'මට හිතෙන්නේ ඒක චිත්‍රපටවල පෙන්නන අපරාධයක් වගේ': නේපාලයේ බාල වයස්කාර ඩිම්බ ජාවාරම

- Author, ෆනීන්ද්‍ර දහල්
- Role, බීබීසී පුවත් නේපාලි
- වාර්තාකරණය, Kathmandu
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහි ජීවත් වන කුන්සාං, ඇගේ 17 හැවිරිදි සහෝදරිය වන ඩොල්මාගේ ජංගම දුරකතනය සහ සමාජ මාධ්‍ය ගිණුම් ඉඳහිට නිරීක්ෂණය කිරීමට පුරුදුව සිටියා ය.
ඩොල්මාගේ ස්නැප්චැට් ගිණුමේ ඇය දුටු සටහනක් සහ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩ ගණනාවක් මෙම 21 හැවිරිදි මෙම තරුණියගේ අවධානයට ලක් විය.
"අතකට කටු ගහලා සේලයින් දෙනවා වගේ දෙයක් මම දැක්කා... තප්පයරක් වගේ ඒක තිබුණේ. මට ඇතිවුණු කුතුහලය එක්ක මම තවත් හොයන්න ගත්තා," කුන්සාං බීබීසීය වෙත පැවසීය.
අනතුරුව හමු වූ දෙයින් ඇය කම්පනයට පත් වූවා ය.
"මගේ නංගියි එයාගේ හොඳ ම යාළුවගෙයි [ජැස්මින්] චැට් එකක් මම දැක්කා... තවත් ගෑනු ළමයෙක් එක්ක කරපු. එයාලා කතා කර කර හිටියේ ඩිම්බ පරිත්‍යාග කරන එකක් ගැන සහ සායනවලට යන එකක් ගැන. "නියෝජිතවරියක් වුණු ඒ ගෑනු ළමයා මගේ නංගිගේ හොඳ ම යාළුවාගේ යාළුවෙක්," කුන්සාං තවදුරටත් පැවසීය.
ඉන්ටර්නෙට් ඔස්සේ ඒ ගැන තවදුරටත් සොයා බැලීමෙන් පසු, තම සහෝදරිය මෙන් ම ඇගේ සමීප මිතුරියක ද කත්මණ්ඩුහි IVF සායනයක ගොදුරක් වී ඇති බව ත්, එම සායනය තැරැව්කරුවන් හරහා බාල වයස්කාර ගැහැනු දරුවන් මුදලට තම ඩිම්බ විකිණීමට පොළඹවා ඇති බවත් කුන්සාංට ඒත්තු ගැන්විණි.
දරුවන් නොමැති යුවළ බොහෝ අවස්ථාවලදී පරිත්‍යාගශීලින්ගෙන් ලබා ගන්නා ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය කිරීමේ ක්‍රමවේදය යොදා ගන්නා IVF ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙති.

ඡායාරූප මූලාශ්‍රය, John Elk III via Getty Images
39 හැවිරිදි නෝර්බු, යනු ඩිම්බ විකිණීමේ ජාවාරමට ගොදුරු වූ ඩොල්මාගේ හොඳ ම මිතුරිය වන ජැස්මින්ගේ පියා ය. සැකකාර නියෝජිතයා අමතා ප්‍රශ්න කිරීමෙන් පසු, මෙම ගැහැනු දරුවන් දෙදෙනාගේ ම පවුල්වල සාමාජිකයෝ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කළහ.
"මේ ගෑනු ළමයින්ගේ වයස අවුරුදු 17යි. හැබැයි [මේ සැකකාර නියෝජිතයා] මේ ළමයිව ක්ලින්ක් එකට එක්කන් ගිහින් තියෙන්නේ එයාලට වයස 22යි කියලා. එයාලට බොරු නම් පවා දීලා. ක්ලිනික් එකේ හිටපු වෛද්‍යවරයා අපට කිව්වේ, එයාලගෙන් ප්‍රශ්න කරන්න අපිට නීතිමය වශයෙන් අයිතියක් නැහැ කියලා," නෝර්බු පැවසීය.
"ඊට පස්සේ අපි පොලිසියේ මිනිස් අවයව ජාවාරම් කාර්යාංශයට ආවා. එයාලා මේ වගේ සිද්ධියක් ගැන මීට කලින් අහලා තිබුණේ නැහැ. එයාල පුදුම වුණා. යුක්තිය ඉෂ්ඨ වෙන්න කොච්චර කාලයක් යාවිද කියලා අපි දන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය.
බාලවයස්කාර වින්දිතයින් සහ ව්‍යාජ වාර්තා
වැඩි කල් නොගොස්, මෙම සිදුවීම දේශීය මාධ්‍යවල අවධානයට ලක්වූ අතර එමගින් සිදුවූ හෙළිදරව් කිරීම් මහජන කෝපයට තුඩු දුන්නේ මෙම කර්මාන්තය නියාමනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව ඉස්මතු කරමිනි.
නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යංශයෙන් විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුමත කර ඇති හෝ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින රට තුළ ක්‍රියාත්මක සරුභාවය සම්බන්ධයෙන් වෛද්‍ය සායන 50කට වැඩි ගණනක පවතින නීතිමය හිඩැස් සහ දුර්වල අධීක්ෂණය ද එහිදී හෙළිදරව් කර තිබේ.
නේපාල සෞඛ්‍ය අමාත්‍යවරයා බීබීසීයට පැවසුවේ, රජය මෙම කාරණය බැරෑරුම් ලෙස සලකන බව ත්, සරුභාවය සඳහා වන ප්‍රතිකාර නීතිමය හා සදාචාරාත්මක ප්‍රමිතීන් අනුගමනය කරන බව සහතික කිරීමට කටයුතු කරන බව ත් ය.
ජූලි මස මැද භාගයේදී, නේපාල බලධාරීන් නිවේදනය කළේ IVF සායනවල මෙහෙයුම් ප්‍රමිතීන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව ය.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මිනිස් අවයව ජාවාරම් කාර්යාංශයෙන් මෙම විමර්ශනය භාර ගත් නේපාල පොලිසියේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී චන්ද්‍ර කුබර් ඛාපුන්ග්ට අනුව, තැරැව්කරුට එක් ඩිම්බයක් ලබා ගැනීම සඳහා ඩොලර් 330ක් පමණ ලැබුණු බවට ත්, පසුව ඉන් සුළු කොටසක් අදාළ ගැහැනු දරුවන්ට ලබා දුන් බවට ත් විශ්වාස කෙරේ.
"වයස අවුරුදු 18ට අඩු ගැහැනු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ කිසිදු අවසරයකින් තොරව ඩිම්බ අරගන්න යොදා ගෙන තියෙනවා," ඛපුන්ග් පැවසීය.
"මේ ගෑනු දරුවන් වේදනාකාරී ක්‍රියාවලියකට භාජනය වෙලා කියලත් අපි හොයා ගත්තා. ඩිම්බ පරිණත තත්ත්වයට ඇවිල්ලා කියලා සහතික කර ගන්න මේ දරුවන්ට දවස් දහයක් එන්නත් ලබා දීලා තිබුණා. ඊට පස්සේ තමයි සැත්කම කරන්නේ... ඩිම්බ ගන්න. මේ සැත්කමින් බරපතළ සෞඛ්‍ය සංකූලතා පවා ඇති වෙන්න පුළුවන්. දෙවම්පියන්ගේ අවසරයවත් අරගෙන තිබුණේ නැහැ මේක කරන්න."
පරිත්‍යාගශීලීන්ගේ ව්‍යාජ නම් සහ වයස් ඇතුළුව රෝහල් වාර්තා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට ත්, මුලින් ඩිම්බ සඳහා මුදල් ලබා ගත් ඇතමුන් පසුව අතරමැදියන් බවට පත් වී වෙනත් අය ඒ සඳහා යොමු කර ගෙන ඇති බවට ත් පොලිස් නිලධාරීහු විශ්වාස කරති. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝබින්ද්‍ර බෝගති, මෙම ක්‍රියාවලිය වේදනාකාරී සහ සදාචාර විරෝධී එකක් ලෙස විස්තර කළේ ය.
"බාලවයස්කරුවන් මෙවැනි අභියෝගාත්මක තත්ත්වයකට පත් කිරීම කුප්‍රකට ක්‍රියාවක්," බෝගති පැවසීය.
ජූලි මාසයේදී වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් පසුව ඔවුන් සියලු දෙනා ඇප මත මුදා කෙරුණේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවිනි.
නීති අවම වීම
නේපාලයේ දැනට ඩිම්බ හෝ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා වයස් සීමාවන් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, පොලිසිය නේපාලයේ දරුවන්ට අදාළ පනත (2018) යටතේ නඩු පවරමින් සිටින අතර, එහි සඳහන් වන්නේ දරුවන්ට ශාරීරික තුවාල සිදු කිරීම හෝ වෛද්‍ය කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සම්බන්ධ වන අයට ඩොලර් 550ක පමණ දඩයක් නියම කළ හැකි අතර වසර තුනක් දක්වා සිර දඬුවමකට යටත් විය හැකි බව ය.
නේපාලය පුරා සාඵල්‍යතා සායන 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, ඒවායින් බොහොමයක් දුර්වල නීතිමය අධීක්ෂණය හේතුවෙන් ලියාපදිංචි කර නොමැති බවට විශ්වාස කෙරෙන බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.
2020 මහජන සෞඛ්‍ය රෙගුලාසියක් මගින් IVF, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ විශේෂිත වෛද්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර එම සේවාව ලබා දෙන ආයතනවලට යම් ප්‍රමිතියකින් යුත් සත්කාරයක් සහතික කිරීම සඳහා ඔවුන්ගේ බලපත්‍ර නිතිපතා අලුත් කිරීමට අවශ්‍ය වුව ද, ඇතැමුන් පවසන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම ලිහිල් වී ඇති බව ය.

"ඩිම්බ හෝ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමේදී හෝ ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු සම්මත පිළිවෙත් නිර්වචනය කරන කිසිදු නීතියක් අප සතුව නැහැ." කත්මණ්ඩුහි පරෝපකර් මාතෘ හා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී ප්‍රසාද් අධිකාරී පවසන්නේ එය බොහෝ අක්‍රමවත් කළමනාකරණයක් නිර්මාණය කර ඇති බව ය.
පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව වැඩිහිටියන්ට පමණක් එවැනි පරිත්‍යාග කළ හැකි බව සහතික කරන නීති නේපාලය විසින් ගෙන ආ යුතු බව ද ඔහු පැවසීය.
"අපි දීර්ඝ කාලයක් තිස්සේ රජයෙන් නීතියක් හඳුන්වා දෙන ලෙස ඉල්ලනවා," යැයි 2004දී නේපාලයේ පළමු IVF දරු ප්‍රසූතිය සිදු කළ සහ එම අංශයේ වැඩි නීතිමය අනුකූලතාවයක් සඳහා පෙනී සිටින ප්‍රමුඛ නාරිවේද වෛද්‍ය සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය භෝලා රිජාල් පැවසීය.
"නේපාලයේ අඩු ආදායම්ලාභී ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අපගේ සේවාවන් ලබා දීම සහතික කරන ප්‍රතිපත්ති අපි හඳුන්වා දිය යුතුයි."
නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය ප්‍රදීප් පෝඩෙල් පැවසුවේ, චෝදනා එල්ල වී ඇති සිද්ධිය සෞඛ්‍ය අංශයේ පාලනය පිළිබඳව බරපතළ ගැටලු මතු කර ඇති බව ය.
"මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දැනටමත් විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ. පවතින හිඩැස් පිරවීම සඳහා ඉක්මනින් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට පියවර ගන්නවා," ඔහු බීබීසීයට පැවසීය.
පරිත්‍යාගශීලීන්ගේ වයස් සීමාවන් තීරණයේ කිරීමේදී නේපාලයේ නීත්‍යනුකූලව විවාහ සඳහා පනවා ඇති අවම වයස අවුරුදු 20 යන්න රජය විසින් සලකා බලන බව ඔහු පැවසීය.
අනෙක් රටවල් ගැන කුමක් කිව හැකි ද?
බොහෝ රටවල් දැනටමත් ඩිම්බ සහ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇත.
ඉන්දියාවේ සහයක ප්‍රජනක තාක්ෂණ (නියාමන) පනත (2021) යටතේ වයස අවුරුදු 23 සිට 35 දක්වා කාන්තාවන්ට පමණක් ඩිම්බ පරිත්‍යාග කිරීමට සහ වයස අවුරුදු 21 සිට 55 දක්වා පිරිමින්ට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අවසර ඇත.
ඩිම්බ පරිත්‍යාග කළ හැක්කේ එක් වරක් පමණක් වන අතර, පරිත්‍යාගශීලීන් බඳවා ගැනීම සඳහා අතරමැදියන් භාවිත කිරීම අපරාධ වරදක් වන අතර, වසර අටක් දක්වා සිර දඬුවම් සහ ඇමෙරිකානු ඩොලර් 23,000ක පමණ දඩයකට යටත් විය හැකි ය.
එක්සත් රාජධානියේ, ඩිම්බ ලබා ගත හැක්කේ වයස අවුරුදු 36ට අඩු පරිත්‍යාගශීලීන්ගෙන් පමණක් වන අතර, ශුක්‍රාණු ලබා ගත හැක්කේ වයස අවුරුදු 46ට අඩු අයගෙන් පමණි.
ජන්මාණු, කළල හෝ මිනිස් ජාන මිශ්‍ර කළල සැපයීම සඳහා ගෙවීමක් හෝ ප්‍රතිලාභ ලබා දීම හෝ ලබා ගැනීම පුද්ගලයෙකුට හෝ බලපත්‍රලාභියෙකුට අපරාධමය වරදකි.
මානව සංසේචන හා කළල විද්‍යා අධිකාරියේ (HFEA) රෙගුලාසිවලට අනුව, වරදකරු වුවහොත් සිර දඬුවමක්, දඩයක් හෝ එම දඬුවම් දෙක ම නියම විය හැකි ය.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ ඩිම්බ පරිත්‍යාගශීලීන්ට ඔවුන්ගේ ගමන් සහ නවාතැන් වියදම් ඇතුළුව අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා වරකට ඇමෙරිකානු ඩොලර් 1,300කට වඩා වැඩි මුදලක් ලබා දෙනු ලැබේ.
එක්සත් ජනපදයේ, ඩිම්බ පරිත්‍යාගශීලීන් නීත්‍යනුකූල වැඩිහිටියන් විය යුතු ය. එනම් අවුරුදු 21ත් 34ත් අතර විය යුතු අතර ඔවුන් දරුවන්ට ඇති සෞඛ්‍ය අවදානම් අවම කිරීමට තරම් තරුණ වියේ පසු විය යුතු ය.
පරිත්‍යාගශීලීන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු අතර පාරම්පරික රෝග තත්වයන්ගෙන් තොර විය යුතු ය. ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සඳහා වූ ඇමෙරිකානු සංගමයට අනුව, තමන් දරුවෙකු ලැබීමට යෝග්‍ය තත්ත්වයන් සපුරා ඇති බව තහවුරු කළ යුතු වුව ද එය අත්‍යවශ්‍ය නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
මානසික හා ශාරීරික ආතතිය
අනාගතයේදී මෙවැනි සිදුවීම් අන් අයට සිදු නොවීමට වග බලා ගැනීම සඳහා ඔවුන් සටන් කරන බව නෝර්බු බීබීසීයට පැවසීය.
"අපිට මේ අනවශ්‍ය තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අපට ඕනි මේ දරුවෝ ආරක්ෂිතව ඉන්න එක. මේ නියෝජිතයෝ වෙන ගැහැනු දරුවොත් අනතුරේ දාවි කියලා තියෙන බය නිසයි අපි පොලිසියට ආවේ," ඔහු තවදුරටත් පැවසීය.
තම පවුලේ පෞද්ගලිකත්වයට හානි සිදුවුවහොත් ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි අපකීර්තිය ගැන ද නෝර්බු කනස්සල්ලට පත්ව සිටී.
"මගේ පවුල විශාල ආතතියකට මුහුණ දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මගේ බිරිඳට රුධිර පීඩනය සඳහා ආයෙත් බෙහෙත් ගන්න වුණා," ඔහු බීබීසීයට පැවසීය.
"මගේ දුවත් මානසික ආතතියකින් පෙළෙනවා. වෛද්‍යවරු කිව්වා ඇය ඕනෑවට වඩා හිතනවා ඇති කියලා, මේක විෂාදයට හේතු වෙන්න පුළුවන් කියලා. අපිට තාම සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලැබිලා නැහැ," ඔහු තවදුරටත් පැවසීය.
IVF ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජය දැඩි නීති ගෙන එන්නේ නම් තමා කැමති බව නෝර්බු පවසයි.
"මම මෑතකදී රෝහලේ වෛද්‍යවරයාට කිව්වා අවුරුදු 16 සිට 17 දක්වා ඩිම්බ එකතු කරනවා කියන්නේ නේපාලයේ ඉන්න කිසි ම බාලවයස්කාර ගැහැනු දරුවෙක් ආරක්‍ෂිත නැහැ කියන එක කියලා. [ඒ වගේ ම] බාලවයස්කාර ගැහැනු දරුවන් යොදා ගන්නවා කියන්නේ අවුරුදු 20ත් 35ත් අතර කාන්තාවන් ද විශාල සංඛ්‍යාවක් මේකට සම්බන්ධයි කියන එක. මේ සායන විශාල ගණන් මුදල් සොයනවා."
කුන්සාං ද කනස්සල්ලට පත්ව සිටී.
"බාලවයස්කාර ගැහැනු දරුවන් සම්බන්ධ කර ගැනීම ඉතා සදාචාර විරෝධී ක්‍රියාවක් සහ දරුණු අපරාධයක්. මට හිතෙන්නේ ඒක චිත්‍රපටවල පෙන්වන විධියේ අපරාධයක් විදිහට. වැරදිකරුවන් හිරේ දාන්න ඕනේ"
අනන්‍යතා ආරක්ෂා කිරීම සඳහා නම් වෙනස් කර ඇත. අතිරේක වාර්තාකරණය BBC Global Journalism විසිනි














