අයින්ස්ටයින්ගේ විශ්වය පිළිබඳ සිද්ධාන්තයට අභියෝග කරන අඳුරු ශක්තිය ගැන පර්යේෂණ

A collection if galaxies in space of various sizes and shapes.

ඡායාරූප මූලාශ්‍රය, ESA

ඡායාරූප ශීර්ෂ වැකිය, චක්‍රවාට එකිනෙකින් ඈත් කරන ශක්තියෙහි හැසිරීම විය යුතු ආකාරයෙන් සිදු නොවේ
    • Author, පල්ලබ් ගෝෂ්
    • Role, විද්‍යා වාර්තාකරු

විශ්වයෙහි ප්‍රසාරණය වීම පිටුපස තිබෙන අඳුරු ශක්තිය (Dark Energy) නමැති ගුප්ත බලවේගය කාලයත් සමග වෙනසකට ලක් විය හැකි බවට විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

මුල් අවදියේ පවතින මෙම සොයාගැනීම දැනට පිළිගැනෙන, ඇල්බට් අයින්ස්ටයින් ප්‍රමුඛව අතීතයේ විසූ විද්‍යාඥයින් ඉදිරිපත් කළ මතයට පටහැනි වෙයි.

මෙම ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා තවත් දත්ත අවශ්‍ය වන නමුත් පර්යේෂණයට සම්බන්ධ වී සිටින විද්‍යාඥයින් අතර මේ ගැන ඇති උද්යෝගය වර්ධනය වෙමින් පවතී.

ඔවුන්ගෙන් සමහරෙකු විශ්වාස කරන්නේ, කාලය හා අවකාශයේ ස්වභාවය ඇතුළුව විශ්වය පිළිබඳ අපගේ අවබෝධය පිළිබඳ නැවත සිතීමකට බල කෙරෙන ආකාරයේ තාරකා විද්‍යාව පිළිබඳ ඉතා වැදගත් සොයාගැනීමක් ආසන්නයේ තමන් සිටින බව ය.

පර්යේෂණයට සම්බන්ධව සිටින ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය ඕෆර් ලහව් වැනි වඩාත් අතිශය අවධානයෙන් ක්‍රියා කරන සහ සම්මානනීය පර්යේෂකයින්ගෙන් සමහරෙක් පවා ගොඩනැගෙන සාධකවල බලපෑමට ලක්ව සිටිති.

"ඒක උද්වේගකර අවස්ථාවක්," යනුවෙන් ඔහු බීබීසී පුවත් වෙත පැවසීය.

"විශ්වය ගැන පවතින අපගේ අවබෝධය වෙනසකට ලක් වීමක් අප අත්දකිමින් සිටිනවා වෙන්න පුළුවන්."

වසර 1998දී අඳුරු ශක්තිය සොයා ගැනීම පවා ඉමහත් පුදුමය දනවන්නක් විය. එතෙක් පැවති මතය වූයේ, විශ්වයේ උපතට හේතුකාරක වූ මහා පිපිරීමට (Big Bang) පසුව ගුරුත්ව බලය හේතුවෙන් එහි විකාශය මන්දගාමී වූ බව ය.

සත්‍ය වශයෙන් ම එම ක්‍රියාවලිය වේගවත් වෙමින් තිබෙන බවට ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත. එය මෙහෙයවන බලය කුමක්දැයි යන්න පිළිබඳව එම විද්‍යාඥයින්ට කිසිදු අදහසක් නොතිබූ අතර, ඊට අඳුරු බලය ශක්තිය නම දුන්නේ ඒ පිළිබඳව ඔවුන්ට ඇති අනවබෝධය පෙන්නුම් කරමිනි.

A blue telescope inside a dome. It consists of a square base on which sits a circular ring from which a thick cream coloured antennae protrudes.

ඡායාරූප මූලාශ්‍රය, DESI

ඡායාරූප ශීර්ෂ වැකිය, අඳුරු ශක්ති වර්ණාවලීක්ෂ උපකරණයේ 5,000ක් පමණ වන ෆයිබර් ඔප්ටික්ස් කුඩා දුරේක්ෂ ලෙසට ක්‍රියා කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විද්‍යාවේ පවතින විශාලතම අබිරහසක් වන අඳුරු ශක්තිය යන්න කුමක්දැයි අප නොදන්නා නමුත්, එහි ප්‍රමාණය මැන බැලීමේ හැකියාව මෙන් ම, විශ්වයේ අතීත අවස්ථාවලදී පැවති චක්‍රවාට එකිනෙකින් ඈත්ව යාමේ වේගයන් නිරීක්ෂණය කර එහි ඇතිවන වෙනස නිගමනය කිරීමේ හැකියාව ද තාරකා විද්‍යාඥයින්ට තිබේ.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමේ අදිටනින් පර්යේෂණ කිහිපයක් ම පැවැත්වුණු අතර, ටක්සන් ඇරිසෝනා ආසන්නයේ පිහිටි කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයේ ස්ථාපනය කළ අඳුරු ශක්ති වර්ණාවලීක්ෂ උපකරණය (Dark Energy Spectroscopic Instrument - DESI) ඉන් එකක් වෙයි. එකිනෙක රොබෝවරුන්ගේ මාර්ගයෙන් පාලනය කළ හැකි දුරේක්ෂ ලෙසින් ක්‍රියා කරන ෆයිබර් ඔප්ටික්ස් 5,000කින් සමන්විත වන එයට, ඉතාමත් වේගයෙන් චක්‍රවාට සුපිරික්සීමේ හැකියාව පවතී.

පසුගිය වසරේදී DESI පර්යේෂකයින්ට ලැබුණු සංඥාවන්ගෙන් කියැවුණේ, අඳුරු ශක්තියෙන් පිටකෙරෙන බලය කල්ගත වද්දී වෙනස් බව බවයි. එසේ දැක්වෙන තිත දත්තවල දෝෂයක් යැයි ද, එය මගහැරී යනු ඇතැයි ද බොහෝ විද්‍යාඥයින්ගේ විශ්වාසය විය.

එනමුත්, වසරක කාලයක් ගතවූ පසුව එම තිත වැඩි විශාලත්වයෙන් දර්ශනය වන්නට විය.

"තිබුණාටත් වඩා එය දැන් බලවත් වෙලා," යැයි පෝර්ට්ස්මවුත් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂේශාද්‍රි නඩතූර් පවසයි.

"මුල් අවුරුද්දටත් වඩා වැඩියෙන් අතිරේක පරීක්ෂාවන් බොහෝමයක් අපි සිදු කළා. ඒවායින් අපට නිශ්චිතවම පෙන්වා දෙන්නේ, සිදුවිය හැකි යැයි කළින් නොසිතූ අප නොදන්නා බලපෑමකින් එය සිදු නොවන බවයි."

අරුම පුදුම ප්‍රතිඵල

නව සොයාගැනීමක් දැක්වෙන ආකාරයේ දත්ත ලෙසට ඒවා මෙතෙක් තීරණය වී නොමැති නමුත්, ස්කොට්ලන්තයේ රාජකීය තාරකා විද්‍යාඥවරියක හා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කැතරින් හේමන්ස් ඇතුළු බොහෝ තාරකා විද්‍යාඥයින් පවසන්නේ, ඒවා බරපතළ ආකාරයෙන් තමන් සලකා බලන බවයි.

"අඳුරු ශක්තිය අපි සිතුවාටත් වඩා අරුම පුදුමයි වගේ," යනුවෙන් ඇය බීබීසී පුවත් වෙත කියා සිටියාය.

"2024දී ඒ දත්ත අලුත් ම ඒවා වුණා. කවුරුවත් ඒවා ගැන සහතික වුණේ නැහැ. අපි හිතුවේ තවත් වැඩ කරන්න ඕනෑ කියලා."

"නමුත්, දැන් තවත් දත්ත තියෙනවා. විද්‍යාඥ ප්‍රජාව ඒවා වඩාත් සියුම්ව නිරීක්ෂණය කළා. ඒ තිත මැකී යන්න ඉඩක් තිබුණත්, අපි විශාල සොයාගැනීමක් ආසන්නයේ ඉන්නා බව වුණත් වෙන්න පුළුවන්."

A graphic of a space telescope in the foreground taking data from hundres of galazies in the background. Euclid has a rectangular grey base on whihc sits a smaller grey rectangular box and on top of tha tis a cylindircal object. On one side are solar panels and a gold foil heat shield

ඡායාරූප මූලාශ්‍රය, ESA

ඡායාරූප ශීර්ෂ වැකිය, අඳුරු ශක්තියේ හැසිරීම පිළිබඳව යුරෝපයේ ඉයුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂය ද දත්ත එක්රැස් කරනු ඇත

එසේ නම්, මෙම වෙනසට හේතුව කුමක් ද?

"කවුරුවත් දන්නේ නැහැ," යැයි මහාචාර්ය ලහව් පිළිගනී.

"මේ අලුත් ම ප්‍රතිඵලය නිවැරදි නම්, මේ වෙනස් වීමට හේතුව සොයාගැනීමට අපට අවශ්‍යයි. ඒකෙන් කියන්නේ, මේක අලුත් ම න්‍යායක් වෙන්න පුළුවන් කියලා. ඒක ගොඩක් සතුටුදායකයි."

DESI විසින් ඉදිරි වසර දෙකක කාලයේදී තවදුරටත් දත්ත එක්රැස් කරනු ඇත්තේ, චක්‍රවාට හා අනෙකුත් දීප්තිමත් වස්තූන් මිලියන 50ක් පමණ සොයාබලා තම නිරීක්ෂණ කිසිදු සැකයකින් තොරව නිවැරදි බවට තීරණය කිරීමේ අරමුණෙනි.

"තමන් ක්‍රියා කරන හැටි කියා දෙන්න අපි විශ්වයට ඉඩ දෙන්න යනවා. සමහර විට එය අපට කියන්නේ, එය අපි හිතුවාටත් වඩා පැටලිලිසහගත බවක් වෙන්න ඕනෑ," යැයි කැලිෆෝර්නියාවේ ලෝරන්ස් බර්කලි ජාතික පරීක්ෂණාගාරයේ පශ්චාත් උපාධි පර්යේෂක ඇන්ඩෙයි කුසෙව් කියා සිටී.

DESI විසින් කරනු ලැබූ නිරීක්ෂණයන් වඩාත් ඉදිරියට ගෙනයමින් අඳුරු ශක්තියේ ස්වභාවය පිළිබඳව තවදුරටත් වැඩිමනක් තොරතුරු එක්රැස් කිරීම යුරෝපා අභ්‍යවකාශ කාර්යංශයේ European Space Agency's (ESA) ඉයුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකරනු ඇත. 2023දී දියත් කරනු ලැබූ එම දුරේක්ෂයෙන් ලබාගත් නවතම දර්ශන ESA විසින් පසුගිය දා නිකුත් කළේය.

එක්සත් රාජධානියේ ඩරම්, UCL සහ පෝර්ට්ස්මවුත් විශ්වවිද්‍යාලය ද ඇතුළුව ලොව පුරා ආයතන 70කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන පර්යේෂකයින් 700 දෙනෙකුට වැඩි පිරිසක් DESI විසින් සිදුකරන පර්යේෂණවලට සහභාගීව සිටිති.