ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස්: ට්‍රම්ප්ගේ ඊශ්‍රායල් සංචාරයෙන් පසු ගාසාවේ මීළඟට සිදුවන්නේ කුමක් ද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ පළමු අදියරේ කොටසක් ලෙස, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් වෙනුවට ගාසා තීරයේ රඳවා සිටි සියලු ම ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් භාර දෙන ලද බව ඊශ්‍රායල හමුදාව පවසයි.
මෙම ගිවිසුමට අනුව එරට වේලාවෙන් සිකුරාදා මධ්‍යහන දහවල් 12:00ට සටන් විරාමය ඇරඹුණු අතර ගෙවුණු සති අන්තයේදී වැඩි ආධාර ප්‍රමාණයක් ගාසා තීරය වෙත ඇතුළු වීම සිදු විය.
පළමු අදියරේ කටයුතු අවසන් වූ පසු, සෙසු අදියරවල විස්තර පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත ගොස් සිටි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීය.
නිදහස් කෙරුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කවුද?
සටන් විරාම ගිවිසුම යටතේ, හමාස් සංවිධානය වසර දෙකක කාලයක පුරා රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබිණි. එම පිරිස අතරින් ජීවතුන් අතර සිටින බවට තහවුරු වී තිබුණේ 20 දෙනෙකු පමණි.
ඒ අනුව, මෙම 20 දෙනා අදියර දෙකකදී නිදහස් කිරීම ඔක්. 13 දා සිදුවිය. ඒ, පළමු අදියරේදී 7 දෙනෙකු සහ දෙවන අදියරේදී 13 දෙනෙකු ලෙස ය.
පුද්ගලයින් 1,200 දෙනෙකු ඝාතනය කරමින් හමාස් සංවිධානය 2023 වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රාලයට එල්ල කරන ලද ප්‍රහාරය අතරතුරදී පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.
ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර වශයෙන් ගාසාහි හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, එම කාලය තුළ 67,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
නිදහස ලැබූ පළමු ප්‍රාණ ඇපකරුවන්ගේ නම් මෙසේ ය.
- අයිටන් මෝර්
- ගැලී බර්මන්
- සිව් බර්මන්
- මාතන් ඇන්ග්‍රෙස්ට්
- ඕමාරි මිරාන්
- ඇලන් ඔහෙල්
- ගයි ගිල්බෝ-ඩලාල්
නිදහස් කරනු ලබන පලස්තීන සිරකරුවන් කවුද?
ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම වෙනුවට, ඊශ්‍රායලයේ බන්ධනාගාරවල ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ ගාසා තීරයේ රැඳවියන් 1,700 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබිණි.
ඔවුන් අතර බාලවයස්කරුවන් 15ක් ද විය. ඒ අනුව, නිදහස් කරන ලද පලස්තීන සිරකරුවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් පිළිගනු ලබන ආකාරය දැක ගැනීමට හැකි විය.
ඔක්. 13 සඳුදා උදෑසන හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සිරකරුවන්ගේ මාධ්‍ය කාර්යාලය විසින් රැඳවියන්ගේ සහ සිරකරුවන්ගේ නම් ඇතුළත් යාවත්කාලීන ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරිණි.
හමාස් සංවිධානය ඉල්ලා සිටි මාර්වාන් බර්ගවුටි සහ අහමඩ් සාදත් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහිව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින ඉහළ පෙළේ රැඳවියන් මෙම සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවිණි.
ඊශ්‍රායල මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළේ, 250 දෙනාගෙන් 100 දෙනෙකු පමණ බටහිර ඉවුරටත්, 15 දෙනෙකු නැගෙනහිර ජෙරුසලමටත්, 135 දෙනෙකු ගාසා තීරයට හෝ වෙනත් ස්ථානයකටත් පිටුවහල් කරන බව ය.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් ට්‍රම්ප් සහ නෙතන්යාහු පැවසුවේ මොනවා ද?
2008 වසරෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතන ලද පළමු අවස්ථාව සනිටුහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, "දිගු හා වේදනාකාරී බියකරු සිහිනය අවසානයේ හමාරයි," යනුවෙනි.
මෙම එම දිනය මැද පෙරදිග "සියල්ල වෙනස් වීමට පටන් ගත් මොහොත සහ බොහෝ සෙයින් යහපත් අතට හැරෙන මොහොත" සනිටුහන් කරන බව ද ඔහු එහිදී පැවසීය.
කලාපයේ සිදු කරන මෙම සංචාරයේදී, ට්‍රම්ප් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අනෙකුත් ලෝක නායකයින් සමග ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික්හි පැවැත්වෙන සාම සමුළුවකට ද සහභාගී වනු ඇත.
ක්නෙසෙට්හි (ඊශ්‍රායල පාර්ලිමේන්තුව) රැස්ව සිටි දේශපාලනඥයින් අතරින් නැගුණු "ට්‍රම්ප්, ට්‍රම්ප්, ට්‍රම්ප්" යන හඬ මධ්‍යයේ, ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කලාපය "නව මැද පෙරදිගක ඓතිහාසික උදාව" අත්විඳිමින් සිටින බව ය.
"අවසානයේදී, ඊශ්‍රායල ජාතිකයින්ට පමණක් නොව, පලස්තීනුවන්ට ද, දිගු හා වේදනාකාරී බියකරු සිහිනය අවසානයේ හමාර විය," ට්‍රම්ප් පැවසීය.
තම මැදිහත් වීමෙන් සිදු වූ මෙම සටන් විරාමය "සාම ප්‍රයත්න සියල්ල අතරින් වඩාත් ම අභියෝගාත්මක සාර්ථකත්වය," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ධවල මන්දිරය තුළ ඊශ්‍රායලයට සිටි "ශ්‍රේෂ්ඨතම මිතුරා" ට්‍රම්ප් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
පසුගිය වසරේ ට්‍රම්ප් නැවත ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ විට ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ආකල්පයේ "වෙනස් වූ" බව නෙතන්යාහු තවදුරටත් සඳහන් කළේ ය.
2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලදී ග්‍රහණයට ගන්නා ලද 251 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක කොටසක් වන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නැවත ලබා ගැනීම සඳහා ට්‍රම්ප් ලබා දුන් "අඛණ්ඩ උපකාර" සඳහා ඊශ්‍රායල අගමැති ඔහුට ස්තූති කළේ ය.
"ඔහු ගනුදෙනු කිරීමට පහසු ම පුද්ගලයා නොවේ, නමුත් ඒ නිසා තමයි ඔහු ශ්‍රේෂ්ඨ වන්නේ" යැයි පවසමින් ට්‍රම්ප් තම මිත්‍ර අගමැතිවරයා පෙරළා පැසසීය.
පාර්ලිමේන්තුව අමතමින් නෙතන්යාහු පැවසුවේ තමා "මෙම සාමයට කැපවී සිටින" බව ය.
සටන් විරාමය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉටු කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල නීති සම්පාදකයින් ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කෂ්නර්ට ප්‍රීති ඝෝෂා නගමින් ප්‍රශංසා කළ අතර, කෂ්නර් සිය බිරිඳ වන ඉවන්කා ට්‍රම්ප් සමග එම අවස්ථාවට සහභාගීව සිටියේ ය.
ට්‍රම්ප්ගේ කතාවට බාධා
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් සිටි අතරතුර ඔහුගේ කතාව මදකට නතර කිරීමට සිදු වූයේ සභාවේ සිටි පුද්ගලයෙකුගෙන් එල්ල වූ විරෝධය හමුවේ ය.
ආරක්ෂක අංශ මැදිහත්ව ඉතා කෙටි වේලාවක් තුළ ඔහු එම ස්ථානයෙන් ඉවත් කර අයුරු පසුව නිරීක්ෂණ විය.
"ඒක හරිම කාර්යක්ෂමයි," නැවත සිය කතාව ආරම්භ කිරීමට පෙර ට්‍රම්ප් පැවසීය.
එලෙස විරෝධය එල්ල කරනු ලැබ තිබුණේ, ඊශ්‍රායල් විපක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වන අතර ඔහු "පලස්තීනය පිළිගනු" ලෙස සටහන් කර තිබුණු පුවරුවක් අතැතිව සිට තිබේ.
ඒමන් ඔඩේ නමැති මෙම මන්ත්‍රීවරයා අනතුරුව සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "කරන්න පුළුවන් සරල ම ඉල්ලීම, මුළු ජාත්‍යන්තර ප්‍රජාව ම එකඟ වන ඉල්ලීමක් වන පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා ලෙස මම ඉල්ලපු නිසා ඔවුන් මාව සභාවෙන් ඉවත් කළා," යනුවෙනි.
ඊළඟට සිදුවන්නේ කුමක් ද?
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පෙර ඊශ්‍රායල හමුදා පසු බැස්සේ ඔවුන් එහි 53%ක පමණ භූමි ප්‍රදේශයකට සිය පාලනය සීමා කර ගනිමින් වන අතර ට්‍රම්ප්ගේ සැලැස්මට අනුව ඊශ්‍රායල හමුදා ඉවත් වීමේ අදියර තුනෙන් පළමු අදියර මෙයයි.
එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව, ඇමෙරිකානු හමුදාව විසින් අධීක්ෂණය කරනු ලබන 200ක පමණ භට පිරිසකින් යුත් බහුජාතික හමුදාවක් සටන් විරාමය නිරීක්ෂණය කරනු ඇත. මෙම බළකායට ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භට පිරිස් ඇතුළත් වන බව විශ්වාස කෙරේ.
ගාසාහි කිසිදු ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු නොසිටින බව ඇමෙරිකානු නිලධාරීන් පවසා තිබේ.
කරුණු 20 කින් යුත් සැලැස්ම අනුව, දෙපාර්ශවය ම එකඟ වුවහොත් යුද්ධය "වහා අවසන් වනු" ඇත.
ගාසාව හමුදාකරණයෙන් නිදහස් කරන බවටත්, සියලු "මිලිටරි, ත්‍රස්ත සහ ප්‍රහාරාත්මක යටිතල පහසුකම්" විනාශ කරන බවටත් එහි තවදුරටත් සඳහන් වේ.
තව ද මෙම සැලැස්මට අනුව, ගාසා තීරය මුලින් ම විශේෂඥයින්ගෙන් සැදුම්ලත් තාවකාලික පලස්තීන රජයක් විසින් පාලනය කරනු ලබන අතර, මෙම රජය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ටෝනි බ්ලෙයාර් ඇතුළු ජාත්‍යන්තර "සාම මණ්ඩලයක්" විසින් අධීක්ෂණය කරනු ලැබේ.
ප්‍රතිසංස්කරණවලට භාජනය වූ පසු, තීරයේ පාලනය අවසානයේ බටහිර ඉවුර පරිපාලනය කරන පලස්තීන අධිකාරියට භාර දෙනු ඇත.
2007 සිට එම ප්‍රදේශය පාලනය කරන හමාස් සංවිධානය, සැලැස්මට අනුව, එහි පාලනය තුළ සෘජුව හෝ වක්‍රව කිසිදු කාර්යභාරයක් ඉටු නොකරනු ඇත.
හමාස් සාමාජිකයින් සාමකාමී සහජීවනයකට කැපවන්නේ නම් ඔවුන්ට සමාව ලබා දෙනු ඇත. නැතහොත් වෙනත් රටකට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසෙනු ඇත.
කිසිදු පලස්තීනුවෙකුට ගාසාවෙන් පිටව යාමට බල නොකරනු ඇති අතර පිටව යාමට කැමති අයට ආපසු පැමිණීමට ද නිදහස හිමිවනු ඇත.
"ගාසා තීරය නැවත ගොඩනැගීමට සහ බලගැන්වීමට ට්‍රම්ප් ආර්ථික සංවර්ධන සැලැස්මක්" විශේෂඥ මණ්ඩලයක් විසින් නිර්මාණය කෙරෙනු ඇත.