ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නොනවතින වැස්සේ අඩුවක් දැකිය හැකි වන්නේ කවදා ද?
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (ඔක්තෝබර් 14 වැනිදා) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 7 වැනිදා සිට මෙම වර්ෂා තත්ත්වය බලපා ඇත්තේ කළුතර, රත්නපුර,කොළඹ, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, පුත්තලම, මහනුවර, කිලිනොච්චිය, පොළොන්නරුව හා හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 12ක ටය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ දිවයිනේ කාලගුණයට බලපෑමක් කළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට දිවයිනෙන් බැහැරට ගමන් ගනිමින් ඇති බව ය.
එහෙත් මෙම වැසි සහිත කාලගුණය ඔක්තෝබර් 17 වැනිදා දක්වා පවතිය හැකි බව ඔහු සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134,000කට පීඩා
අධික වැසි සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ඇතිවූ ක්ෂණික ජලගැලීම්, තද සුළං, අකුණු සහ කණ්ඩි කඩා වැටීම් ඇතුළු ආපදා හේතුවෙන් පවුල් 34,492ක පුද්ගලයින් 134,484 දෙනෙක් පීඩාවට සිටිති.
විවිධ අනතුරුවලට ලක්ව මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3කි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 81ක පවුල් 1,753කට අයත් පුද්ගලයින් 6,963ක් රඳවා තිබේ.
පුර්ණ නිවාස හානි එකක් සහ අර්ධ හානි 240ක් වාර්තා වී ඇත.
හදිසි වැසි තත්ත්වයට හේතුව කුමක් ද?
මේ වන විට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය යනු කුමක් දැයි ඔහු පැහැදිලි කළේ, මෙසේ ය.
“මේ කාලපරිච්ඡේදයේ තියෙන විශේෂත්වය තමයි, උතුරු අර්ධ ගෝලයෙන් එන සුළං හමන රටාවත්, දකුණු අර්ධ ගෝලයෙන් එන සුළඟත් එකට එකතු වෙන තැනක් තියෙනවා. අපි මේකට කියනවා, අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා. දැනට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි නිර්මාණය වන ලකුණු තමයි, තියෙන්නේ.”
උදේ කාලයේ වැසි වැඩි ඇයි?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, උදෑසන කාලයේ වැසි වැඩිවීමට හේතුව නිරිත දිගින් හමන සුළං තත්ත්වයක් බව ය.
"නිරිත දිගින් හමන සුළං රටාවක් තියෙනවා. ඒ නිසා උදේ කාලයේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයේ උදේ කාලයේත් වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒ තත්ත්වය විශේෂයෙන් ම බස්නාහිර, වයඹ, සබරගමුව සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව, දිවයිනේ බොහෝ පළාත්වල සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වෙන්න පුළුවන්.”
වැසි තත්ත්වයේ ලක්ෂණ
මේ දිනවල ඇදහැළෙන වර්ෂාව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවිය හැකි බව ද අතුල කරුණානායක පැවසීය.
ඊට අමතරව, අකුණු අනතුරු ඇති විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඔහු අනතුරු ඇඟවීය.
“මේ වර්ෂාවේ තියෙන විශේෂත්වයක් තමයි, කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ ම, තාවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව, අකුණු අනතුරු ඇති වෙන්න අවදානමක් තියෙනවා.”
ගංඟාවල ජලමට්ටම් පහළට
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගංඟාවල ජල මට්ටම් මේවන විට පහළ යමින් ඇති බවය.
එහෙත් කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී පවතියි.
කළුතර දිස්ත්‍රික්කයේ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
සෙසු ගංඟාවල ජල මට්ටටම් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ.