'දළදා දැක්ම': සියවස් ගණනාවක් පුරා දළදාව රාජ්‍යත්වයේ සංකේතයක් වූයේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල

'දළදා දැක්ම' අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වේ.

ඒ අනුව, අප්‍රේල් 18 වන දා සවස 3:00සිට සවස 5:30 දක්වාත් 19 වන දා සිට 27 වන දා දක්වා දහවල් 12:00 සිට සවස 5:30 දක්වාත් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත සිදු කෙරෙන මෙම දළදා ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයින්ට අත්දැකීමට ලැබෙන්නේ වසර 16කට පසු ය.

"රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපනය කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කරගනු ඇතැයි බලාපොරොත්තු වන බව" ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඊට වෙනස්ව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමුන් පවසන්නේ, සද් භාවයක් තොරව රාජ්‍ය නායකයින් තම පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීම අරඹයා 'ආගම' යොදා නොගත යුතු බව යි.

දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවීම

බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කළ ද උන්වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව සතර දළදාව, ලලාට ධාතුව, අකුධාතු හා ග්‍රීවා ධාතු යන ධාතූන් වහන්සේලා හැර අනික් සියලු ශාරීරික කොටස් කුඩා කැබලිවලට බිඳී ගිය බව ඉතිහාසයේ සඳහන් ය.

මෙම ප්‍රධාන ධාතූන් වහන්සේලාගෙන් සතර දළදා වහන්සේලා වැඩ සිටින ස්ථාන ලෙස තව්තිසා භවන, ගන්ධාර දේශය, කාලිංග දේශය හා නා ලොව දැක්වෙයි.

දළදා සිරිත, දාඨාවංශය, දළදා පූජාවලිය ආදී ධාතු වංශකථාවන්හි සඳහන් පරිදි මෙම සතර දළදාවන්ගෙන් දෙනමක් ම වර්තමානය වන විට පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති වැලිවිට සෝරත නා හිමි 'බුදුසරණ' අන්තර්ජාල කලාපය සඳහා ලියූ ලිපියක දැක්වෙයි.

උන්වහන්සේ එහි සඳහන් කරන්නේ, නා ලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුගේ කාලයේදී මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරුන් වහන්සේ නමක් විසින් නාග භවනයෙන් ගෙන එනු ලැබ ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍ය රාජයා තුළ තැන්පත් කර ඇති බව ය.

මහනුවර දළදා මාළිගාවෙහි තැන්පත් කර ඇත්තේ අනෙක් දළදා වහන්සේ ය.

ඊට පෙර කාලිංග දේශයේ තැන්පත් කර තිබූ මෙම වම් දළදා වහන්සේ ගුහසීව රජු හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා හා දන්ත කුමරුට භාර දී ඇත.

පසුව ඔවුන් දෙදෙනා විසින් 4 වන සියවසේ එනම්, ක්‍රි.ව. 310දී ලක්දිව රජ කළ ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවනු ලැබ තිබේ.

එතැන් පටන් දළදා වහන්සේ රාජ්‍යයේ සංකේතයක් බවට පත් කරමින් ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේ මහත් හරසරින් පෙරහරින් වැඩම කරවා තම සිංහාසනය මත වැඩ හිඳුවා පුදපූජා සිදු කර ඇතැයි වැලිවිට සෝරත නා හිමියෝ සඳහන් කරති.

අනතුරුව දළදා පෙරහර ද ආරම්භ කර එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් ද පිහිටුවා තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, එය මෙරට වාර්ෂික රාජකීය උත්සවයක් බවට ද පත් කර ඇති බව දළදා පුවත් පිළිබඳ විස්තර කෙරෙන වංශ කතාවන්ගෙන් පැහැදිලි වන බව ය.

පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, යාපහුව ආදී යුගවල සිට රජවරුන් හා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා ඇති බවට මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් බව උන්වහන්සේ පෙන්වා දෙති.

එක් කලකදී දළදා වහන්සේ ආර්ය චක්‍රවර්තීන් විසින් පැහැරගෙන ගොස් ඉන්දියාවේ පඬි රජුට භාර දෙනු ලැබ ඇති අතර හතරවන පරාක්‍රමබාහු රජු පඬි රජු හා මිත්‍ර වී නැවතත් දළදා වහන්සේ මෙරටට වැඩමවාගෙන පැමිණ පුදසත්කාර සිදු කර තිබේ.

අවසන් වරට දළදා වහන්සේ වැඩම කරවනු ලැබ ඇත්තේ මහනුවර රාජධානියට ය.

ක්‍රි.ව. 1592දී කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යය පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව දොන් පිලිප් මරා විමලධර්මසූරිය ලෙස රජ විය.

දෙල්ගමු රජමහා විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා මුලින් දෙමහල් ප්‍රාසාදයක් හා නැවත තෙමහල් ප්‍රාසාදයක් බවට පත් කර දළදා වහන්සේ එහි ස්ථාපනය කර තිබේ.

වැලිවිට සෝරත නා හිමියන් පෙන්වා දෙන්නේ, පළමු විමලධර්මසූරිය රජු රන් ආලේපිත දළදා කරඬුවක් නිර්මාණය කර ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කර ලක්වැසියන්ට දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා දළදා ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇතැයි ඉතිහාසයේ සඳහන් බව ය.

දළදා වහන්සේ ළඟ තබා ගන්නා පුද්ගලයා "රටේ රජු" යන්නත් දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් රට සතුරු ජාතීන්ට හිමි නොවන බවටත් අතීතයේ තිබී ඇත්තේ දැඩි විශ්වාසයකි.

ක්‍රි.ව. 1853දී දළදා වහන්සේගේ ගිහි ගෙය භාරකත්වය ඉංග්‍රීසින් විසින් දියවඩන නිලමේ වෙත පවරනු ලැබීය. දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයට ය.

ප්‍රධාන වශයෙන් දළදා වහන්සේට ආරක්ෂාව සැලසීම, දළදා කරඬුවේ රන් යතුර භාරව සිටීම, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි නායක හිමිවරුන් සමග දළදා ප්‍රදර්ශන පැවැත්වීම, රාජකාරි නිලකරුවන් පත් කිරීම, වාර්ෂික මංගල්‍යයෝත්සව පැවැත්වීම හා ඒ පිළිබඳ සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීම දිය වඩන නිලමේට භාර කාර්යයන් අතර වේ.

2009 වසරේ පැවති දළදා ප්‍රදර්ශනය

අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේ මාර්තු මාසයේදී ය.

ඒ, යුද්ධ සමයේ අවසන් භාගයේ එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ෂවයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේත් අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක හිමිපාණන් වහන්සෙගේත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේත් සහභාගීත්වයෙන් එවර දළදා ප්‍රදර්ශනය පැවැත්විණි.

යුද්ධ සමයේ මෙම ප්‍රදර්ශන පූජෝත්සවය සංවිධානය කළ යුතුව පැවති බැවින් එය ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පැවති බව සඳහන් ය.

ඉතිහාසය පුරා හමුවන දළදා ප්‍රදර්ශන

සිංහල රාජවංශයේ අවසන් සිංහල රජු වූ වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසු නායක්කාර වංශිකයන් මෙරට තුළ රාජ්‍යත්වය ලබාගෙන ඇතැයි ඉතිහාසයේ සඳහන් ය.

වැලිවිට සෝරත නා හිමි 'බුදුසරණ' අන්තර්ජාල කලාපය සඳහා ලියූ ලිපියක දැක්වෙන්නේ, පළමු නායක්කාර කුමාරයා ශ්‍රී විජය රාජසිංහ නමින් උඩරට රාජධානියට පත් වූ බව ත් බුදු දහම වැළඳගත් ශ්‍රී විජය රාජසිංහ රජු දළදා පූජා ආගමික කටයුතුවලට ප්‍රමුඛස්ථානය ලබා දී රාජ්‍ය පාලනය ගෙන ගිය බව ය.

දිනක් කරඬුව විවෘත කරන අවස්ථාවේදී උන්වහන්සේ තුළ පැවති ප්‍රාතිහාර්යය දැක ප්‍රීතියට පත් රජු තම දරුවන් සමග විශාල උත්සවයක් පවත්වා, වර්ෂ ගණනාවකට පසුව දළදා වහන්සේ මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇතැයි වැලිවිට සෝරත නා හිමියෝ පවසති.

කීර්තී ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේ මහනුවර රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීමට පෙර අවසන් වරට මහජන ප්‍රදර්ශනයක් හා ගෞරවයක් දක්වා ඇත්තේ එම අවස්ථාවේදී බව එහි සඳහන් ය.

1818දී ඌව කැරැල්ල ආදී කැරැලි උත්සන්න වූ අවස්ථාවේදී, වාරියපොළ ශ්‍රී සුමංගල අනු නා හිමිපාණන් වහන්සේ දළදා වහන්සේ සඟවාගෙන හේවායන් දෙදෙනෙකු සමග වනගතව දළදා වහන්සේ ආරක්ෂා කළ ආකාරය ඉතිහාස තොරතුරු දළදා පුවත වැනි ග්‍රන්ථයන්හි සඳහන් බව වැලිවිට සෝරත නා හිමියෝ සිය ලිපියේ සඳහන් කරති.

අනතුරුව කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ අනුග්‍රහය ඇතිව හඟුරන්කෙතදී යුද්ධ බිමට රැස්ව සිටි පිරිස අමතා දළදා වහන්සේ වැඩම කර ඇති බව දන්වා රැස්ව සිටි සියලු දෙනාට වන්දනා කිරීම සඳහා දළදා ප්‍රදර්ශනයක් පවත්වා යුද්ධමය කටයුතු සඳහා පිටත්ව ගිය සේනාවට ආශිර්වාදය කර ඇතැයි පැවසේ.

එම සටන පරාජයට පත්වුව ද නිදහස් සටන කෙරෙහි ජනතාව එක් රැස් කිරීමට දළදා ප්‍රදර්ශනය පැවැත්වීම බලවත් හේතු සාධකයක් බවට පත්ව ඇති බව වැලිවිට සෝරත නා හිමියෝ පවසති.

1828 ජූනි 18 එඩ්වඩ් ආණ්ඩුකාරවරයාගේ හා දෙහිගම ලොකුබණ්ඩාර නිලමේතුමාගේ කාලයේදී අවසන් වරට දළදා වහන්සේ ධාතු මන්දිරයෙන් පිටතට වැඩමවා මහමළුවේ ප්‍රදර්ශනය කර ඇත.

එය "දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි ස්ථානයෙන් පිටත ස්ථානයකට වැඩමවා ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව" ලෙස සදහන් කළ හැකි යැයි වැලිවිට සෝරත නා හිමියෝ සිය ලිපියේ සඳහන් කරති.

එම දළදා ප්‍රදර්ශනය අවසානයේදී "දළදා වතුර" නමින් ඉතිහාසයේ සඳහන් මහා වැසි ඇද හැළී ඇළ දොළ පිරී මහා ගංවතුරක් ගැලූ බව සඳහන් ය.

1875 වසරේදී වික්ටෝරියා රැජිණගේ වැඩිමහල් පුත්‍රයා වූ වේල්සයේ කුමරු ඇල්බට් එඩ්වඩ් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

පසුව ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර ක්‍රි.ව. 1925 ජනවාරි 1 වන දා සිට 31 දක්වා කාල සීමාව තුළ දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇති අතර මාසයක පමණ කාලයක් පැවැත්වූ එම දළදා ප්‍රදර්ශනයේදී බොහෝ පිරිසක් දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණි බව ද සඳහන්ව ඇතැයි වැලිවිට සෝරත නා හිමියෝ පවසති.

1982 පෙබරවාරි මස මහජන ප්‍රදර්ශනය සඳහාත් ,1992 ජූලි මස ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් සඳහාත්, 1991 මාර්තු මස මහජනතාව උදෙසාත්, 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වාත් දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.

සියම් දේශයේ සිට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ සියම් උපසම්පදාව ලංකාවට ගෙනවිත් වර්ෂ 250ක් සපිරීම නිමිත්තෙන් 2004 වර්ෂයේ අප්‍රේල් 17 සිට මැයි 1 වන දා දක්වා විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

2006 වර්ෂයේදී අගෝස්තු 12 වන දා ද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගී වූවන් සඳහා ද දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත.

2009 වසරේ නොවැම්බර් මාස 13 වන දා මියන්මාර ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම සිහිපත් කරමින් ද දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

අනතුරුව 14 වන අන්තර්ජාතික වෙසක් දින උත්සවය මෙරට පැවති අවස්ථාවෙදී විදේශීය දූත පිරිස උදෙසා 2017 මැයි 14 වන දිනය ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත.

ඊට අමතරව රාජ්‍ය නායකයින් ආදී සුවිශේෂිත වූ පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී දළදා වහන්සේ ප්‍රදර්ශනය කර තිබේ.

'දළදා වහන්සේ වීදුරු කරඬුවක තැන්පත් කරලා එළියට වැඩම කරවනවා'

වසර 16කට පසුව පැවැත් වෙන 'දළදා දැක්ම' මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන "ඉතා දුර්ලභ අවස්ථාවක්" බව ශ්‍රී දළදා මාලිගාවේ 18 වන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ නෙරංජන් විජයරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

රජවරුන් 9 දෙනෙකු දළදා වහන්සේ ආරක්ෂා කළ බව ද සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ, එම රජවරුන් අතර නායක්කාර රජවරුන් 4 දෙනෙකු සිටි බව ද සඳහන් කරමිනි.

"පළමු විමලධර්මසූරිය රජතුමා, සෙනරත් රජතුමා, දෙවන රාජසිංහ රජතුමා, දෙවන විමලධර්මසූරිය රජතුමා සහ නරේන්ද්‍රසිංහ රජතුමා... සිංහල රජවරුගෙන් පස්සේ නායක්කාර රජවරු 4 දෙනෙක් හිටියා. ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරු දළදාව ආරක්ෂා කළා," ඔහු පැවසීය.

හිටපු දියවඩන නිලමේවරයා පෙන්වා දුන්නේ, 1948 වසරේ සිට මේ දක්වා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ත් ඒ අනුව, දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රය ලැබෙන බව ත් ය.

ඔහු එම තනතුර කටයුතු කළ කාලය තුළ දළදා ප්‍රදර්ශනයක් අවසන් වරට පවත්වා තිබුණේ 2004 වසරේදී ය.

"මම සහ පියාගේ කාලයේ අවස්ථා 14ක දී දළදාව ප්‍රදර්ශනය කළා. මහජන සහ විශේෂ රාජ්‍ය නායකයින්ටත්. මගේ කාලයේ රටේ යුද්ධය පැවති අවස්ථාවලත් ආරක්ෂා සහිතව දළදා ප්‍රදර්ශන පැවැත්වුවා," හිටපු දියවඩන නිලමේවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

1998 වසරේ ශ්‍රී දළදා මාලිගය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමට පෙර, එනම් 1995 වසරේදී ද දළදා ප්‍රදර්ශනක් පැවැත්වූ ඔහු සඳහන් කළේ ය.

දළදාව ප්‍රදර්ශනය කෙරෙන ආකාරය පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසුවේ; "දළදා වහන්සේ අපි එළියට වැඩම කරවනවා වීදුරු කරඬුවක තැන්පත් කරලා, වීදුරු කරඬුවේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ."

"කරඬු 7ක් ඇතුළේ තමයි දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මාලිගාවේ. ඉතින් ඒ කරඬු 7 රජවරු පූජා කරලා තියෙන කුණ්ඩලාභරණ, මාල, මහජනයා පූජා කළ මාලා තැන්පත් කරලා තියෙනවා. ඒවා සියල්ල ම ලේඛනගත සහිතව ඉවත් කරලා, කරඬු 7 විවෘත කරලා, යතුරු 3ක් තියෙනවා. දියවඩන නිලමේ ගාව, මල්වතු-අස්ගිරි මහා නායක හාමුදුරුවන්ගේ යතුරු. ඒ යතුරු තුනෙන් ම තමයි කරඬු 7 විවෘත කරන්න පුළුවන් වෙන්නේ. තනියෙන් කාටවත් විවෘත කරන්න බැහැ. තුන් දෙනා ම එකතු වෙන්නත් ඕනේ, තුන් දෙනාගේ ම අනුමැතියට යටත්ව තමයි ඒ චාරිත්‍රය සිදු කරන්නේ," ඔහු පැහැදිලි කළේය.

මීට පෙර වසර කිහිපයකට වරක් දළදා ප්‍රදර්ශන සිදු කෙරුණ ද මෙවර වසර 16ක පසු එය සිදුවන බැවින් "තදබදයක් ඇතිවීමේ අවදානමක්" ඇති බව දියවඩන නිලමේවරයා පෙන්වා දුන්නේ ය.

"මම හිතන්නේ දළදා වහන්සේ හුඟ දෙනෙකුට අවුරුදු ගාණක් බලා ගන්න බැරි වුණා. මොක ද ඉස්සර අවුරුදු දෙක තුනකට සැරයක් ප්‍රදර්ශනයක් අපි තියනවා. එතකොට තදබදයක් ඇති වෙන්නේ නැහැනේ. එතකොට අර පෙරහැර කෙරෙනවා වගේ සම්ප්‍රදායානුකූලව මහ ජනයාට වැඳ ගන්න පහසුකම් අපි යොදනවා.

"අවුරුදු 16කින් පෙන්නලා නැහැනේ. ඉතින් ඒ නිසා විශාල තදබදයක් ඇති වේවි කියලා මම හිතනවා. මේක ඉතා ම දුර්ලබ අවස්ථාවක් මහ ජනතාවට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබෙන. මොකද කරඬුව වුණත් විවෘත කරන්නේ අවුරුදු 16කට පස්සේ නේ," ඔහු වැඩිදුරටත් බීබීසී සිංහල සමග පැවසීය.

දළදා ප්‍රදර්ශනය ගැන විවිධ අදහස්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැදිහත් වීමෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් මීට පෙර සිට සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය.

මෙවර දළදා ප්‍රදර්ශනය ඇරඹෙන දිනට පෙර සිට ම ඇතැම් ජනතාව මහනුවර නගරය වෙත පැමිණ සිටි බව දැකගත හැකි විය.

ඒ අනුව, දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, එනම් අප්‍රේල් 17 වන දා ඒ වෙත පැමිණ සිටි ජනතාව මෙලෙස අදහස් පළ කළේ ය.

"කලින් ආවේ සෙනග වැඩියි, බලන්න බැරි වේවි. ඒ තරම් සෙනගක් දැනට ඉන්නවා. ඒක නිසා තමා අපි කලින් ආවේ," එහි පැමිණ සිටි කාන්තාවක බීබීසී සිංහල වෙත පැවසුවා ය.

තම දරුවන් ද සමග පැමිණ සිටි කාන්තාවක පැවසුවේ, දළදා වහන්සේ දරුවන්ට පෙන්වීමේ අරමුණින් ඔවුන් මෙහි පැමිණි බව ය.

"මම ආවේ මල්වානේ කලුකොඳයාවේ ඉඳලා. ධාතූන් වහන්සේ වන්දනා කර ගන්න මැරෙන්න ඉස්සෙල්ලා. හරි සතුටු වුණා ජනාධිපති තුමා මේ ප්‍රදර්ශනය කරනවා කිව්වා ම. ඉතින් එතුමාට බොහෝ ම පිං," තවත් වැඩිහිටි වියේ පසුවන කාන්තාවක පැවසුවා ය.

කණ්ඩායමක් ලෙස දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණ සිටි තවත් අයෙක් පැවසුවේ: "අපි කණ්ඩායමක් විදිහට ආවේ. ශ්‍රද්ධාව වැඩිකම හින්දා වන්දනාව හෙට තිබ්බත් අපි අද දවසේ ආවා 40ක විතර කණ්ඩායමක් මේ ස්ථානයට."

"මතුගම ඉඳලා ආවේ, තනියම. ගොඩාක් පිං සිද්ධ වෙනවා දෑස පියවෙන්න ඉස්සෙල්ලා ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමේ භාග්‍ය උදා කර දීම ගැන," තවත් කාන්තාවක පැවසුවා ය.

දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වීම පිළිබඳව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් හිටපු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මෙලෙස පැවසීය; "වර්තමාන ජනාධිපතිතුමා ඒ දවස්වල කියලා තියෙනවා, තක්කඩියාගේ අවසාන නවාතැන පන්සලයි කියලා. එතකොට ආගම ධර්මයට මුවා වෙලා, ආගම ධර්මය බිලි දීලා රාජ්‍ය පාලනයක් කරනවා නම්, ඒක තමයි කරන්න පුළුවන් ලොකු ම වැරැද්ද."

මීට පෙර බීබීසී සිංහල පළ කළ ලිපියක් සඳහා අදහස් දක්වමින් පූජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කළේ, "දළදා වහන්සේ මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමේ අරමුණ වන්නේ, වත්මන් රජයේ අසාර්ථකත්වය පිළිබඳ ජනතා අදහස් වෙනත් දෙසකට යොමු කිරීම" බව ය.

කෙසේ වෙතත්, එම ලිපිය සඳහා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඇය පැවසුවේ, "වසා ගැනීමට තරම් ආණ්ඩුවේ අසාර්ථකත්වයක් නොමැති," බව ය.