ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කාලගුණය ගැන නිවැරදි ම අනාවැකි කියන්න බැරි ඇයි?
කෘෂිකාර්මික ආර්ථිකයකට හිමිකම් කී ශ්‍රී ලංකාව අතීතයේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම විශාල වශයෙන් යොදා ගත් බවට බොහෝ සාක්ෂි සාහිත්‍ය මූලාශ්‍ර සහ ජනශ්‍රුති ඔස්සේ හමුවෙයි.
"යල සහ මහ කියන කන්න දෙක අතර තිබෙන සංවහන වැසි දෙකෙන් අවුරුද්දට දෙපාරක් අකුණු ගහනවා. මේක තමයි පොහොර කෘෂිකර්මය. ඒක වටහා ගත්ත ශ්‍රී ලංකාවේ රජවරුන් පොහොර පස්සේ දිව්වේ නැහැ. ඔවුන් කීවේ 'හෙණ ගහපන්.. ගණන් බලාපන්' කියල යි. ඒ කියන්නේ, හෙණ ගහන්නේ කවද ද කියලා බලලා වගාවන් කරන්න කියලා. අකුණු ගහන්න කලින් වපුරලා ගොඩට එන්න කියල යි ඒ කිව්වේ," බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පරිසරවේදී තිලක් කන්දේගම පැවසුවේ ය.
එය එසේ වුව ද, නවීන උපකරණ පැවතියදීත් වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දත්ත නිවැරදි නොවන බවට සාමාජය තුළ මතයක් පවතිනවා සේ ම ඇතැම් විට කාලගුණ අනාවැකි හාස්‍යයට ලක්කරන අවස්ථා නැතුවා ද නොවේ.
ශ්‍රී ලංකාවේ කාලගුණය ගැන අනාවැකි කියන්නේ කොහොම ද?
මෙරට කාලගුණ අනාවැකි නිකුත් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යි. කාලගුණ වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැන එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරියගෙන් බීබීසී සිංහල කරුණු විමසු අතර එහිදී ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
'සාමාන්‍යයෙන් කාලගුණය දේශගුණය කියලා අපි කතා කරද්දී ලෝකයේ වටේ ගමන් කරන සුළඟ, මුහුදේ දියවැල් වගේ ම කඳු, මුහුද, ගොඩබිම සහ ගස් කොළන් කියන කරුණු 05 එකතු වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවට මැඩගස්කරයෙන් තමයි නිරිත දිග කාලයට හුළඟ හමාගෙන එන්නේ.''
''ඊසාන දිග කාලයට අපිට හුළඟ හමාගෙන එන්නේ සයිබීරියාවෙන්. මේ කාලය වෙද්දී හුළඟ එන්නේ ඉන්දියාව දෙසින්. කාලයෙන් කාලයට ලෝකයේ වටයක් ගිහිල්ලා එන හුළඟක් මේ අපිට එන්නේ. ඒ ඒ තැන්වල සිදුවන වෙනස්කම් අපිට බලපානවා.''
''ලංකාවේ කාලගුණ අනාවැකිය කියන්න ලංකාවෙ දත්ත විතරක් මදි. යුරෝපය ඇතුළු ලෝකයේ කාලගුණ විද්‍යා සංගමයේ සාමාජිකත්වය දරන සියලු ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු එක ම වේලාවකදී එක ම ආකාරයේ උපකරණවලින් තමයි, මේ දේ කරන්නේ. ලංකාවට තියෙන්නේ පරණ උපකරණ, එංගලන්තයට තියෙන්නේ අලුත් උපකරණ කියන කතාවක් මේකේ නැහැ. හැමෝම වැඩ කරන්නේ එක ම ආකාරයේ උපකරණවලින්.''
''අපි වුණත් මෙතැනදී වැඩ කරන්නේ ලංකාවේ වෙලාවට නෙමෙයි. ලෝකයේ සියලු ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩ කරන්නේ ග්‍රිනිජ් (GMT) වෙලාවට. අපි සෑම පැය 03කට වරක් කාලගුණ දත්ත අරගෙන ඒක මිනිත්තු 20ක් ඇතුළත අනිත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සමග බෙදා ගැනීම අනිවාර්යෙන් ම කරන්න අවශ්‍ය යි. ඒකට තියෙනවා ග්ලෝබල් ටෙලිකමියුනිකේෂන් සිස්ටම් කියලා එකක්. ලෝකයේ සියලු ම කාලගුණ විද්‍යා සංගම් මේකට සම්බන්ධ යි වගේ ම අපි අපේ තත්ත්වය නිසි විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය යි මෙතැනදී.''
''ලෝකයේ මේ වගේ දත්ත එකතු කරන මධ්‍යස්ථාන 9ක් තියෙනවා. අපේ ආසන්නම රට ඉන්දියාව. ඉන්දියාව ලෝකයේ අනෙක් රටවල දත්ත එකතු කරලා ශ්‍රී ලංකාවට ලබා දෙනවා කෙටි කාලයක් ඇතුළත. ඊට අමතරව චන්ද්‍රිකා දත්ත ලබා ගන්නවා.''
''මේ ලැබෙන දත්ත වගේ ම ශ්‍රී ලංකාවේ කාලගුණ වාර්තාව ගැන තොරතුරු ලබා දෙන්න අපිට ලෝකයේ තුනෙන් එකක දත්ත නිරීක්ෂණය කරන්න වෙනවා. වලාකුළු කොහොම ද පවතින්නේ?, ඒවායේ ජල වාෂ්ප තියෙනව ද?, සුළං හමන්නේ කොහොම ද? වගේ ම වැසි තත්ත්වයන් එහෙමත් නැත්නම් වියළි කාලගුණික තත්ත්වයක් ද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන අනාවැකිය ගැන අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේ ම මෙතැනදී කාර්යයේ නියුතු නිලධාරියාගේ දැනුමත් වැදගත්.''
''මේ කරුණු ඔක්කොම එකතු කරලා ඒ අවස්ථාවේදී රාජකාරියේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක් හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් සමග සාකච්ජා කරලා තමයි අපි කාලගුණ අනාවැකිය නිකුත් කිරීම කරන්නේ.''
''ගොඩක් අය රේඩාර් එකක් ගැන කතා කරනවා. නමුත් රේඩාර්වලින් දින ගණනාවක් ඉදිරියට කාලගුණය ගැන අනාවැකි කියන්න හැකියාවක් නැහැ," ඇය පැවසුවා ය.
'ලංකාවේ කාලගුණ තොරතුරු හරියට කියන්න බැහැ'
ශ්‍රී ලංකාව සමකය ආසන්නයෙන් පිහිටි රටක් හේතුවෙන් නිවැරදි කාලගුණ වාර්තා ලබාදීම අභියෝගයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය පැවසුවා ය.
"ප්‍රධාන අභියෝගය තමයි ශ්‍රී ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් වීම. අපේ රට මුහුද මැද පිහිටලා තියෙන කුඩා දූපතක් නිසා මුහුදේ දියවැල් වගේ ම සුළං රටාවත් බලපානවා. ඒ වගේ ම රටේ මැද පිහිටා තියෙන මධ්‍යම කඳුකරය නිසා ඇති වන වලාකුළු තත්ත්වයන් එක්ක වැසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ක්ෂණිකව. මේ වගේ සමකය ආසන්නයේ පිහිටි රටක් විදිහට කාලගුණ වාර්තාවන් නිවැරදිව ලබාදීමේ ගැටලු තියෙනවා. ඒ වගේ ම දත්ත මදිකමත් තියෙනවා.''
''උදාහරණයක් විදිහට අපි බැලුන් එකක් වායුගෝලයට මුදා හරිනවා දත්ත ලබා ගන්න. මේ යවන බැලුන් එකේ තියෙනවා විද්‍යුත් පරිපථයක් වගේ එකක්. එකෙන් අපිට දත්ත ලබා දෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ එක බැලුන් එකක් යවන්න එක වරකට රුපියල් 50,000ක මුදලක් අවශ්‍ය යි.''
''සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් වගේ උඩකට මේ බැලුන් එක ගමන් කරනවා. මේ වෙද්දී අපි සතියට අවස්ථා 03කදී බැලුන් එක යවනවා. නමුත් අපි ඉල්ලීම් කරලා තියෙනවා ඒ බැලුන් එක දෛනිකව යවන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා භාණ්ඩාගාරයෙන්. නමුත් ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වය එක්ක තව ම අපිට ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ," ඇය පැවසීය.
ලෝකයේ දියුණු ම රටවල්වලට පවා කාලගුණය සම්බන්ධයෙන් ඇතැම් විට නිවැරදි කාලගුණ අනාවැකි ලබාදීමේදී ගැටලු මතු වන බව ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.