ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි. ඇපමත මුදා හැරීමට නියෝග
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (පෙබරවාරි 18 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අද භාර දුන්නේ ය.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
ඊට අමතරව විත්තිකාර නාමල් රාජපක්ෂගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරු වරයා නියෝග කර සිටියේ ය.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරිණි.
මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු නම් කර ඇතැයි සඳහන් කළේය.
ඒ අතුරින් සාක්ෂිකරුවන් පස් දෙනෙකුම රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයින් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණයේ අවධානය යොමු කර සිටියේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ තමන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයෙන් අනතුරුව සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවයි.
'ක්‍රිෂ් ගනුදෙනුව' යනු කුමක් ද?
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අධිචෝදනාවල සඳහන්ව ඇත.
මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබූ අතර, එම නඩුවට අදාළව සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුව ඇප මත මුදා හැරිණි.
පසුබිම
දකුණු ආසියාවේ උසින් වැඩි ම ගොඩනැගිල්ල ලෙස සහ, කුලුනු තුනකින් යුතු මිශ්‍ර ආයෝජනයක් ලෙස කොළඹ කොටුවේ චැතම් වීදියේ අංක 114 දරන ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියෙන් 99 අවුරුදු බදු පදනම යටතේ 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගම' ලබා ගෙන තිබේ.
2012 වසරේදී ලියාපදිංචි කර තිබෙන මෙම සමාගම උක්ත ඉඩම බදු පදනම මත ලබාගෙන තිබෙන්නේ, 2013, 2014, 2015 සහ 2016 වසරවලදී වරින්වර කළ ගෙවීම්වලිනි.
මෙම ආයෝජනය කරනු ලැබ ඇත්තේ, ඉන්දියානුවෙකු වන අමිත් කට්යාල්ගේ 'මහාදේව් ඉන්ෆ්‍රාටෙක් පෞද්ගලික සමාගම' විසින් වන අතර ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගම ලියාපදිංචි කරන විට එහි අධ්‍යක්ෂවරුන් ලෙස සඳහන් කර ඇත්තේ, අමිත් කට්යාල් සහ ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන යන අය යි.
2017 නොවැම්බර් 06 වන දින ක්‍රිෂ් සමාගමේ නම "ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්" ලෙස වෙනස් කර තිබේ.
චෝදනා එල්ල වූයේ කෙසේ ද?
එවකට 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වර්තමාන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කොළඹ කොටුව, චැතම් වීදියේ උක්ත ඉඩම බදු පදනමින් ක්‍රිෂ් සමගම වෙත ලබා දීමේදී විශාල මුදල් වංචාවක් සිදුවී ඇතැයි දූෂණ විරෝධී කමිටුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ, 2015 වර්ෂයේ දෙසැම්බර් 26 වන දා ය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත IGP/PA/DIG/FCID/5152/15 යන අංකය යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසින් විමර්ශන ආරම්භ කරන ලද්දේ ඒ අනුවයි.
ඒ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරය දරනු ලැබුවේ, නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකර විසිනි.
ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ ආර්.පී. ගුප්තා යන අය නාමල් රාජපක්ෂ විසින් රග්බි ක්‍රීඩාව සඳහා අනුග්‍රහයක් සිදු කරන ලෙස කරන ලද ඉල්ලීමකින්, රුපියල් මිලියන 70ක් 'ප්‍රිමියම් ස්පෝට්ස් පෞද්ගලික සමාගමේ' ඒ වන විට අධ්‍යක්ෂවරයා වූ නිමල් හේමසිරි පෙරේරා යන අයට ලබා දී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබිණි.
නිමල් හේමසිරි පෙරේරා යන අයගේ HSBC බැංකු ගිණුමට 2012 වර්ෂයේ ඔක්තෝබර් 18 වන දා රුපියල් මිලියන 40ක් ද, නොවැම්බර් 10 ව දින රුපියල් මිලියන 10ක් ද සහ, ඔහුගේ සම්පත් බැංකු ගිණුමට එම වසරේ ම දෙසැම්බර් 18 වන දින රුපියල් මිලියන 20ක් ද වශයෙන් එම මුදල් ලබා දී තිබේ.
මෙම මුදල් ප්‍රිමියම් ස්පෝට්ස් ආයතයට 2013 පැවැත්වූ සුපර් සෙවන් රග්බි තරගාවලිය වෙනුවෙන් ලබා දුන් බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා FCID වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණ නමුත්, පරීක්ෂණ අතරතුර එම සමාගමේ අධ්‍යක්ෂවරුන් එවැනි මුදලක් සිය ආයතනයට නොලැබුණු බවට FCID වෙත සාක්ෂි ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සඳහා 2016 වර්ෂයේ ජූලි 11 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලදී.
එලෙස අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා එම වසරේ ජූලි මාසයේ 18 වන දින ඇප මත මුදාහැරිණි.
වත්මන් තත්ත්වය කුමක් ද?
පසුකාලීනව මෙම පරීක්ෂණ සිදු කෙරුණු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරිණි.
2017 වසරේ දී "ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්" ලෙස නම වෙනස් කරන ලද ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ධූරයට, පසුකාලීනව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර විශ්‍රාම යාමෙන් පසුව පත් වීම කැපී පෙනෙන සිදුවීමකි.
මේ වන විට මෙම ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් නැවතී තිබෙන අතර කුලුනු තුනෙන් එක ගොඩනැගිල්ලක් පමණක් අර්ධ වශයෙන් ඉදි කර තිබේ.
2024 අග භාගයේදී එහි කොටස් කඩා වැටීමෙන් රථයකට හානි සිදුවූ අතර, මහජන පීඩාවක් ඇති නොවන පරිදි එම ගොඩනැගිල්ල පවත්වාගෙන යන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳ FCID අවසන් වාර්තාවක් 2016 දී නීතිපතිවරයාට ඉදිරිපත් කෙරිණි.
දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරෙන්නේ, මෙම පරීක්ෂණ සිදු කර වසර 9කට අසන්න කාලයකට පසුව ය.