ඥානසාර හිමිට ඇප දෙන්න පැමිණිල්ලයි - විත්තියයි එක මතයක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (පෙබ. 25) නියෝග කළේ ය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ ය.

කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්

2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් ජනවාරි මස 9 වන දා මාස 9ක ලිහිල් සිර දඬුවම් සහ රුපියල් 1,500ක දඩයක් කරනු ලැබීය.

එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එමගින් උන්වහන්සේ ඉල්ලා සිටියේ එය විභාග කර අවසන් වන තෙක් තමන් වහන්සේ ඇප මත මුදා හරින ලෙස ය.

කෙසේවෙතත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

පසුව තමා වෙත ඇප ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බව ත් එය ප්‍රතිශෝධනය කර තමා ඇප මත මුදා හරින ලෙස ත් ඉල්ලා ඥානසාර හිමියන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

'මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවෙයි'

එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් නීතීඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේශ් සෙනෙවිරත්න යන නීතිඥ සමග පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවෙකු අභියාචනයක් ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදා හැරිය හැක්කේ ඇප පනතේ 19(2) වගන්තියට අනුව පමණක් බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම වගන්තියට අනුව ඇප ඉල්ලීමක් සලකා බැලිය හැක්කේ යම් විත්තිකරුවෙකුට එල්ල වී තිබෙන චෝදනාවල බරපතළභාවය සහ ඔහුගේ පෙර ක්‍රියා කලාපය යන කරුණු මත පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

එහෙත් මහේස්ත්‍රාත්වරයා එම නීතිමය ප්‍රතිපාදනය සැලකිල්ලට නොගෙන ඇප ලබා දීමට සුවිශේෂ කරුණු නොමැති බව සඳහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනයට යටත්ව සිටින විත්තිකරුවෙකුට ඇප නියම කිරීමේදී මහේස්ත්‍රාත්වරයෙකු විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබිය යුත්තේ ඇප පනතේ 19 (2) වගන්තිය පමණක් බව සඳහන් කළා ය.

එහෙත් සුවිශේෂී කරුණු නොමැති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවන බව ද රජයේ නීතිඥවරිය සඳහන් කළාය.

ඒ අනුව අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළේ ය.

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශ කළේ යැයි චෝදනා

2016 වසරේ ජූලි මස 16 වන දා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්... එය අතුගා දමන්න ඕනේ..." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

ඒ අනුව, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් වසරේ දෙසැම්බර් 19 වන දා වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු එදින නඩුව කැඳවූ අවස්ථාවේ උන්වහන්සේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එදින අධිකරණයට කරුණු දක්වමින් තමා සේවා දායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව එහිදී සඳහන් කොට තිබිණි.

උන්වහන්සේ ඒ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මෙම නඩුව සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් එහිදී ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් නඩු තීන්දුව ප්‍රකාශ කිරීම 2025 ජනවාරි මස 9 වන දා තෙක් කල් දමන ලද අතර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.

අනතුරුව ජනවාරි මස 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් උන්වහන්සේට මාස 9ක ලිහිල් සිර දඬුවම් සහ රුපියල් 1,500ක දඩයක් කරනු ලැබීය.