ආගමික ස්ථානවලට තවමත් හමුදා ආරක්ෂාව ලබා දෙන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, ආගමික ස්ථානවලට යොදවා තිබූ ආරක්ෂාව අඩු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වීමත් සමග ය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය ඒකකය ඉරිදා (නොවැ: 03) පස්වරුවේ හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.

එහිදී, හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කළේ, ආගමික ස්ථානවලට දී ඇති ආරක්ෂාව ඉවත් කර ඇතැයි පළ කර ඇති ප්‍රකාශ සාවද්‍ය ඒවා බව ය.

ආගමික ස්ථාන සඳහා යොදවා ඇති හමුදා සාමාජිකයින් සංඛ්‍යාව

මේ වන විට යුද්ධ හමුදාව බෞද්ධ විහාරස්ථාන 89කට ආරක්ෂාව ලබා දී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ ය.

ඒ සඳහා අනුයුක්ත කර ඇති හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 1584 දෙනෙකි.

කෙසේ වෙතත්, එලෙස අනුයුක්ත කර ඇති සාමාජිකයින් කාර්යයන් දෙකක් යටතේ අනුයුක්ත කර ඇති බව ද එහිදී අනාවරණය විය.

ඒ අනුව, විහාරස්ථානවල ආරක්ෂාව සඳහා හමුදා සාමාජිකයින් 364 දෙනෙකු සහ විහාරස්ථානවල ඉදිකිරීම් කටයුතු සඳහා 1220 දෙනෙකු යොදවා තිබේ.

පළාත් 9ට අයත් දිස්ත්‍රික්ක 16ක විහාරස්ථාන 89කට මෙලෙස ආරක්ෂාව සලසා ඇත.

මේ අතර, ක්‍රිස්තියානි සහ මුස්ලිම් දේවස්ථාන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍යතාව මත යොදවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

“ඒ ආගමික ස්ථානවල ආගමික උත්සව තියෙන අවස්ථාවලදී අපි ආරක්ෂාව සපයනවා. විශේෂයෙන් පාස්කු දවස්වලට ලංකාව පුරා ම තියෙන ක්‍රිස්තියානි දේවස්ථානවලට ආරක්ෂාව සැපයීම සිදු කරනවා. ඊට පස්සේ ඒ කාල සීමාවෙන් පස්සේ ඉවත් කරනවා.”

‘වැරදි තොරතුරක්’

ආගමික ස්ථානවලට සපයා ඇති ආරක්ෂාව අඩු කිරීමට තීරණය කර ඇතැයි යන්න “වැරදි තොරතුරක්” බවත්, “එවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ නොකළ යුතු බවත් හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර පොලිසිය ද පැවසුවේ, ආගමික ස්ථානවලට සපයා ඇති ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන නොමැති බව ය.

ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත මේ අවස්ථාවේ තමන් සතුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.

විහාරස්ථානවලට ආරක්ෂාව සපයන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් පැවති සමයේ සහ පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා ආරක්ෂක සාමාජිකයින් යෙදවිණි.

ඊට අමතරව, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ආගමික ස්ථානවලට ද ආරක්ෂාව සපයා තිබේ.

කෙසේ වෙතත්, තවදුරටත් ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ඇතැම්හු විරෝධය පළ කරති.

විහාරස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද අදහස් පළ කර තිබිණි.

ආගමික ස්ථානවලට ආරක්ෂාව දීමේ ක්‍රමවේදය කුමක් ද?

හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසන පරිදි, ආරක්ෂාව අවශ්‍ය බව සිතන යම් ආගමික ස්ථානයක් ඒ සම්බන්ධයෙන් ආගමික කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතු ය.

ඒ අනුව, එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ආගමික කටයුතු අමාත්‍යංශයේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යංශය විග්‍රහ කිරීමක් සිදු කරයි.

අදාළ ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයෙන්නේ, අදාළ විග්‍රහ කිරීමේදී ආරක්ෂාව ලබා දිය යුතු බවට නිර්දේශයක් ලැබුණොත් පමණි.

“කාලෙන් කාලෙට ආරක්ෂක විග්‍රහයන් කරනවා. ඒ විග්‍රහයන් ගැන යුද්ධ හමුදා මූලස්ථානයට නිර්දේශ ලබා දෙනවා. ඒ අනුව තමයි අපි ආරක්ෂාව අඩු කිරීමක් කරනවා නම් කරන්නේ,” හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වෙතත්, ආගමික කටයුතු අමාත්‍යංශයේ වත්මන් ලේකම් රංජිත් ආරියරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ප්‍රකාශ කළේ, තමන් වැඩ භාර ගත් පසු එවැනි කිසිදු ඉල්ලීමක් නොලැබුණු බව ය.

‘හමුදා සාමාජිකයින් සංඛ්‍යාව අඩු වෙමින් තිබෙනවා’

මේ වන විට විශ්‍රාම ගැනීම් සහ නව බඳවා ගැනීම් ක්‍රමවේදය ඔස්සේ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව අඩු වෙමින් තිබෙන බව ද මෙහිදී හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළේ ය.

“යුද්ධ හමුදාවේ ස්ට්‍රෙන්ත් එක අඩුවෙමින් පවතිනවා. නමුත්, විශේෂයෙන් අපි අඩු කිරීමක් කරන්නෙ නෑ. ඒක වෙන්නෙ, විශ්‍රාම යන ප්‍රමාණයට අනුව බඳවා ගැනීම් වෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් මේ අවුරුද්ද ගත්තොත් නිත්‍ය බලසේනාවට බඳවා ගන්නේ 3000යි. ස්වේච්ඡා සේවාවට බඳවා ගන්නෙ 1000යි. එකතුව වෙන්නෙ 4000යි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් විශ්‍රාම යනවා. ස්වාභාවිකව අඩු වීමක් තමයි වෙන්නේ. 2030 වෙනකොට 120,000ක් විතර ස්ට්‍රෙන්ත් එකකට යුද්ධ හමුදාව පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට 143,000ක් ඉන්නවා.”