මෝදිට පූර්ණ බහුතරය දිනා ගැනීමට නොහැකි වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, AFP
බලාපොරොත්තු වූවාට වඩා තියුණු මහ මැතිවරණයකින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තෙවැනි වරටත් ජයග්‍රහණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පාලක එන්ඩීඒ සන්ධානය මේ වන විට ආසන 274ක් දිනා ගෙන ඇත.
ඒ රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව හිමිකර ගනිමින්ය.
භාරතීය ජනතා පක්ෂයට තනිව දිනා ගැනීමට හැකි වූ ආසන සංඛ්‍යාව 228 කි.
පාලක සන්ධානයට අයත් තෙලිඟු දේශසම් පක්ෂය ආසන 12ක්, ජනතා දාල් (එක්සත්) පක්ෂය ආසන 12ක්, ලෝක් ජනශක්ති පක්ෂය ආසන 5ක් සහ ජනතා දාල් පක්ෂය ආසන 12ක් ජය ගෙන ඇත.
එමෙන්ම විපක්ෂ වූ ඉන්දීය සන්ධානයට ආසන 193ක් හිමිව තිබේ.
කොංග්‍රස් පක්ෂ ආසන 88ක් දිනා ඇති අතර සමාජවාදී පක්ෂය ආසන 36ක්, ට්‍රනමූල් කොංග්‍රසය ආසන 29ක්, DMK පක්ෂය ආසන 15ක්, ශීව් සේනා පක්ෂයට ආසන 7ක්, ෂාරද් පවර්ගේ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ආසන 4ක්, යුවජන ශ්‍රමික රයිතු කොංග්‍රස් පක්ෂයට ආසන 4ක් හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ආසන 4ක් ජය ගෙන ඇත.
මෙවර ඉන්දීය මැතිවරණයෙන් කැපී පෙනෙන කාරණයක් වූයේ මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට එහි සම්පූර්ණ පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමය.
මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ මැතිවරණ ව්‍යාපාරයේදී අගමැති මෝදි විසින්ම තබා ගත් ආසන 400 ඉලක්කයට වඩා බෙහෙවින් අඩු ආසන සංඛ්‍යාවකි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් අගමැති මෝදි තවත් ජනවරමක් ලබා දීම පිළිබඳ ඡන්ද දායකයින්ට ස්තූතිය පළ කළ අතර දුප්පත්කම තුරන් කරන බව ද අවධාරණය කළේය.
ඒමෙන්ම ඔහුගේ කතාවේදී ඔහු ඡන්දදායකයින්ට පැවසුවේ තම තුන්වන ධූර කාලය තුළ "මුලුමනින්ම" දූෂණය තුරන් කිරීම සඳහා "සියලු පියවර" ගන්නා බවය.
ශ්‍රී ලංකාවෙන් සුබ පැතුම්
ඉන්දීය මහ මැතිවරණයෙන් අඛණ්ඩව තෙවන වරටත් ජයග්‍රහණය ලද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිය සුභාශිංසන එක් කරන ලදී.
ඇතැම් ඡන්ද දායකයින් මෝදි ප්‍රතික්ෂේප කළේ ඇයි ? බීබීසී ඉන්දියානු වාර්තාකරුවන් කියන්නේ කුමක්ද?
නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක සන්ධානය ඉන්දීය මහා මැතිවරණයෙන් ආසන 543 න් 400 ක් දිනා ජයග්‍රහණය ලබා ගැනීමට ඉලක්ක කරන විට ඊට සමච්චල් කළ පිරිසක් ද සිටියහ.
දශකයකට පෙර බලයට පත් වූ දා සිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය බොහෝ දුරට නවතාලිය නොහැකි බලවේගයක් බවට පත්විය.
නමුත් නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නායකත්වයෙන් යුත් සන්ධානය බහුතර බලයක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් කළ ද, ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන විට ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් අපේක්ෂා කළ ජයග්‍රහණයට ළඟාවීමට නොහැකි විය.
මෝදිගේ ජයග්‍රහණය බලාපොරොත්තු වූ ප්‍රමාණයේ ප්‍රතිඵලයකට නොපැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින බීබීසී වාර්තාකරුවන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරයි, එම ප්‍රතිඵලය මගින් ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ඉදිරියට ගෙන යාමට අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පහතින් දැක්වේ.
'හින්දු ආගම' ප්‍රචාරක මෙවලමක් ලෙස භාවිත කිරීම
ආගම යන්න සෑම ඉන්දියානු මැතිවරණයකදීම ප්‍රධාන සාධකයක් වන අතර මෙවර ද එය වෙනස් නොවීය.
ඉකුත් ජනවාරි මාසයේදී නරේන්ද්‍ර මෝදි විසින් හින්දු සහ මුස්ලිම්වරුන් අතර මතභේදයට තුඩු දුන් මතභේදාත්මක ස්ථානයක පිහිටි හින්දු කෝවිලක් විවෘත කරන ලදි. එය මෙවර මැතිවරණයේදී මෝදිගේ පක්ෂයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
එහෙත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය බෙදීමකට ලක් වනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු වූයේ නැත.
නැතහොත් සමහර අවස්ථාවලදී වඩාත් ආක්‍රමණශීලී අදහස් ඉහළින්ම පැමිණියේය.
ඉකුත් අප්‍රේල් මාසයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී මෝදි මෙසේ පැවසීය: “ඔවුන්ගේ (විපක්ෂ කොංග්‍රසයේ) රජය බලයේ සිටින විට ඔවුන් කියා සිටියේ ජාතියේ ධනයේ පළමු අයිතිය මුස්ලිම්වරුන්ට ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? ඔවුන් ධනය එකතු කර එය කා හට ලබා දෙයිද? බොහෝ දරුවන් සිටින අයට ද? ආක්‍රමණය කරන්නන්ටද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් මෝදිගේ මෙම ප්‍රකාශය අර්ථකථනය කළේ මෝදි ඔහුගේ ගතානුගතික හින්දු ආධාරක පදනම ශක්තිමත් කිරීමට ගත් උත්සාහයක් ලෙස ය.
නමුත් සමහර ප්‍රධාන මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල දෙස බලන විට - භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා පූජනීය නගරයක් වන අයෝධ්‍යාවෙන් පරාජය වී ඇත - ඒ අනුව එය අපේක්ෂිත බලපෑමක් ඇති කළ බවක් පෙනෙන්නට නැත.
හින්දු ප්‍රමුඛතාව මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ මෙවලමක් ලෙස භාවිතා කිරීම පිළිබඳ මේවනවිට ප්‍රශ්න මතුවෙමින් තිබේ. විශේෂයෙන් එය ප්‍රගතියක් අත්කර ගැනීමට වඩා පෙනෙන්නේ ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙයකි.
එනම් භාරතීය ජනතා පක්ෂයට එරෙහිව මුස්ලිම් සුළු ජාතීන් එක්සත් කිරීමයි.
'මෝදී සන්නාමය අවුල් වෙන්න පටන් අරන්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අලෙවිකරණ උපදේශකයින් පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදිගේ සදාකාලික ජනප්‍රියත්වයට හේතු වී ඇත්තේ ඔහුගේ සන්නාමකරණය, සාමාන්‍ය සිදුවීම් පවා සියුම්ව නිරීක්ෂණය කිරීම සහ සූක්‍ෂමව පණිවිඩ යැවීමට ඇති හැකියාවයි.
ඔහු පැහැදිලි බවකින් සහ ශක්තියෙන් යුතුව ගැඹුරු ස්වරයකින් ප්‍රතිචාර දක්වයි.චිත්තවේගය අනුව සන්නිවේදනය කරයි, යනුවෙන් සුප්‍රසිද්ධ සන්නාම උපදේශකයෙකු වන සන්තෝෂ් දේසායි 2017 දී සඳහන් කර ඇත.
වසර ගණනාවක් පුරාවට නරේන්ද්‍ර මෝදි ඉන්දියානු දේශපාලනයේ බලගතු නායකයෙකු ලෙස ඔහුගේ තත්ත්වය තහවුරු කර ගනිමින් සිටින්නේ දේශීයව හා විදේශීයව විවිධ පුද්ගලයින් සමග සම්බන්ධතා තර කර ගන්නා සංස්කෘතික සලකුණක් ලෙසද තමන්වම ප්‍රවර්ධනය කර ගනිමිනි.
රට තුළ ඇති දුර්වල විපක්ෂයක් සහ බොහෝ දුරට මිත්‍රශීලී මාධ්‍යයක් ඔහුගේ සන්නාමය ගොඩනඟා ගැනීමට ඔහුට උපකාර වී තිබේ.
"ඔහු මේ රටේ 70% ක පොප් සංස්කෘතියක්" බව සන්නාම උපදේශකයෙකු පසුගිය වසරේ පැවති සමුළුවකදී පැවසීය.
එහෙත් තවදුරටත් එසේ නොවේ. මහ මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කරන පරිදි, මෝදි සන්නාමය මේවනවිට ඉරිතැලීමට පටන් ගෙන තිබේ. නරේන්ද්‍ර මෝදි මෙතෙක් තරග කර ඇති සියලුම මැතිවරණවලදී කිසි විටෙකත් අඩු බහුතරයක් පෙන්වා අඩු ජයග්‍රහණ ලබාගෙන නොමැත.
මෙවර එය වෙනස් වී ඇත. අඟහරුවාදා ප්‍රතිඵලවලින් පෙනී යන්නේ පැවති කීර්තිය මැකී යා හැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සැතපුම් 4,200 විපක්ෂ පාගමන 'ගැල්වනයිස් කරන ලද පක්ෂ කාඩර්වරුන්'
පක්‍ෂ 24 කට වැඩි සංඛ්‍යාවක කන්ඩායමක් මගින් ඉන්දියාවේ විපක්ෂ සන්ධානය වන 'ඉන්දීය' සන්ධානය 2023 ජුලි මාසයේදී පිහිට වූ දා සිට මෝදි ප්‍රමුඛ ආණ්ඩුව විසින් එම සන්ධානය යනු මෝදිව පුද්ගලිකව ඉලක්ක කර රට විනාශ කිරීම සඳහා ආත්මාර්ථකාමී නායකයින් විසින් ගෙන යන සන්ධානයක් ලෙස පැහැදිලි කරමින් සිටී.
පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයින්, දේශපාලන විශ්ලේෂකයින් සහ මත විමසුම්කරුවන් විසින් නරේන්ද්‍ර මෝදිට පහසු ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි මාස ගනනාවක සිට පුරෝකථනය කරමින් සිටියේය.
ඒ අතරතුර කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම විසින් ග්‍රාමීය ජනතාවගේ දුක් කම්කටොලු පිරි ජීවිතය, උද්ධමනය සහ අධික විරැකියාව සම්බන්ධයෙන් සිය මැතිවරණ ප්‍රචාරක රැළිවල ප්‍රමුඛ මාතෘකාවක් කර ගනු දක්නට ලැබුණි.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනතුරේ" සහ "බෙදීමක්" යටතේ රටේ "ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රහාරයට ලක්ව ඇත" නරේන්ද්‍ර මෝදි ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවිරුද්ධවාදියා විය.
එමෙන්ම විපක්ෂය සිය සමාජ මාධ්‍ය ප්‍රවේශය ද ඉහළ නංවා ගත් අතර ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණය තුළ දිගු කාලයක් ආධිපත්‍යය දැරූ BJP පක්ෂය පවා ආක්‍රමණශීලී ලෙස අභිභවා ගියේය.
මෝදිගේ ප්‍රතිවාදීන්ගේ සුබසාධන යෝජනා ක්‍රම දකුණු ඉන්දියාවේ ඡන්දදායකයින් සමඟ 'වඩා හොඳ සම්බන්ධයක්' වේ
නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ප්‍රතිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද සුබසාධන යෝජනා ක්‍රම දකුණු ඉන්දියාවේ ඡන්දදායකයින් සමඟ වඩා හොඳ සම්බන්ධයක් ගොඩ නගා ගන්නා ලදී
නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තවමත් දකුණු ඉන්දියාවේ ප්‍රධාන බලපෑමක් ඇති කිරීමට අරගලයක නිරත වී සිටින අතර ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි වීමට නියමිතව ඇත.
ඔවුන් 2019 දී කර්නාටක ප්‍රාන්තයේ පමණක් ආසන 25ක් දිනා ගත්තේය. නමුත් මෙවර එම ප්‍රාන්තයේදීම කොංග්‍රස් පක්ෂය හමුවේ අවම වශයෙන් ආසන 10ක් අහිමි වී තිබේ.
තොරතුරු තාක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් නිපුණ චන්ද්‍රබාබු නායිදුගේ නායකත්වයෙන් යුත් ප්‍රාදේශීය තෙළිඟු දේසම් පක්ෂය සමඟ සන්ධානගත වීම නිසා එය තෙලන්ගානා ප්‍රාන්තයේ ආසන 04 ක් දිනා ගනිමින් සහ ආන්ද්‍රා ප්‍රදේශ්හි ආසන කිහිපයක් වැඩි කර ගැනීමේ අභියස සිටියි.
තමිල්නාඩුවේ, DMK ප්‍රමුඛ සන්ධානය එහි 2019 වසරේ ලද බලය යළි තහවුරු කිරීමේ අද්දර සිටී.
කේරළයේ කොමියුනිස්ට් රජය සහ කොංග්‍රසය ප්‍රමුඛ පෙරමුණ විසින් භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවෙන් ඉවත් කර ඇති බව පෙනේ.
ඉතින් ඊළඟට කුමක් ද? ප්‍රතිඵලය මෝදිට 'මන්දගාමී' වීමට බල කළ හැක
මෝදි තමන්ව හඳුන්වනු ලැබුවේ ගෝලීය දකුණේ හඬ ලෙසයි. සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත ලෝකය අතර පාලමක් ලෙස ක්‍රියා කළ නායකයෙකු ලෙස ය.
ඉන්දීය අගමැතිවරයාගේ ගෝලීය ප්‍රබෝධයට හේතු වූයේ ඔහුට දේශීය වශයෙන් ලැබුණු දැවැන්ත සහයෝගයයි.
ඔහු ගෝලීය නායකයින්ට සහ සන්ධානවලට අඛණ්ඩතාව පිළිබඳ හැඟීමක් ගෙන දුන්නේය.
නරේන්ද්‍ර මෝදි දැන් සන්ධාන ගතව පිහිටුවනු ලැබූ ආණ්ඩුවකට නායකත්වය දෙනු ඇති. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහුට ද්විපාර්ශ්වික සහයෝගය හිමිවනු ඇති. එහෙත් ගෝලීය දේශපාලනයට බලපාන තීරණාත්මක තීන්දු තීරණවලට එළඹීමට පෙර මෝදිට සිය මිත්‍ර පාක්ෂිකයින් පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීමට සිදුවනු ඇති.
එය ඔහුගේ වේගය අඩාල කිරීමක් වන අතර මෝදිට උපදේශනය මගින් තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වනු ඇත.
මේ දක්වා ඉන්දියාව විදේශ කටයුතු සම්බන්ධයෙන් උපායමාර්ගික ස්වාධීනත්වය පිළිබඳ සිය ප්‍රතිපත්තිය නිදහසේ භාවිතා කර ඇති අතර එය වෙනස් නොවනු ඇත.
එහෙත් ගෝලීය කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීරණ ගැනීමට මෝදිට ඇති හැකියාව වෙනස් වනු ඇති. ඔහු බොහෝ විට කටයුතු සිදු කළේ ඔහුගේම සගයින්ගෙන් හෝ විපක්ෂයෙන් අදහස් විමසීමකින් තොරවයි.
සභාග ආණ්ඩුව මෝදිට 'ලිට්මස් පරීක්ෂණයක්'
ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හෝ අග්‍රාමාත්‍යවරයා ලෙස ගතවූ ධූරකාල දෙකේදී නරේන්ද්‍ර මෝදි පූර්ණ බහුතර බලය සහිතව භාරතීය ජනතා පක්ෂ රජයක් පවත්වාගෙන ගෙන යන ලදී.
හවුල්කාර පාර්ශ්වකරුවන් ඔහුට සහයෝගය ලබාදීමට පැමිණිය ද මෝදිගේ ආණ්ඩුවේ අනාගතය ඔවුන්ට පැවරී තිබුණේ නැත.
එහෙත් වත්මන් ඡන්ද ප්‍රතිපල පැහැදිලිව පෙන්නුම් කරන්නේ භාරතීය ජනතා පක්ෂයට බහුතරයක් නොමැති බවයි.
එහි අදහස වන්නේ මෝදි මහතා මිත්‍ර පාර්ශවකරුවන්ගේ සහාය ලබා ගන්නා බවයි.
පවතින යථාර්ථය මතකයේ තබාගෙන වෙනස් විය යුතු බව හා සන්ධාන මධ්‍යගත ආණ්ඩුවක් ගෙන යාමට ඔහු පුරුදු විය යුතුය.
සන්ධානයේ හවුල්කාර පාර්ශවයන්ගේ අපේක්ෂා සහ සංවේදීතාවන් පිළිබඳව මෝදි වඩාත් සැලකිලිමත් විය යුතුව තිබේ.
එය ඔහුට පහසු නොවනු ඇති බව විශ්ලේෂකයෙක් සඳහන් කළේය.
ඉන්දියාවට සභාග දේශපාලනයට අලුත් අත්දැකීමක් නොවේ, නමුත් සභාග ආණ්ඩු බොහෝ විට අස්ථාවරත්වයට පත්වීමේ අවදානමක් ඇත. එබැවින් ඒ සඳහා අනුවර්තනය වීමේ හැකියාව නරේන්ද්‍ර මෝදිට සහ භාරතීය ජනතා පක්ෂයට පරීක්ෂණයක් වනු ඇත.
නිතින් සිරිවාස්තාවා , බීබීසී ලෝක සේවය, දිල්ලි












