ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල: කැරම්බෝඩ් නඩු තීන්දුවෙන් පසු සමාජ මාධ්‍ය අවධානයට ලක්ව සිටින්නේ ඇයි?
"මම තනි ඇහෙන් වැඩ කරන්නේ. නමුත් මම ඇස් හයක් තියෙනවා කියලා හිතේ තියාගෙන වැඩ කරන්නේ."
මෙරට කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ දෙනෙකුගේ නොමද ගෞරවයට පාත්‍ර වන හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන්ට අධිකරණය විසින් දඬුවම් ලබා දෙන ලද දින එලෙස මාධ්‍ය වෙත පැවසීය.
ලලිත් අඹන්වල තර්ජන ගර්ජනවලට යට නොවී වරදාන වරප්‍රසාද ලබා නොගෙන අවංකව රාජකාරි කරමින් මෙරට සිදු වූ දුෂණ වංචා බොහෝ සංඛ්‍යාවක් රටට හෙළි කළ රාජ්‍ය නිලධාරියෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධ චරිතයකි.
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු රජයේ මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් බෙදා හැරී බවට වන චෝදනාවට වරදකරුවන් වී සිර දඬුවම් ලබා දීමේ සිදුවීමෙන් පසුව ලලිත් අඹන්වල පිළිබඳව යළි කතා බහක් කරළියට පැමිණ ඇත්තේ ඔහු ද එම නඩු කටයුතුවලට සහය දක්වා ඇති බැවිනි.
1986 පෙබරවාරි 5 වන දා විගණන අධිකාරීවරයෙක් ලෙස රාජකාරී ආරම්භ කර ඇති ලලිත් අඹන්‍වල වසර 30කට වැඩි සේවා කාලයකින් පසුව 2017 නොවැම්බර් 3 වන දා අතිරේක විගණකාධිපති ලෙස විශ්‍රාම ලබා ගත්තේය.
වලල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ලලිත් අඹන්වල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
"මහින්දානන්ද අලුත්ගමගේට නිසි දඬුවම ලබා දීමට ලොකු ම සහය ලැබුණේ ලලිත් අඹන්වලගෙන්. ඔහු නොසිටින්න මෙම පැමිණිල්ල ගොනුවෙන්නේ නෑ. මෙම නඩුවට අදාළ ලේඛන සොයා දුන්නේ ඔහු. ඒ දවස්වල FCID එක ගැන අවලාද කියපු මිනිස්සුන්ට දැන්වත් වැටහෙන්න ඕන ලලිත් අඹන්වල වගේ මිනිස්සුන්ට යාන්ත්‍රණය කාගේ වුවත් තම වගකීම ඉටු කිරීමට එය බාධාවක් නොවූ බව. මේ විමර්ශනයට සම්බන්ධ වීමට හැකිවීම ගැන සතුටු වෙමි. අඹන්වල මහතා වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය. විගණන කටයුතුවලදී මුහුණට එල්ල වූ බරපතළ ඇසිඩ් ප්‍රහාරයක් නිසා ඇස්වලට සහ මුහුණට සිදුවූ බරපතළ හානි මධ්‍යයේත් අවසානය දක්වා රාජකාරියෙහි නිරත විය."
කැරම් බෝඩ් නඩුවේ පැමිණිලිකරුවෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරී, ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති සිරිල් ඇන්ටන් පෙරේරා ඉහත සටහන සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු වංචාව
ලලිත් අඹන්වල පිළිබඳව වැඩි කතා බහක් ඇති වූයේ, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සිදුවූ වංචාවක් සම්බන්ධව හෙළි කර ගත් පසුව ඔහුට එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරය නිසා ය.
2002 වසරේදී එලෙස දරුණු ඇසිඩ් ප්‍රහාරයකට ලක්වන විට ඔහු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ගණකාධිකාරීවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටියේ ය.
එම දෙපාර්තුමේන්තුවේ පරිගණක මිල දී ගැනීමේ ව්‍යාපෘතියක සිදුව තිබූ මිලියන 12ක වංචාව හෙළිකර ගැනීමට සමත් වූ ඔහු, එම වංචාවට වගකිව යුතු නිලධාරින් 1999 සිට 2001 දක්වා ගුරු පුහුණු සැසි පැවැත්විමේ මුවාවෙන් ලක්ෂ 85ක මුදලක් වංචා කර ඇති බව ද අනාවරණය කරගෙන තිබිණි.
මෙම වංචාවට 2002 වසරට පෙර මහනුවර සිටි හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ මෙන් ම ප්‍රධාන ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් ද සම්බන්ධ බවට ලලින් අඹන්වල විසින් අනාවරණය කරගන්නා ලදී.
ගුරුවරයාගේ වංචාව හෙළි කරගත් ගෝලයා
මෙහි හාස්‍යජනක සිද්ධිය වන්නේ මෙම වංචාවට සම්බන්ධ එක් පුද්ගලයෙක් ලලිත් අඹන්වලගේ විගණන ගුරුවරයෙකු ද වීමයි.
"එතුමා මගේ ගුරුවරයෙක් හැටියට වරලත් ගණකාධිකාරී පාඨමාලාවේ දී මට විගණනය කියලා දීලා තියෙනවා. ප්‍රථමයෙන් ම මම විගණනය ඉගෙන ගත්තේ එතුමාගෙන්," යැයි ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි.
එම වංචාවලට සම්බන්ධ පුද්ගලයන් එවක ගණකාධිකාරි ලෙස කටයුතු කළ ලලිත් අඹන්වල වෙත රුපියල් කෝටියක අල්ලසක් ලබා දීමට උත්සහ කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව කිය වේ. එමෙන් ම ඔහුට මරණ තර්ජන තිබූ බව මෙන් ම වරක් වාහන අනතුරක් ලෙස පෙන්වමින් ඔහුව ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි ද එවකට මාධ්‍ය වාර්තා කළේය.
දකුණු ඇස අහිමි කළ ඇසිඩ් ප්‍රහාරය
කෙසේ වෙතත් ලලිත් අඹන්වල 2002 වසරේ මැයි මාසයේදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්විය.
"රාජකාරි අවසන් කරලා හවස 5ට විතර කාර් එකේ මම ආවා. ඔය අස්ගිරිය හරියේදි ත්‍රීවිල් එකක් ආවා. මාව පහු කර ගෙන යන ගමන් ජනේලේ අස්සෙන් ඇසිඩ් පාරක් ගැහුවා මගේ මූණට," යැයි එම සිදුවීම පිළිබඳව වරක් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ය.
එම ඇසිඩ් ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු ඇසෙහි පෙනීම සම්පූර්ණයෙන් ම අහිමි වන අතර මුහුණට සිදුවූ තුවාල හේතුවෙන් ප්ලාස්ටික් සැත්කම් 5ක් සිදුකර තිබිණි.
මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර වසර 10ක දීර්ඝ නඩු විභාගයකින් පසුව 2010 වසරේදී මහනුවර මහාධිකරණයේ එවකට විනිසුරු ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන එම චූදිතයින්ට වසර 10 බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය.
එමෙන් ම ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද තිදෙනාට තවත් වසර 20ක සිර දඬුවමක් ලබා දුන් අතර මෙය සැලසුම් කරන ලද පුද්ගලයින් දෙදෙනාට චෝදනා තුනකට වසර විස්ස බැගින් වසර 60ක සිර දඬුවමක් නියම කරන ලද්දේ එය එකවර වසර 20කින් ගෙවී යන ලෙසයි.
මීට අමතරව රුපියල් ලක්ෂ 32ක දඩ මුදලක් මෙන් ම ලලිත් අඹන්වල වෙත ලක්ෂ 50ක වන්දියක් ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණය නියෝග කළේය.
ඇසිඩ් ප්‍රහාරයෙන් ඇසක් අහිමි වූ ලලිත් අඹන්වල ඉන් අධෛර්යට පත් නොවී තවදුරටත් රාජ්‍ය සේවයේ නිරත වූ අතර ඔහු වංචා දුෂණ රාශියක් හෙළි කරමින් විගණකාධිපති දෙපාර්තුමේන්තුවට කීර්තියක් අත්කර දුන් නිලධාරියෙකු බව පැවසේ.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වූ ආන්දෝලනාත්මක 'හීලෑ අලි පිළිබඳ' නඩුවට පසුබිම් වූ විගණනය, කෘෂිකර්ම අමාත්‍යංශය ඉහළ කුලියක් ගෙවා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම මුවාවෙන් රුපියල් මිලියන 41ක් වංචා කිරීම් වැනි සිද්ධි හෙළි කර ගැනීමට ප්‍රහාරයට ලක්වීමෙන් පසුව පවා ඔහුට හැකිවිය.
ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පිළිබඳ විගණනය සහ පෝට් සිටි ව්‍යාපෘතියේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණනයන්ට ද සම්බන්ධ වූ බවට ඔහු සතිඅන්ත පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබිණි.
"ක්‍රිකට් බෝඩ් එකෙන් මට විගණනයක් කරන්න කියලා භාර දුන්නා. මම සති දෙකක් වැඩ කරලා විගණනයක් දුන්නා. ඒ වෙනුවෙන් මට සති දෙකට ලක්ෂ හතරක් දුන්නා. ඊට පස්සේ මම කීවා, මට සත පහක්වත් එපා. මම ඉගෙනගත්ත ඉස්කෝලය වන වලල සෙන්ට්‍රල් එක, මේ සල්ලි වියදම් කරමින් මැදිහත්වෙලා ඉස්කෝලේ ක්‍රිකට් වැඩිදියුණු කරන්න කියලා ඉල්ලුවා. සත පහක්වත් ගත්තේ නෑ. ඊට පස්සේ වලල සෙන්ට්‍රල් එකේ පිච් එක හදලා මිලියනයක් විතර වටින ලොකු වැඩක් ක්‍රිකට් බෝඩ් එක කළා."
ලලිත් අඹන්වල 2021 වසරේ මැයි 14 වන දා මිය ගිය අතර බොහෝ රාජ්‍ය නිලධාරින් හට අල්ලස් දූෂණ චෝදනා එල්ල වන කාලයක 'අවංක රාජ්‍ය නිලධාරියෙකු' ලෙස හෙතෙම අදටත් බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පත්ව සිටියි.