ඥානසාර හිමිට කොළඹ මහාධිකරණයෙන් ඇප

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය.

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය.

නියෝගය ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනි.

සිර දඬුවම් නියම වීමෙන් පසුව ඥානසාර හිමි විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණි

එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමි ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළේය.

ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනා අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණි.

අභියාචනාධිකරණයේ නියෝගය පරිදි උන්වහන්සේ අද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් විකුත් මාර්තු මස 30 වැනිදා බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර කළේය.

විදෙස් ගමන් තහනම්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර තිබුණි.

එමෙන්ම උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහාධිකරණය විසින් තම සේවා දායකයාට එරෙහිව පැනවූ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

ඉන්පසුව කොළඹ මහාධිකරණය වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළත් සුවිශේෂ හේතු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෘද රෝග ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙළෙන බවත් සඳහන් කර සිටියේය.

මෙම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුවක් ලබාදීමට වසර තුනකට වැඩි කාලයක් ගත විය හැකි බවත් සඳහන් කර සිටි ජනාධිපති නීතිඥවරයා එම අභියාචනයේ තීන්දුවක් ලැබෙන තුරු උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විත්තිකරුවකු වරදකරු කිරීමෙන් පසුව මහාධිකරණයට ඉදිරිපත් කරන අභියාචනා ගොනු මාස තුනක් ඇතුළත අභියාචනාධිකරණයට පැමිණෙන බව සඳහන් කළේය.

එසේ පැමිණෙන අභියාචනා ගොනු වසරක් තුළ විභාගයට ගැනීම පවා අභියාචනාධිකරණය විසින් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

එම නිසා අභියාචනා පෙත්සම් විභාගය මේ වන විට ශීඝ්‍ර තත්ත්වයකින් සිදුවන හෙයින් මෙම විත්තිකරුගේ ඇප ඉල්ලීම සලකා බැලීමේ අවශ්‍යතාවයක් නොමැති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වරදකරු කොට වසර 4 ක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇපමත මුදා හරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 02 වැනිදා) ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වරදකරු කොට වසර 4 ක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇපමත මුදා හරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය (අප්‍රේල් 02 වැනිදා) ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමිට දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ය.

තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමි අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා උන්වහන්සේ සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර ති‌බුණි.

එම ඉල්ලීම අද කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු ඉදිරිපත් කළේය.

" ස්වාමීනි... වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට නියම කර තිබෙන වසර හතරක සිර දඬුවම බන්ධනාගාර රෙගුලාසි වලට අනුව වසර දෙකක් සහ මාස කීපයකින් අවසන් වීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරමින් උන්වහන්සේට ඇප ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. වර්තමානයේ අභියාචනාදීකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් පවතිනවා. එම නිසා අභියාචනා විභාගවලද ප්‍රමාදයක් මතුවී තිබෙනවා. සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක් සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන්ගේ අභියාචනා විභාග කිරීමට ඊටත් වඩා කාලයක් ගතවන තත්ත්වයක් පවතිනවා. එවැනි කාලයක් යම් විත්තිකරුවකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම යුක්ති සහගත නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඇප පනත ප්‍රකාරව පුද්ගල නිදහස උතුම් කොට සැලකිය යුතුයි. එම නිසා ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට අධිකරණයට අභිමතය පැවරී තිබෙනවා. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයන් කිහිපයක්ද තිබෙනවා." මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා " ස්වාමීනී... වර්තමානයේ අභියාචනාධිකරණයට වැඩි විනිසුරුවරු සංඛ්‍යාවක් පත් කර තිබෙනවා. එසේම අභියාචනා පෙත්සම් විභාගයත් කාර්යක්ෂම වී තිබෙනවා. එම නිසා අභියාචනා විභාගවල ප්‍රමාදයක් පවතින බවට විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සලකන්න බැහැ. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයක් පවතින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළා. එහෙත් උන්වහන්සේට බන්ධනාගාර රෝහලේ දී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ අසනීප තත්ත්වයක් තිබේදැයි පැහැදිලි කිරීමට විත්තියේ නීතිඥවරයා කටයුතු කළේ නැහැ. එම නිසා මෙම කරුණු සුවිශේෂ කරුණු ලෙස පිළිගන්න බැහැ."යනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

"වරදකරුවන් සම්බන්ධයෙන් ඇප ප්‍රදානය කිරීමට ඇප පනත යටතේ අධිකරණයට හැකියාවක් තිබෙන බව විත්තිය ප්‍රකාශ කළා. එහෙත් ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන්නේ සැකකරුවන්ට මිස වරදකරුවන්ට නොවේ. අධිකරණය මගින් වරදකරු වූ පුද්ගලයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත තීන්දු ගණනාවකම සඳහන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවකුට ඇප ප්‍රදානය කිරීමේදී අදාළ වන්නේ සුවිශේෂ කරුණු පමණයි. මෙම නඩුකරයට අදාළව විත්තිය විසින් සුවිශේෂ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනා නඩු ප්‍රමාදය සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය ඒ අතර ප්‍රධාන වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විනිශ්චිත නඩු තීන්දු ප්‍රකාරව අභියාචනා නඩු විභාග ප්‍රමාදය වරදකරුවකුට ඇපදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සැලකිය නොහැකි බව දක්වා තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ විත්තිකාර ස්වාමීන් වහන්සේට ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු අනාවරණය වන්නේ නැහැ." යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා ඉන් අනතුරුව විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය පැවති අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළත් ඉන් පිටතත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් රැස්ව සිටියහ.

ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමෙන් පසුව අධිකරණ භූමියට වැඩම කර සිටි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මාධ්‍ය වලට අදහස් පළ කළහ." ඥානසාර හිමියන් කතා කළේ අපේ රටේ තිබෙන අන්තවාදී ප්‍රශ්නය ගැන. ඒ ප්‍රශ්නය අදත් එලෙසම තිබෙනවා. සිංහල බෞද්ධ ජනයා වෙනුවෙන් තමයි උන්වහන්සේ හඬ නැගුවේ. කෙසේ වෙතත් අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා. මෙම තීන්දුවට එරෙහිව අප ඉහළ අධිකරණයෙන් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා." යනුවෙන් මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කළහ.

සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයට

වීඩියෝ ශීර්ෂ වැකිය, සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාව

බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි (මාර්තු 28 වැනිදා) දහවල් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුණි.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආගම් අතර සමගිය කඩවන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් (මාර්තු 28 වැනිදා) පෙරවරුවේ බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කරනු ලැබීය

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

චෝදනා දෙකටම ඥානසාර හිමියන් අධිකරණය හමුවේ වරදකරු කෙරුණි.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවත් නියෝග කළේය.

ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හිමිවනු ඇත.

අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව ගිය බව බලධාරීහු තහවුරු කරති. ජනාධිපති සමාව යටතේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ 2019 වසරේදී නිදහස් කෙරුණි

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක්ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

2016 වසරේ මාර්තු 30 වැනිදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමි අදාළ ප්‍රකාශය කළ බව ය.

ජාතීන් අතර පවතින සමගියට බාධා

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාද් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.