ශ්‍රී ලංකාව මව්බිමේදී T20 තරගයක අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
බංගලාදේශය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජූලි 13 වැනිදා) මව්බිමේදී T20 ජාත්‍යන්තර තරගයක අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි දෙවන T20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක විශිෂ්ට ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 15.2කදී දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 94ක් ලෙස තිබියදීය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ක්‍රීඩා කළ T20 ජාත්‍යන්තර තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකාව T20 තරගයක මෙතෙක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 77කි. 2024 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 77කට දැවී ගියේ නිව් යෝක්හි පැවැති තරගයකදීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බංගලාදේශ ඉනිමට ජවය ගෙනා ලිටන් සහ ෂමිම්
සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන T20 ජාත්‍යන්තර තරගය පැවැත්වුණේ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
ශ්‍රී ලංකා ඉන්මේ මුල් පෙළ කඩුළු අනපේක්ෂිත අයුරින් බිඳ වැටීමත් සමග තරගය නැරඹීමට පැමිණි සිටි ප්‍රේක්ෂකයින් සිය අසුන්වලින් නැගිට කලින්ම ක්‍රීඩාංගණයෙන් පිටව යන අයුරුද දක්නට ලැබිණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ, අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7කට ලකුණු 177ක් රැස් කළේය.
ටෙස්ට් හා එක්දින තරගාවලිවලදී ලද පරාජය හේතුවෙන් මෙම තරග ජයග්‍රහණය බංගලාදේශය ලද දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
ඒ, විස්සයි20 තරගයකදී ලකුණු 83ක විශාල ලකුණු පරතරයකින් තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි.
පිතිකරණයේදී ලිටන් සහ ෂමිම් බංගලාදේශ ඉනිමට දැවැන්ත ශක්තියක් එක්කළ අතර හොසේන් විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලිටන් දාස් පන්දු 50 කදී ලකුණු 76 ක් රැස් කළ අතර බිනුර ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තේය.
කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමෙන් පසු, පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරාට හෝ අවිශ්ක ප්‍රනාන්දුට ඉනිම ගොඩනැගීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 32කි. දසුන් ශානක පන්දු 16කදී ලකුණු 20ක් රැස් කිරීමට සමත්විය.
තරග 3කින් සමන්විත T20 තරගාවලිය මේවන විට තරග 1ට 1ක් ලෙස සම තත්ත්වයේ පවතී.
බංගලාදේශයට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලැබීය.
දෙරට අතර තීරණාත්මක තුන්වන T20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.














