ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණයේ වෙනසක්: මිලිමීටර් 200 ඉක්මවූ වැසි සහ ක්ෂණික ගංවතුර අවදානමක් ඇති ප්‍රදේශ මොනවා ද?
- Author, බීබීසී සිංහල
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, එහි සිදු විය හැකි වර්ධනයත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල මිලිමීටර් 200කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමෙන්තුවේ අනතුරු ඇඟවූයේ, එම තත්ත්වය සහ මේ වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් පුරෝකථනය කර ඇති පරිදි ඉහළ අගයකින් යුත් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ද ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බව ය.
මෙම ප්‍රදේශවලට අමතරව අනෙක් ප්‍රදේශවලට වර්ෂාපතන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ද ගෝලීය කාලගුණික ආකෘති මගින් පුරෝකථනය කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.
ගංවතුර අවදානම පවතින දින මොනවා ද?
වැසි තත්ත්වය සහ ගංගාවල හැසිරීම් රටාව සම්බන්ධයෙන් වූ පසුගිය අත්දැකීම් අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල නොවැම්බර් 25 සිට 30 දක්වා දින තුළ මෙම ගංවතුර තත්ත්වය ඇති වීමේ අවදානම පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පැවසීය.
ඒ හේතුවෙන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ගැන සියලු ම ගංගාවල පහත් නිම්නවල පදිංචි ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
අද සහ ඉදිරි දිනවල වැසි තත්ත්වය කෙසේ විය හැකි ද?
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (නොවැම්බර් මස 25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති බවත් එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.
උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ගංගාවල ජල මට්ටම් ගැන කුමක් කිව හැකි ද?
මේ වන විට තෙත් කලාපයේ සියලු ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පැවසීය.
"අපි අනතුරු ඇඟවීම් නිකුත් නොකළත් විශේෂයෙන් ම ගිං, නිල්වලා, කැලණි, කළු ඒ වගේ ම අත්තනගලු ඔය, දැදුරු ඔය, මල්වතු ඔය සහ කලා ඔය, මී ඔය ගංගා ද්‍රෝණි සැලකිය යුතු ඉහළ මට්ටමක තියෙනවා වගේ ම ඒවායේ පිහිටි වැව්වලත් වාං දැමීමේ ආසන්න මට්ටමක තියෙන්නේ," ඔහු සඳහන් කළේ ය.
අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, මහඔය සහ අත්තනගලු ඔය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගංවතුර තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම් ඉවත් කර තිබුණ ද ගිං, නිල්වලා, කළු ගඟ, කුඩා ගඟ සහ දැදුරු ඔය සඳහා සුළු ගංවතුර තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ය.
නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම්
ඉකුත් දිනවල ඇති වූ වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නාය යාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව එම සංවිධානය පැවසීය.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, පාතහේවාහැට සහ ගඟවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පෙ, කහවත්ත, කලවාන, රත්නපුර, නිවිතිගල, අයගම, ඇලපාත සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ පූර්ව නාය යාම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසීය.
ඊට අමතරව, බදුල්ල, කොළඹ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ පූර්ව නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව නාය යාම් නිවේදන සහ නාය යාම් පූර්ව ලක්ෂණ ගැන විශේෂ අවධානයෙන් පසුවන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. එමෙන් ම තම නිවාස අවට ඇති පස් කණ්ඩි සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් පසුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
"අත්‍යවශ්‍ය කටයුත්තකට හැර මේ දිනවල විශේෂයෙන් ම නාය යාම් අවදානම් කලාපවල තියෙන මාර්ග ඔස්සේ ගමනාගමනය කිරීම, එම මාර්ගවල වාහන නවත්වාගෙන අවට සුන්දරත්වය නිරීක්ෂණය කිරීම කරන්න එපා.
විශේෂයෙන් ම කොළඹ - බදුල්ල මාර්ගය, කොළඹ - මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශය, පස්සර - බිබිල මාර්ගය, මහියංගණය - බදුල්ල මාර්ගය, නුවර - මහියංගණය මාර්ගය, මෙවැනි ප්‍රධාන මාර්ග ආශ්‍රිතව නාය යාම් අවදානම් තත්ත්වයන් විශේෂයෙන් ම නිරීක්ෂණය වෙනවා. ඒ නිසා එවැනි මාර්ග හැකිතාක් අවම වශයෙන් භාවිත කරන්න," භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක වැඩිදුරටත් පැවසීය.