ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
800 චිත්‍රපටය: මුරලි පැමිණි ගමන
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රිදී තිරයට නැගෙන "800" චිත්‍රපටය ලබන මස තිරගත වීමට නියමිත ය.
ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගවල ලොව වැඩිම කඩුලුලාභියා වන මුරලිදරන් විසින් දවාගත් ටෙස්ට් කඩුලු ගණන 800ක් වීම හේතුවෙන්, ඔහුගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටය "800" යනුවෙන් නම් කරනු ලැබ තිබේ.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සැප්තැම්බර් පස්වැනිදා ඉන්දියාවේ දී එළිදැක්වූ අතර, එම අවස්ථාවට හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් වන සචින් තෙන්දුල්කාර් සහ සනත් ජයසූරිය ද මුරලිදරන් සමග එක්ව සිටියහ.
මුරලි කියන්නේ කවුද?
1972 වසරේ අප්‍රේල් මස 17 වෙනිදා මහනුවර දී සින්නසාමි මුත්තයියා සහ ලක්ෂ්මි යුවලට මුත්තයියා මුරලිදරන් උපත ලැබීය.
මුරලිදරන්ගේ පවුලේ සහෝදරයින් සිව්දෙනෙකු වන අතර, ඔහුගේ පියා බිස්කට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකු විය.
මුරලිදරන්ගේ සීයා වන පෙරියසාමි, 1920 වසරේ දී දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ. ඔහු තේ වතු කම්කරුවෙකු ලෙස ජීවිකාව ගෙනගොස් තිබේ.
පෙරියසාමි ඔහුගේ දියණියන් සමග නැවත ඉන්දියාව බලා පිටත්ව ගිය ද ඔහුගේ පුත්‍රයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කර ඇත.
මුත්තයියා මුරලිදරන්, වයස අවුරුදු නවය වන විට අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර සාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් කරනු ලැබීය.
මඳ වේග පන්දු යවන්නෙකු ලෙස පාසැල් ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රීඩා ජීවිතය ආරම්භ කළ මුරලිදරන්, වයස අවුරුදු 14 වන විට පුහුණුකරු වන සුනිල් ප්‍රනාන්දුගේ උපදෙස් මත පිට දඟ පන්දු යවන්නෙකු ලෙස මාරුවිය.
මුරලිදරන් සාන්ත අන්තෝනි විදුහලේ දී වසර හතරක කාලයක් 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අතර, 1990-91 වසරේ හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකර ගනු ලැබීය.
ජාත්‍යන්තර ක්‍රිකට් ගමනේ ආරම්භය
1992 වසරේ දී මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් වරම් උදාකර ගත්තේ ය. ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ දී ය.
1993 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගනු ලබන ඔහු, 2006 වසරේ දී නවසීලන්තයට එරෙහිව විස්සයි 20 තරග සඳහා පළමු වරට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගනු ලැබීය.
ගැටළුසහගත තීරණය
1995 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයේ දී, ඩැරල් හෙයාර් විනිසුරුවරයා මුරලිදරන් පන්දුව දමා ගසන බවට පළමු වරට චෝදනා කළේ ය.
1996 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරග වැදුණු තුන් කොන් එක්දින තරග සංචාරය අතරතුරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ දී, එරට විනිසුරුවරුන් දෙපළක් වන රොස් එමර්සන් සහ ටෝනි මැක්කුයිලන් විසින් ද මුරලි පන්දුව දමා ගසන්නෙකු බවට චෝදනා කරනු ලැබීය.
එහිදී එම විනිසුරුවරු මුරලිදරන් පන්දු යවන අවස්ථාවේ දී එම පන්දු නිපන්දු ලෙස සංඥා කරනු ලැබූහ.
මේ හේතුවෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා කටයුතු කළේ ය.
මෙනිසා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.
ඕස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් සහ මුරලිදරන් අතර වැඩිම ටෙස්ට් කඩුලුලාභියා බවට පත්වීමේ තරගයක් පවතින බව ක්‍රීඩා විචාරකයින් එම කාල සිමාවේ දී අදහස් පළ කර තිබුණි.
ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් විසින් මුරලිදරන්ට සැලසුම් සහගතව අසත්‍ය චෝදනා එල්ල කරනු ලබන්නේයැ යි මතයක් ද එවකට පැවතියේ ය.
මෙවැනි සිදුවීම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග පැවැත්වෙන සෑම අවස්ථාවක්ම ඉතා උද්වේගකර විය.
පන්දු යැවීමේ ඉරියව්ව ගැන සහතිකයක්
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම හේතුවෙන් මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ දී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීමට සිදුවිය.
ඔහු අදාළ පරීක්ෂණ සඳහා මුහුණදුන් අතර, ඔහුගේ පන්දු යවන දකුණු අතේ වැලමිටේ උපත්තියේ දී ඇතිවූ අසාමාන්‍ය පිහිටීමක් ඇතිබව එහිදී තහවුරු විය.
ඒ අනුව ඔහුට පන්දු යැවීමේ ඉරියව්ව නිත්‍යානුකූල බවට ICCය විසින් තහවුරු කෙරිණි.
මුරලි - වෝන් මිතුරුකම
2004 වසරේ ඉන්දියානු සාගරයේ රටවලට බලපෑ සුනාමි තත්ත්වයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විනාශයට පත්විය.
ක්‍රීඩාංගණය පිළිසකර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඉදිරිපත් වූයේ මුත්තයියා මුරලිදරන්ගේ ඉල්ලීම මත ය.
මුරලි දවාගත් කඩුලු සංඛ්‍යාව
මුරලිදරන් ඔහුගේ ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකර ඇති පළමු පෙළ, ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරගවල දී යවා ඇති පන්දු සංඛ්‍යාව 157,504කි.
ඔහු ටෙස්ට් තරග 133ක දී කඩුලු 800ක්, එක්දින තරග 350ක දී කඩුලු 534ක් සහ විස්සයි 20 තරග 12ක දී කඩුලු 13ක් දවාගෙන ඇත.
ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස මුරලි තබා ඇති වාර්තාව තවමත් නොබිඳී පවතියි.
මේ අතර 2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුරලිදරන් හට 'හෝල් ඔෆ් ෆේම්' ගෞරව පදවිය ද පිරිනැමීය.
නව ගමනක ආරම්භය
2011 වසරේ දී මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ඔහු අවස්ථා කිහිපයක දී විස්සයි 20 ක්‍රිකට් ලීග් තරග සඳහා ක්‍රීඩා කළේ ය.
ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මුරලිදරන් මේ වන විට පූර්ණකාලීනව ව්‍යපාරික කටයුතුවල යෙදී සිටියි.
මුරලිදරන් සහ දේශපාලනය
2020 වසරේ දී පැවති මහ මැතිවරණය සඳහා මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුරලිදරන් ප්‍රභාකරන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කළේ ය.
සහෝදරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් මෙසේ අදහස් දක්වා තිබුණි:
“මට දේශපාලනය ගැන උනන්දුවක් නැති වුණත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත මම මගේ සහෝදරයාව ඉදිරි මහ මැතිවරණය නියෝජනය කරන්න ඉදිරිපත් කරනවා."
ඔහු දේශපාලනයට අකැමති බව හා එම විෂයය ඔහුට නොතේරෙන බව මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ ය.
2019 වසරේ දී මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් "800" චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් බවට පළමු වරට නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය.
මුරලිගේ චිත්‍රපටයට බාධා
2020 වර්ෂයේ දී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
මුරලිදරන්ගේ චරිතය රඟ දැක්වීම සඳහා පළමුව තෝරා ගැනුනේ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය සේතුපති ය.
චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භයට පෙර සිට විජය සේතුපති මුරලිදරන්ගේ චරිතයට පණ පෙවීමට එරෙහිව දකුණු ඉන්දියානු දේශපාලඥයින් සහ ඇතැම් සිනමා කර්මාන්තකරුවන් දැඩි විවේචනයක් එල්ල කළේ ය.
ඒ, මුත්තයියා මුරලිදරන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතුවලට සහය දැක්වීම නිසා සහ යුද්ධයේ අවසන් සමයේ දී දෙමළ ජාතිකයින් වෙනුවෙන් පෙනී නොසිටි බවට චෝදනා කරමිනි.
එල්ලවූ විරෝධතා දිගින් දිගටම ඉහළ යාම හේතුවෙන් අවසානයේ දී විජය සේතුපති මුරලිදරන්ගේ චරිතය සඳහා රංගනයෙන් දායකවීමෙන් ඉවත් වන බවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
ඒ, මුරලිදරන් විසින් විජය සේතුපතිට එම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට දැනුම්දුන් නිසාවෙන් බව පැවසෙයි. ඔහු නිසා විජය සේතුපතිගේ චරිතයට හානියක් නොවිය යුතු බවට මුරලිදරන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ ය.
විජය වෙනුවට නව නළුවෙක්
විජය සේතුපතිගේ ඉවත්ව යෑමෙන් පසු 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන ලදී. විජය සේතුපති වෙනුවට මුරලිදරන්ගේ චරිතය රගපෑම සඳහා මධුර් මිත්තල් තෝරා ගැනුණි.
800 චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර ඇත්තේ එම්. එස්. සිරිපති විසින් වන අතර එහි රූගත කිරීම් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක දී සිදුකර ඇත.
මෙම චිත්‍රපටය ඔක්තෝම්බර් මස හයවෙනිදා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක සිනමා ශාලාවල දී තිරගත කිරිමට නියමිත ය.