මිනිසුන්ට සිටිය හැකි ගුහාවක් සඳ මතින් සොයා ගැනේ

A picture of the Moon's surface with an opening called a "lunar pit"

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවැනි "චන්ද්‍ර වලවල්" ගුහා පිවිසුම් විය හැකි බවට විද්‍යාඥයන් අනුමාන කර තිබේ - දැන් ඔවුන් සතුව සාක්ෂි තිබේ.
    • Author, ජෝර්ජිනා රැනර්ඩ්
    • Role, විද්‍යා වාර්තාකරු

විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සඳ මතින් ගුහාවක් සොයා ගනු ලැබ තිබේ.

අවම වශයෙන් මීටර් 100ක් පමණ ගැඹුරකින් යුත් එය මිනිසුන්ට ස්ථිර ජනාවාසයක් ගොඩනගා ගැනීමට සුදුසු ම ස්ථානයක් විය හැකි බවට ඔවුහු පවසති.

පර්යේෂකයන්ට අනුව, එය "භූගතව ඇති, සොයා නොගත් ලෝකයක" සැඟවී තිබෙන ගුහා සිය ගණනකින් එකක් පමණි.

සඳ මත ස්ථිර මිනිස් පැවැත්මක් ඇති කිරීමට රටවල් තරග කරමින් සිටින නමුත් විකිරණ, අධික උෂ්ණත්වය සහ අභ්‍යවකාශ කාලගුණයෙන් ගගනගාමීන් ආරක්ෂා කර ගැනීම ද ඔවුන්ගේ අවශ්‍යතාවක් වනු ඇත.

අලුතින් සොයාගත් ගුහාව ජනාවාසයක් සඳහා උචිත ස්ථානයක් ලෙස පෙනෙන බව ප්‍රථම බ්‍රිතාන්‍ය ගගනගාමියා වන හෙලන් ෂාමන් බීබීසී පුවත් සේවයට පැවසූ අතර, තවත් වසර 20-30ක කාලයකින් මිනිසුන්ට චන්ද්‍ර වළවල්වල ජීවත් විය හැකි බවට ද යෝජනා කළා ය.

එහෙත්, මෙම ගුහාව කෙතරම් ගැඹුරුද යත්, ගගනගාමීන්ට ඒ තුළට යාමට කඹයක් ද ඉන් පිටතට යාමට "ජෙට් පැක් හෝ සෝපානයක්" භාවිත කිරීමට ද සිදු විය හැකි බව ඇය පැවසුවා ය.

ඉතාලියේ ට්‍රෙන්ටෝ විශ්වවිද්‍යාලයේ ලොරෙන්සෝ බෲසෝනේ සහ ලියනාඩෝ කරර් විසින් මෙම ගුහාව සොයා ගනු ලැබුවේ, රේඩාර් ආධාරයෙන් මාරේ ට්‍රැන්ක්විලිටාටිස් (Mare Tranquillitatis) නම් පාෂාණමය තැනිතලාවක වළක් විනිවිද දැකීමෙනි.

"මාරේ" හෙවත් මුහුද වරෙක බොහෝ විට සාගරයක් වූ අතර එය පෘථිවියේ සිට පියවි ඇසට දැකගත හැකි ය. 1969 වසරේදී ඇපලෝ 11 ගොඩ බැස්සේ ද ඒ වෙත ය.

මෙම ගුහාවට සඳේ පෘෂ්ඨයේ විවරයක් ඇති අතර එය සිරස් සහ උඩින් පිහිටා ඇති බිත්ති දක්වා පහළට ගමන් කරයි. එමෙන් ම බෑවුම් සහිත පොළොව අභ්‍යන්තරය දක්වා තවදුරටත් විහිද යා හැක.

වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට පෙර එහි වූ පාෂාණමය තට්ටුව හරහා උමගක් නිර්මාණය කරමින් සඳ මත ලාවා ගලා ගිය අවස්ථාවේ සෑදෙන්නට එය ඇත.

පෘථිවියේ ඊට ආසන්න සමානකමක් පෙන්නුම් කළ හැක්කේ, ස්පාඤ්ඤයේ ලැන්සරෝතේහි පිහිටා ඇති ගිනිකඳු ගුහාවල බව මහාචාර්ය කරර් පවසන්නේ පර්යේෂකයින් ඔවුන්ගේ කාර්ය භාරයේ කොටසක් ලෙස එම ගුහා වෙත ගිය බව ද සඳහන් කරමිනි.

වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට පෙර එහි වූ පාෂාණමය තට්ටුව හරහා උමගක් නිර්මාණය කරමින් සඳ මත ලාවා ගලා ගිය අවස්ථාවේ සෑදෙන්නට එය ඇත.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඒක හරි ම උද්වේගකරයි. ඔයා මේ සොයා ගැනීම් කරලා මේ පින්තූර දිහා බලද්දී, මානව ඉතිහාසයේ ඉස්සෙල්ලා ම ඒක දැකපු කෙනා ඔයා කියලා තේරුම් යද්දී," මහාචාර්ය කරර් පැවසීය.

මෙම ගුහාව කෙතරම් විශාල ද යන්න මහාචාර්ය බෲසෝනේට සහ මහාචාර්ය කරර්ට අවබෝධ වුණු පසු එය චන්ද්‍ර ජනාවාසයක් සඳහා උචිත ස්ථානයක් විය හැකි බව ඔවුහු වටහා ගත්හ.

"පෘථිවියේ ජීවය ආරම්භ වුණෙත් ගුහාවලින්, ඒ නිසා මිනිසුන්ට සඳ මතත් ඒවා තුළ ජීවත් වෙන්න පුළුවන් කියන එක තේරෙනවා," මහාචාර්ය කරර් පවසයි.

මෙම ගුහාව තවමත් සම්පූර්ණයෙන් ගවේෂණය කර නැති නමුත්, නමුත් එය සිතියම්ගත කිරීමට පොළොව විනිවිද යන රේඩාර්, කැමරා හෝ රොබෝ යන්ත්‍ර පවා භාවිත කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

මීට වසර 50කට පමණ පෙර සඳ මත ගුහා තිබූ බවට විද්‍යාඥයන් මුලදී අවබෝධ කරගෙන තිබිණි. ඉන් පසුව 2010දී Lunar Reconnaissance Orbiter නම් මෙහෙයුමකදී කැමරාවක් මගින් ගුහා පිවිසුම් විය හැකි යැයි විද්‍යාඥයන් සිතූ වළවල්වල ඡායාරූප ගැනීම සිදු විය.

නමුත් පර්යේෂකයන් මෙම ගුහා කෙතරම් ගැඹුරු විය හැකි ද, නැතහොත් ඒවා කඩා වැටේ දැයි දැන සිටියේ නැත.

ගුහාවේ සම්පූර්ණ පරිමාණය තේරුම් ගැනීමට තවත් බොහෝ දේ කළ යුතු වුව ද, මහාචාර්ය බෲසෝනේ සහ මහාචාර්ය කරර්ගේ කාර්යය දැන් එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දී ඇත.

"අපට මතුපිට ඉතා හොඳ රූප තියෙනවා - විභේදනයේ 25cm දක්වා - අපට ඇපලෝ ගොඩබෑ ස්ථානයත් දැකිය හැකි යි - නමුත් මතුපිටට පහළින් තියෙන්නේ මොනව ද කියල අපි දන්නේ නැහැ. සොයාගැනීම් කරන්න විශාල අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා," යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Topical Team Planetary Cavesහි සම්බන්ධීකාරක ෆ්‍රැන්චෙස්කෝ සවුරෝ බීබීසී පුවත් සේවයට පැවසීය.

අනාගතයේ දී අඟහරු ග්‍රහයා මත ගුහා ගවේෂණය කිරීමට ද මෙම පර්යේෂණ උපකාරී වනු ඇතැයි ඔහු පවසයි.

එය අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමට දොර විවර කළ හැකියි. මන්ද එහි ජීවයක් පැවතියේ නම්, ඔවුන් නිසැකව ම ග්‍රහලෝකයේ මතුපිට ඇති තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ගුහා තුළට යාමට ඉඩ තිබුණු බැවිනි.

මෙම චන්ද්‍ර ගුහාව මිනිසුන්ට ප්‍රයෝජනවත් විය හැකි අතර ම විද්‍යාඥයන් අවධාරණය කරන්නේ, එය චන්ද්‍රයාගේ ඉතිහාසය සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දීමට ද උපකාරී වන බව ය.

ගුහාව තුළ ඇති පාෂාණ අභ්‍යවකාශ කාලගුණයෙන් හානියට පත් නොවන අතර ඛාදනය නොවනු ඇත. එබැවින් වසර බිලියන ගණනක් ඈතට දිවෙන පුළුල් භූ විද්‍යාත්මක වාර්තාවක් එයට සැපයිය හැකි ය.

මෙම පර්යේෂණය Nature Astronomy නම් විද්‍යා ජර්නලයේ පළ කරනු ලැබ ඇත.

ග්‍රැෆික් නිර්මාණය ජෙරී ෆ්ලෙචර් විසිනි