ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිගන ප්‍රචණ්ඩ ක්‍රියා: වසර 6ක් තිස්සේ ප්‍රසිද්ධ නොකළ මානව හිමිකම් වාර්තාව තවමත් ප්‍රමාද ඇයි?
දිගන මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ මානව හිමිකම් වාර්තාව 2024 වසරේදී ප්‍රසිද්ධියට පත් කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ ජූලි මාසයේදී බීබීසි සිංහල සේවයට පැවසීය.
කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 31 වන දා වන විටත් එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කර නොතිබීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමසීමක් කළෙමු.
"තාම ඒක ෆයිනලයිස් කරන්න බැරි වෙලා තියෙන්නේ. මම හිතන්නේ ජනවාරි මාසයේ ඒක අනිවාර්යෙන් ම පබ්ලිෂ් වෙයි," ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ගෙහාන් ගුණතිලක සඳහන් කළේ ය.
කන්ද උඩරට මුස්ලිම් වැසියන් පිරිසකට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී 2025 වසරේ මාර්තු මාසය වන විට වසර 7ක් සපිරේ.
පාර්ලිමේන්තුවේ සභාගත නොවූ වාර්තාව
අවුරදු 6ක් ගත වුව ද ප්‍රසිද්ධියට පත් කර නැති 2018 වසරේදී දිගන මුස්ලිම් වැසියන් පිරිසකට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් 2024 වසරේ ජූලි මාසයේදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.
"ගිය පාර්ලිමේන්තුවේදී මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඒක සභාගත කරන්න කියලා නමුත් ඒක සභාගත වුණේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මීළඟ සතියේ පාර්ලිමේන්තුව රැස් වුණා ම නැවත වර්තමාන කතානායකතුමාගෙන් ඒක ඉල්ලා සිටින්න." යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා දෙසැම්බර් 31 වන දා බීබීසි සිංහල සේවයට පැවසීය.
'වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු යි'
එම වාර්තාවට අමතරව දර්ගා නගරයේ සිදුවූ මුස්ලිම් වැසියන් පිරිසකට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාව මෙන් ම පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව රට පුරා මුස්ලිම් වැසියන්ට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ වාර්තා සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
"මේ කරපු අපරාධයට හා මේකට සම්බන්ධ වෙච්ච විත්තිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මේ වාර්තා ඉතා ම ඉවහල් වෙනවා," යැයි ඔහු තවදුරටත් කියා සිටියේ ය.
වත්මන් ආණ්ඩුවට මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම හරහා නීතියේ සාධාරණත්වය අහිමි වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කළ හැකි වනු ඇති බව ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
දිගනදී මොක ද වුණේ?
2018 වසරේ මාර්තු 4 වන දා දිගන, තෙල්දෙණියෙන් ආරම්භ වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරය ගැන එම වසරේ මැයි මස 9 වන දා සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ 43 වන සැසිවාරයට ආගම හෝ ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහීඩ් ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි එක් පුද්ගලයෙකු මරා දැමූ එම ප්‍රහාර මාලාවෙන් හාර සියයකට වැඩි දේපළ, පල්ලි සහ රථවාහන සංඛ්‍යාවක් විනාශ කර දමා තිබිණි.