කහල්ල රක්ෂිතයේ ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ සැලැස්ම ගැන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් ප්‍රතිචාර

නාමල් කරුණාරත්න

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

වැව් රක්ෂිත තුළ වැව් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පැවැති රැස්වීමක් අමතමින් කියා සිටියේ, රක්ෂිතවල සිටින සතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, කුරුණෑගල, කහල්ල රක්ෂිතයේ එවැනි වැව් 5ක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කර ඇති බව ය.

මෙහිදී ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඒ, 'කැලයේ ඇති ආක්‍රමණික ශාක වන තේක්ක, ඇකේෂියා, ටර්පන්ටයින් වැනි ගස් ඉවත් කරන' බවට ඔහු කළ ප්‍රකාශය යි.

"කුරුණෑගලට ලොකු ම කැළේ කහල්ල රක්ෂිතයේ අපි තෝරාගෙන තියෙනවා වැව් පහක් හදන්න. මේවට සල්ලි වෙන් වෙලා තියෙන්නේ. ඒ කැලේ ඇතුළේ තියෙන ආක්‍රමණික ශාක සියල්ල ම ඉවත් කරන්න. තේක්ක, ඇකේෂියා, ටර්පන්ටයින් ඔක්කොම අයින් කරනවා. අයින් කරලා කැලේ ඇතුළේ සතුන්ට උචිත කෑම වර්ග වවනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ තවත් වැව් කිහිපයක් කැලේ ඇතුළේ හදනවා. සතුන්ගෙන් ඡන්ද හම්බ වෙන්නේ නැහැ නේ. අලි දෙනව ද ඡන්දේ?, රිලවා දෙනව ද ඡන්දේ.? අපි මිනිස්සු ගැන විතරක් නෙමෙයි සතා සිව්පාවා, ගහ කොළ ගැනත් හිතල යි වැඩ කරන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ ය.

සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පරිශීලකයින් අදහස් දක්වා තිබිණි. ඔවුන් චෝදනා කර සිටියේ රක්ෂිතවල ඇති වාණිජමය වටිනාකමක් ඇති තේක්ක ගස් කපා ඉවත් කිරීමට රජය සූදානම් වන බව ය.

තේක්ක ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

තේක්ක ගස් ඇත්තට ම කපනව ද?

රක්ෂිතවල ඇති තේක්ක ඇතුළු ශාක වර්ග කිහිපයක් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයේ සත්‍යතාව කුමක් ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් විමසීමක් කළේ ය. එවිට අමාත්‍යවරයා කියා සිටියේ, තේක්ක ගස් ජල මූලාශ්‍රවලට දැඩි හානියක් සිදු කරන බව ය.

"තේක්ක වෙන ම වගාවක් විදිහට පහුගිය කාලේ ව්‍යාපෘති විදිහට සිදුකරලා තියෙනවා. රක්ෂිත තුළ තේක්ක ගහ කියන්නේ රක්ෂිතයට ගැලපෙන්නේ නැහැ. මේක පරිසර විශේෂඥයින් පවා කියන දෙයක්. ඒ ගැන අපිටත් අත්දැකීමක් තියෙනවා. තේක්ක ගහ හැදුණ ම ඒකට යටින් තණ කොළ ගහක් වත් හැදෙන්නේ නැහැ, ජල උල්පත් දුර්වල වෙනවා. තේක්ක ගස්වල සතුන්ට උචිත කෑම වර්ග හැදෙන්නේ නැහැ.''

''ඒ තත්ත්වයත් එක්ක අපිට අත්දැකීමක් තියෙනවා තේක්ක ගස් තියෙද්දී හිඳුණ ජල උල්පත් තේක්ක ගස් ඉවත් කරලා ස්වාභාවික වනාන්තරවලට ගියාට පස්සේ ඒ ජල උල්පත් නැවත සක්‍රීය වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. රක්ෂිත වනාන්තරවලට ඇත්තට ම තේක්ක ගස් උචිත නැහැ. සමහර තේක්ක වගාවන් විදිහට කරලා තියෙනවා. ඒවා වෙන ම දෙයක්.''

''හැබැයි රක්ෂිත ගත්ත ම ඒවායේ ඉන්න සතුන්ට සහ ජල පෝෂක තත්ත්වය වර්ධනය කරන්න අවශ්‍ය ගස් තමයි කැලෑ තුළ තියන්න ඕන. කහල්ල රක්ෂිතය ගත්ත ම අපි ක්ෂේත්‍ර චාරිකා කිහිපයක් ම කළා. මේක වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු පරිසරයට සම්බන්ධ දෙපාර්තමේන්තු අනුමත කරලා තියෙනවා තේක්ක ඇතුළු මේ ගස් ඉවත් කරන්න ඕන කියලා.''

''පහුගිය කාලයේදී කහල්ල රක්ෂිතයේ තේක්ක ගස් ඉවත් කරලා තියෙනවා. ඒ ගස් ඉවත් කළත් තේක්ක ගස්වල මුල් තියෙනවා. ඒවත් ඉවත් කරන්න ඕන. දැව සංස්ථාව යි. වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව එකතු වෙල යි මේ දේ කරන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

කහල්ල රක්ෂිතයේ ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook

'ක්‍රමානුකූලව සිදුකරන්න ඕන දෙයක් මේක'

මෙලෙස වන රක්ෂිතවල ඇති ශාක ඉවත් කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පරිසරවේදීන්ගෙන් ද කරුණු විමසීමක් කළේ ය. එහිදී ඉඩම් සහ කෘෂිකර්ම ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පළ කළ අදහස් මෙසේ ය.

"ඇත්තට ම තේක්ක ගස් අයින් කරලා එහෙම දෙයක් කරන එක හොද යි. හැබැයි ඒක ක්‍රමානුකූලව දැව සංස්ථාව හරහා සිද්ධ වෙන්න ඕන. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒක කරන්න ඕන. මොක ද ඒක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි කහල්ල පල්ලකැලේ අභය භුමිය පාලනය වෙන්නේ. ඒ හින්දා ඒක නිවැරදි ක්‍රියාවලීන්ට අනුව කෙරෙන්න ඕන. එහෙම නැත්නම් ඒක තව ප්‍රශ්නයකට හේතුවක් වෙනවා.''

''මේක ඇත්තට ම කරන එක හොදයි, මොක ද අපි මේක අවුරුදු ගාණක ඉඳලා යෝජනා කරපු එකක්. මේකට හේතුව තම යි කහල්ල රක්ෂිතයේ ගොඩක් තේක්ක වගාවන් තියෙනවා. මේ කලාපය අලින්ගෙන් තොර කලාපයක්. මේක විතරක් නෙවෙයි කහල්ල රක්ෂිතයේ තවත් ගැටලු ගොඩක් තියෙනවා. හක්වටුනා වැව් ඉහත්තාවේ සමහර නීතිවිරෝධී දේවල් තියෙනවා. ඒවා ඉවත් කරන්න ඕන," ඔහු පැවසුවේ ය.

ඉකුත් අගෝස්තු මාසයේදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කහල්ල රක්ෂිතයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

'මට නම් පේන්නේ මේක බිස්නස් එකක් කියලා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ, වන රක්ෂිතවල ගස් ඉවත් කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකළ යුතු බව ය.

තේක්ක ගස් ආදිය ඉවත් කිරීමට දේශපාලනය සම්බන්ධ වෙනවා නම් එය ව්‍යාපාරයක් බවට පෙනී යන බව ද ඔහු චෝදනා කළේ ය.

"දේශපාලකයින්ට බලතල නැහැ නේ රක්ෂිතවල ගස් ඉවත් කරන්න. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිතයක නම් ඒ ගැන තීරණය ගන්න ඕනේ ඒ දෙපාර්තමේන්තුව. ඒ වගේ ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිතයක් නම් ඔවුන් තමයි තීරණය ගන්න ඕන. ආවට ගියාට ගස් ඉවත් කිරීම කරන්නේ බැහැ.''

''ඒ සම්බන්ධයෙන් පරිසර ශක්‍යතා වාර්තාවක් ගන්න අවශ්‍ය වෙනවා වගේ ම ඒක ක්‍රමානුකූලව සිදුකරන්න ඕන දෙයක්. උදාහරණයක් හැටියට උඩවලව රක්ෂිතයේ තේක්ක ගස් ඉවත් කළා. ඒ කළේ ක්‍රමානුකූලව පරිසර අධ්‍යනයකින් පසුව යි.''

''පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ රජයේ ආයතන එකතු වෙලා මේ වගේ දේවල් ගැන තීරණය කරන්න ඕන. එහෙම නැතිව දේශපාලනික වශයෙන් ගන්න ගියා ම ඒවා බිස්නස් වෙන්න පටන් ගන්නවා. මට නම් පේන්නේ මේ තේක්ක ගස් ඉවත් කරනවා කියලා කියන්නේ බිස්නස් එකක් කියලා.''

''ඉදිරියේදී තබ්බෝව වැව් රක්ෂිතයේ අලින්ට සුදුසු ආහාර වගේ ම ගැවසෙන්න සුදුසු ස්ථාන හදනවා කියලා ව්‍යාපෘතියක් කරන්න යනවා කියලා කියනවා. මීට කලින් කලා වැව් රක්ෂිතයේ මේ වගේ දෙයක් කළා. මේ දේවල් සිද්ධ කරන්න ඕන අදාළ රජයේ ආයතනවලින් අවසර අරන්. මොක ද අපි ඔක්කොම දන්න දෙයක් තමයි, අද වෙද්දී සතුන්ට සුදුසු පරිසර කලාප නැහැ කියන එක. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ බලයෙන් ක්ලීන් - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියලා මේ වගේ දේවල් කරන්න බැහැ.''

''මම දැක්කා නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා මේ තේක්ක ඇතුළු ගස් ඉවත් කරන්න ඕන කියලා. මේවා විද්‍යාත්මකව ගත යුතු තීරණ මිසක් දේශපාලනිකව ගන්න ඕන තීරණ නෙමෙයි. විශාල වැරදි පාරක දේශපාලනිකයින් මේවා අරන් යනවා. ලංකාවේ පිළිගත් නීතියට අනුව මේවා සිදුකරනවා නම් හොදයි.''

''ගෝඨාභය රජය සමයේ කරපු ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ එක් එක් ආයතනවලට පරිසරයට සම්බන්ධ තීරණ ගන්න උපදෙස් දීලා අන්තිමේදී ලංකාවේ රක්ෂිත ගොඩක දැවැන්ත විනාශයක් සිද්ධ වුණා. ඉතින් මේ රජයත් ඒ පාරේ ම නම් යන්නේ අපිට විධායකය, ව්‍යවස්ථාදයකයේ උදව් නැත්නම් අපිට රටේ නීතිය ඉදිරියට ගිහින් සහය පතන්න සිද්ධ වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.