේදී වරදක් කළේය. ඒ, කරච්චි ක්‍රීඩාංගණය වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස පොදු විශ්වාසයක් පවතින පසුබිම තුළයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එම අර්ධ අවසන් පූර්ව තරගයේදී බ්‍රයන් ලාරා ලකුණු 111 ක් රැස්කරමින් පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව වෙත ලබා දුන් අතර එම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 19ක ජයක් ලැබීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

1999 ලෝක කුසලානය: සුපිරි 6 දෙනාගේ තරග වටය

Catches Win Matches ! යන්න යථාර්ථයක් බවට පත්වූ තරගයක් වුයේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවැති තරගයයි. එම තරගයේදී ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ ලකුණු 56 රැස් කරගෙන සිටියදී ලබා දුන් පහසු උඩපන්දුවක් හර්ෂල් ගිබ්ස් අතින් ගිලිහී ගියේය.

ඒ, උඩ පන්දුව සුරැකිව රැක ගැනීමටත් පෙර ඔහු එය සෑමරීමට යෑමේ අවාසනාවන්ත සිද්ධියක් හේතුවෙනි.

අනතුරුව දිගු ඉනිමක් ක්‍රීඩාකළ ස්ටීව් වෝ නොදැවී ලකුණු 120ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් විය. දකුණු අප්‍රිකාවට එරෙහි එම තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් ලැබීය.

1999 ලෝක කුසලානය: අවසන් පූර්ව වටය

ෂෝන් පොලොක් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 213කට සීමා කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාවට තරගය ජයග්‍රහණය සඳහා පන්දු 4කට එක් ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය තිබිණ.

ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටියේ ලාන්ස් ක්ලූස්නර් සහ අවසන් කඩුල්ල ලෙස ඇලන් ඩොනල්ඩ් ය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිටි ක්ලූස්නර් ඒ වන විටත් තරගය ජයග්‍රාහී සීමාව කරා රැගෙන විත් තිබුණි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ක්ලූස්නර් පහරක් එල්ල කරමින් කඩිනම් ලකුණක් කරා දිව ගියත් ඇලන් ඩොනල්ඩ් පන්දු යැවීමේ අන්තයේම නතර වී සිටියේය. පසුව ඔහු කඩුළු රකින්නාගේ අන්තය වෙත දිවගියේ සිය අතේ තිබූ පිත්තද අතහැර දමමිනි. අවසානයේ ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවීයාමකට ලක්වුණේ දෙපිලේම ලකුණු සමව තිබියදීය. එහෙත් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට මඟ විවරකර ගනු ලැබීවේ ඉහළ ශූද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීම හේතුවෙනි.

ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට මඟ විවරකර ගනු ලැබීවේ ඉහළ ශූද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට මඟ විවරකර ගනු ලැබීවේ ඉහළ ශූද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීම හේතුවෙනි.

2000 ICC පිළිමළුන් පිටුදැකීම (2000 ICC KnockOut ) - අවසන් පූර්ව තරගය, 2002 චැම්පියන්ස් කුසලානය (2002 Champions Trophy) - අවසන් පූර්ව තරගය , 2003 ලෝක කුසලානය - කණ්ඩායම් අදියර, 2004 චැම්පියන්ස් කුසලානය - කණ්ඩායම් අදියර වලදී ද, 2006 චැම්පියන්ස් කුසලානය - අවසන් පූර්ව තරගය සහ 2007 ලෝක කුසලානය - අවසන් පූර්ව තරගයෙන්ද දකුණු අප්‍රිකාවට ඉවත් වීමට සිදුවිය.

2009 චැම්පියන්ස් කුසලානය - කණ්ඩායම් අදියර, 2011 ලෝක කුසලානය - අර්ධ අවසන් පූර්ව තරගය, 2013 චැම්පියන්ස් කුසලානය - අවසන් පූර්ව තරගයෙන්ද දකුණු අප්‍රිකාව පරාජයට පත්විය.

2015 ලෝක කුසලානයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් ද දකුණු අප්‍රිකාව පරාජය වූ අතර එය ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරගයක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 ලෝක කුසලානයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් ද දකුණු අප්‍රිකාව පරාජය වූ අතර එය ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරගයක් විය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2015 ලෝක කුසලානයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය ද ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරගයක් වූ අතර එම තරගයද නිමා වුයේ දකුණු අප්‍රිකාවට පරාජයක් අත් කර දෙමිනි. පන්දු දෙකක් ඉතිරිව තිබියදී නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍ය විය.

දෙවැනි අවසන් පන්දුවේදී වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ පන්දුවකට 6 පහරක් එල්ල කරමින් ග්රාන්ට් එලියට් නවසීලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේය.

2016 20/20 ලෝක කුසලාන - කණ්ඩායම් අදියරේදී ද , 2017 චැම්පියන්ස් කුසලාන - කණ්ඩායම් අදියරේ තරග වටයෙන්ද දකුණු අප්‍රිකාවට ඉවත් වීමට සිදුවිය.

2019 ලෝක කුසලාන - කණ්ඩායම් අදියරේදී පළමු තරග තුනෙන් ම දකුණු අප්‍රිකාව පරාජයට පත්විය. ඒ එංගලන්තය, ඉන්දියාව හා බංග්ලාදේශයට එරෙහි තරග වලිනි.

බංග්ලාදේශයට එරෙහිව පරාජය වූ එම තරගයද දකණු අප්‍රිකාවට තවත් සිත් රිඳවන තරගයක් බවට පත්විය. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6කට ලකුණු 330ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8කට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 309ක් පමණි.

2021 20/20 ලෝක කුසලාන - කණ්ඩායම් අදියරේ සහභාගී වූ තරග 5න් 4ක් ජය ලැබූවද දකුණූ අප්‍රිකාවට ඊළඟ වටයට සුදුසුකම් ලැබීමේ වරම් අහිමි වුයේ ශූද්ධ ලකුණු වේගය, සාමාන ලකුණු ලැබූ සෙසු කණ්ඩායම් වලට වඩා අඩු මට්ටමක පැවතීම හේතුවෙනි. එම වටයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එංගලන්තය යන රටවල් පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

2022 20/20 ලෝක කුසලානය – සුපිරි 12 වටය

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුළු 5ක ජයක් ලැබීය. සිම්බාව්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි. බංග්ලාදේශයට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 104ක විශිෂ්ට ජයක් ලැබීය. එහෙත් පාකිස්තානයට එරෙහි තරගය, දකුණු අප්‍රිකාව ලකුණු 33කින් පරාජයට පත්විය.

තරගාවලියේ රැඳී සිටීම සඳහා ජයගත යුතුම තරගයක් වූ නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව නොසිතූ විරූ ලෙස පරාජය වූයේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

2022 20/20 ලෝක කුසලානයේදී නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව නොසිතූ විරූ ලෙස පරාජය වූයේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 20/20 ලෝක කුසලානයේදී නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාව නොසිතූ විරූ ලෙස පරාජය වූයේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

2023 ක්‍රිකට් ලෝක කුසලානය

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ, ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

ඒ අනුව ඔවුන් පන්දු වාර 49යි පන්දු 04 කදී සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කර ගනු ලැබීය.

ඩේවිඩ් මිලර් ලකුණු 101ක් ලබා ගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 කට කඩුලු 03ක් දවා ගනු ලැබීය.

ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02 කදී කඩුලු 07ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එක්දින ලෝක කුසලාන තරගාවලි පහක අවසන් පුර්ව වටය දක්වා පැමිණි දකුණු අප්‍රිකාව ඉන් කිසිදු අවස්ථාවකදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාකර නොහැකි වී තිබේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාව 08 වන වරටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වීම ද වාර්තා පොත් අතරට එක්වුයේ වැඩිම වාර ගණනක් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලද කණ්ඩායම ලෙසය.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ඔවුන්ගේ දුක්මුසු ලෝක කුසලාන තරගාවලි මතකයන් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යළි අලුත් විය.

දකුණු අප්‍රිකාවේ අනාගත ක්‍රිකට් ඉරණම කෙසේ තීරණය වෙයිද? දෛවය හා වාසනාව කෙසේ වුවද, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණ ක්‍රීඩකයින්ගේ දක්ෂතාව, කැපවීම හා අභිලාෂය මත තීරණය වනු ඇත.