ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අල්ලස් සහ දූෂණ ක්‍රියා යනු මොනවා ද? ඊට අදාළ නීති හා දඬුවම් මොනවා ද?
- Author, බීබීසී සිංහල
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඉකුත් කාලයේ රට පාලනය කළ දේශපාලනඥයින්ට මෙන් ම රාජ්‍ය නිලධාරින්ට ද මේ දිනවල අධිකරණයේ නඩු ගොනු වීම හෝ ඇතැම් සිදුවීම් පිළිබඳව එම කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබීම ඊට හේතු වී ඇත.
එමෙන් ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙනත් මාධ්‍ය මගින් අල්ලස් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධ පැමිණිලි කරන ලෙසට සහ පැමිණිලි කළ හැකි ආකාර පිළිබඳ දැනුවත් කරනු නිරීක්ෂණය විය.
අල්ලස් හෝ දූෂණ ක්‍රියා යනු මොනවා ද, ඒවා ඔබට බලපාන්නේ කෙසේ ද, ඊට අදාළ නීති මෙන් ම දඬුවම් මොනවාද?
අල්ලස සහ දූෂණයක් යනු කුමක් ද?
තමන්ගේ නිල තත්ත්වය යම් ක්‍රියාවක් කීරීමට, නොකිරීමට හෝ පෙළඹවීම සඳහා යම් තුටු පඬුරක් පිරි නැමීම, ඉල්ලා සිටීම හෝ තුටු පඬුරක් භාර ගැනීම අල්ලසක් ලෙස හැඳින්වේ.
යම් මුදලක්, තෑග්ගක්, ඇපයක්, චංචල හෝ නිශ්චල දේපළක්, යම් ධූරයක් හෝ රැකියාවක්, ලිංගික අනුග්‍රහයක්, යම් සේවයක්, උපකාරයක් හෝ වාසියක් තුටු පඬුරක් ලෙස සැලකේ. එමෙන් ම, මෙකී තුටු පඬුරු පිරිනැමීමත්, දීමට බැඳීමත් හෝ පොරොන්දු වීමත් මෙයට ඇතුළත් වේ.
අල්ලසක් ලබා ගැනීමට උත්සහ කිරීම වරදක් වන අතර අතරමැදියෙකු මාර්ගයෙන් සන්තෝෂමක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම ද වරදක් වෙයි.
එනම්, යම් තැනැත්තෙකු, තම දැනුවත්භාවයෙන් හෝ කැමැත්ත සහිතව, ඍජුව හෝ වක්‍රව වෙනත් අයෙකු තමා වෙනුවෙන් කටයුතු කරමින් තුටු පඬුරක් ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම වරදකි.
යම් තැනැත්තකුගේ දැනගත් ආදායම් හෝ ලැබීම් මාර්ගයකින් හැර වෙනත් ආකාරයෙකින් මුදල් හෝ දේපළ රැස් කරන්නේ නම් එම තැනැත්තා විසින් ඊට පටහැනිව කරුණු ඔප්පු කරනු ලබන තෙක් එකී මුදල් හෝ දේපළ අල්ලස් මාර්ගයෙන් රැස් කළ බවට සලකනු ලබන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මේ අතර, යම් රාජ්‍ය සේවකයෙකු තම බලතල හෝ නිලය තම පෞද්ගලික වාසියට හෝ තමා සම්බන්ධ අයෙකු වාසියක් සඳහා අනිසි ලෙස භාවිත කිරීම දූෂණය ලෙස සරලව අර්ථ දක්වනු ලබයි.
අල්ලස් දීම සහ ගැනීම වරදක් ද? පෞද්ගලික අංශයටත් අල්ලස බලපානවා ද?
අල්ලස් හෝ දූෂණ සම්බන්ධ තවදුරටත් කරුණු විමසීමට බීබීසි සිංහල සේවය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී, නීතිඥ නෙත්මි ජිනදාස සම්බන්ධ කර ගත්තේ ය.
වර්තමානයේ ක්‍රියාත්මක වන 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුව, පුද්ගලික අංශයේ සිදුවන අල්ලස් සම්බන්ධව ක්‍රියාවන් ද වැරදි ලෙස දක්වා ඇතැයි ඇය සඳහන් කළා ය.
"පනතට අනුව අල්ලසක් දීමත්, අල්ලසක් ඉල්ලීමත්, ඒ වගේ ම අල්ලසක් ගැනීමත් වරදක් කියලා අලුත් නීතියෙන් හඳුන්වලා තියෙනවා," යැයි නීතිඥවරිය පැවසුවා ය.
දඬුවම් මොනවා ද?
"දූෂණය කියන වරදට තියෙන දඬුවම් තමයි වසර 10ක කාලයක් නොඉක්මවන බරපතළ වැඩ සහිත බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් දෙක ම වෙන්නත් පුළුවන්," නීතිඥ නෙත්මි ජිනදාස පැවසීය.
"අල්ලස් සම්බන්ධව වසර 7ක කාලයක් නොඉක්මවන කාලයකට බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් පනවන්න පුළුවන්," ඇය පැවසුවා ය.
තම අනන්‍යතාව හෙළි නොකරමින් අල්ලස් හෝ දූෂණ සම්බන්ධව පැමිණිළි කිරීමේ හැකියාව තිබේ ද?
"අලුත් පනතින් පුළුවන් නිර්නාමිකව දූෂණය හෝ අල්ලස සම්බන්ධයෙන් තොරතුරක් කොමිෂන් සභාවට භාර දෙන්න. අනන්‍යතාව හෙළි නොකර ඒ පැමිණිල්ල කිරීමේ හැකියාව තියෙනවා."
"ඒ වගේ ම මේ පනතේ තවත් ප්‍රතිපාදන තියෙනවා තොරතුරු ලබා දෙන අයටත්, ඒ වගේ ම අකටයුතුකම් දැනුම් දෙන අය ආරක්ෂා කිරීමටත් ඒ වගේ කොමිෂන් සභාව විසින් කරන විමර්ශනවලට සහය දක්වන අයගේ ආරක්ෂාවත් තහවුරු කරන විදිහට ප්‍රතිපාදන හඳුන්වා දීලා තියෙනවා," නීතිඥ නෙත්මි ජිනදාස පැවසුවා ය.
අනන්‍යතාව හෙළි නොකර පැමිණිලි කරන රාජ්‍ය නිලධාරීන්
අනන්‍යතාව හෙළි නොකරමින් අල්ලස් හෝ දූෂණ සම්බන්ධ තොරතුරු වැඩි වශයෙන් දෙනු ලබන්නේ රාජ්‍ය සේවකයින් බව නීතිඥ නෙත්මි ජිනදාස සිය අත්දැකිම් ඇසුරෙන් කියා සිටියා ය.
"අනන්‍යතාව හෙළි නොකර පැමිණිලි කරන්න බලන්නේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධ තොරතුරුවලට නිරාවරණය වෙලා තියෙන රාජ්‍ය නිලධාරීන්. ඒ අයගේ පැකිලීමක් තියෙනවා ඒගොල්ලන්නේ නම, නිලතල එක්ක කිසියම් පැමිණිල්ලක් කරන්න. මොකද ඒගොල්ලෝ බලන්නේ ඒක දැනගත්තොත් තමන්ගේ රැකියාව නැති වෙයි තනතුර නැති වෙයි වගේ දේවල්," ඇය පැවසුවා ය.
අල්ලස් හෝ දූෂණ සම්බන්ධ පැමිණිලි කළ හැකි ආකාර මොනවා ද?
අංක 36, මලලසේකර මාවත, කොළඹ 7 පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් හෝ එම ලිපිනයට ලිපියක් යොමු කරමින් පැමිණිලි කිරීමේ හැකියාව පවතී.
එමෙන් ම, 1954 යන දුරකතන අංකය ඔස්සේ හෝ 011 2 596 360 යන අංකය ඇමතීමෙන් මෙන් ම 011 2 595 045 යන ෆැක්ස් අංකයට ෆැක්ස් පණිවිඩයක් යොමු කර හෝ [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කරන ඊමේල් පණිවිඩයක් හරහා පැමිණිලි කළ හැකි ය.
https://sinhala.ciaboc.gov.lk/contact/complaints යන වෙබ් අඩවියට පිවිස ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
එමෙන් ම අසත්‍ය හා බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ දැක්වේ.