ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණයේ වෙනසක්: ප්‍රබල අකුණු පිළිබඳව පළාත් 5ක දිස්ත්‍රික්ක 13කට අනතුරු ඇඟවීම්
- Author, බීබීසී සිංහල
උතුරු මැද, ඌව, මධ්‍යම පළාත් ඇතුළු පළාත් 5ක දිස්ත්‍රික්ක 13ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඉහත සඳහන් කළ පළාත් තුනට අයත් දිස්ත්‍රික්කවලට අමතරව මාතර, හම්බන්තොට, රත්නපුර, අම්පාර, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්ක සඳහා මෙලෙස අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බව එහි සඳහන් වේ.
ඔක්තෝබර් 13 එනම් අද දින සිට එළඹෙන සතිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල හවස/රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ කාලගුණය කෙසේ ද?
අද දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එහි සඳහන් ය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි ය.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුණු අනතුරු අවම කරගන්නේ කෙසේ ද?
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා පහත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුණු ගැසීම් ඇති අවස්ථාවලදී;
- එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්‍ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න.
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන් ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න.
- රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිත කිරීමෙන් වළකින්න.
- බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිත කිරීමෙන් වළකින්න.
- තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
- හදිසි අපදා තත්ත්වයකදී ප්‍රාදේශීය අපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබා ගන්න.