14 වන ලියෝ ලෙස පාප් පදවියට පත්වූ රොබර්ට් ප්‍රෙවෝස්ට් කවුද?

pope

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 14 වන ලියෝ පාප් වහන්සේ පළමු වරට බැතිමතුන් ඉදිරියේ පෙනී සිටි අවස්ථාව...
    • Author, පෝල් කර්බි
    • Role, යුරෝපයේ ඩිජිටල් පුවත් සංස්කාරක

සාන්ත පීතර බැසිලිකාවේ බැතිමතුන් අමතන බැල්කනියේ සිට ඔහුගේ නම ප්‍රකාශ කිරීමටත් පෙර, ඉන් පහළ ඒකරාශිවී සිටි ජනතාව "Viva il Papa" (පාප් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!) කියමින් හඬ නැගූහ.

69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට් 267 වන පාප් වහන්සේ බවට පත්වූ අතර ඔහු 14 වන ලියෝ ලෙස හඳුන්වනු ලැබේ.

ඔහු පළමු ඇමෙරිකානු පාප් වහන්සේ වන නමුත්, ඔහු ලතින් ඇමරිකානු කාදිනල්වරයෙකු ලෙස ද සැලකේ, මක්නිසාද ඔහු මිෂනාරීවරයෙකු ලෙස වසර ගණනාවක් ගත කර පසුව පේරුහි අගරදගුරු පදවියට පත්වූ බැවිනි.

ප්‍රෙවොස්ට් 1955 දී චිකාගෝහි ස්පාඤ්ඤ සහ ෆ්‍රැන්කෝ-ඉතාලි සම්භවයක් සහිත මව්පියන්ට දාව උපත ලැබුවේ ය. ඔහු අල්තාරයේ සහයකයෙකු ලෙස මුලින් කටයුතු කළ අතර 1982 දී පූජකවරයෙකු බවට පත්විය.

ඔහු වසර තුනකට පසු පේරු වෙත සංක්‍රමණය වූ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිය උපන් ගමේ දේවගැතිවරයෙකු ලෙස සේවය කිරීම සඳහා නිරන්තරයෙන් ඇමෙරිකාවට ගියේ ය.

ඔහුට පේරු ජාතිකත්වයක් ඇති අතර, කොන්වූ ප්‍රජාවන් සමග කටයුතු කළ සහ සබඳතා ගොඩනැගීමට උදව් කළ චරිතයක් ලෙස ආදරයෙන් සිහිපත් කරනු ලැබේ.

ඔහු වයඹදිග පේරුහි ටෘජිලෝහි කතෝලික සභාවේ පූජකවරයෙකු සහ සෙමනේරි ගුරුවරයෙකු ලෙස වසර 10ක් ක්‍රියා කළේ ය.

පාප් වහන්සේ ලෙස ඔහුගේ පළමු වචන වලින්, 14 වන ලියෝ හිටපු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගැන කෘතඥතාපූර්වකව කතා කළේ ය.

"අපට ආශිර්වාද කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දුර්වල නමුත් සැමවිට ම නිර්භීත හඬ තවමත් අපගේ කන්වලට ඇසෙනවා," ඔහු පැවසීය

ඔහු ඔල්වරසන් දෙමින් සිටි පිරිසට පැවසුවේ, "අපි එක්ව, එක්සත්ව සහ දෙවියන් වහන්සේ සමග ඉදිරියට යමු," යනුවෙනි.

Robert Prevost

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 14 වන ලියෝ පාප් වහන්සේ පෙර පාප් වහන්නේට සහය දක්වා ඇති අතර, ඔහු පදවියට පත්වීමෙන් පසු මුලින් ම කරන්නේ කුමක් ද? යන්න ජනතාව බලා සිටිති

ඔහු ඔගස්ටීනියානු නිකායේ ඔහුගේ සේවය ගැන ද කතා කළේ ය.

පාප් වහන්සේ බවට පත්වීමෙන් වසරකට පසු ෆ්‍රැන්සිස් රොබර්ට් ප්‍රෙවෝස්ට් පේරුහි චික්ලොයෝහි බිෂොප්වරයා ලෙස පත් කළේ ය.

ලතින් ඇමෙරිකාවේ බිෂොප්වරුන් තෝරා ගැනීමේ සහ අධීක්ෂණය කිරීමේ සංසද කාර්යාලයට ඔහු නායකත්වය දුන් නිසා කාදිනල්වරු ද ඔහු හොඳින් හඳුනති.

2023 ජනවාරි මාසයේදී ම ඔහු අගරදගුරු පදවියට පත්වූ අතර මාස කිහිපයක් ඇතුළත ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහු කාදිනල්වරයෙකු ලෙස උසස් කළේ ය.

Pope Francis greets USA Cardinal Robert Francis Prevost during the Mass on the Jubilee of The Armed Forces, Police and Security Personnel at St. Peter's Square on February 09, 2025

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාදිනල් ප්‍රෙවොස්ට් 2025 පෙබරවාරි මාසයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග නිස්කලංක මොහොතක් ගත කරමින්.

ලියෝ පාප්තුමාගේ දර්ශනය කෙබඳු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කතෝලික සභාවේ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රතිසංස්කරණ ඔහු අඛණ්ඩව කරගෙන යනු ඇත්දැයි බැලීමට බැතිමතුන් 14 වන ලියෝ පාප් වහන්සේගේ අදහස් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ප්‍රෙවෝස්ට් ද, සංක්‍රමණිකයන්, දුප්පතුන් සහ පරිසරය පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දර්ශනය ඔස්සේ ක්‍රියා කරනු ඇති බව විශ්වාස කෙරේ.

ප්‍රෙවෝස්ට්ගේ හිටපු කාමර සගයා වූ දේවගැති ජෝන් ලයිඩ්න් බීබීසීයට පැවසුවේ, ඔහු මිත්‍රශීලී, නිහතමානී සහ දුප්පතුන් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන අයෙකු බව ය.

ඔහුගේ පෞද්ගලික පසුබිම සම්බන්ධයෙන්, ප්‍රෙවෝස්ට් කාදිනල්වරුන්ගේ සමුළුවට පෙර ඉතාලියේ මාධ්‍ය ජාලයක් වන Rai වෙත අදහස් දක්වමින් පැවසුවේ ඔහු සංක්‍රමණික පවුලක හැදී වැඩුණු අයෙකු බව ය.

"මම ඉපදුණේ ඇමෙරිකාවේ... නමුත් මගේ ආච්චිලා සීයලා හැමෝම සංක්‍රමණිකයින්, ප්‍රංශ, ස්පාඤ්ඤ... මම හැදී වැඩුණේ කතෝලික පවුලක, මගේ මව්පියන් දෙදෙනා ම පල්ලියේ කටයුතුවල නියැලී සිටියා," ඔහු පැවසීය.

ප්‍රෙවෝස්ට් ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබුව ද, වතිකානුව ඔහුව විස්තර කළේ ඇමරිකාවෙන් පැමිණි දෙවන පාප් වහන්සේ ලෙස ය (ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආර්ජන්ටිනාවෙන් පැමිණි අයෙකි).

පේරුහි අගරදගුරු ධූරය දැරූ කාලය තුළ පල්ලියට එල්ල වූ ලිංගික අපයෝජන අපචාරවලින් ඔහු බේරී නැත, කෙසේ වෙතත්, තම රදගුරු පදවිය කිසිදු වසන් කිරීමේ උත්සහයකට භාවිත කළ බවට වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේ ය.

විශේෂඥයින්ට අනුව, ලියෝ යන නම තෝරා ගැනීමේදී, ප්‍රෙවොස්ට් සමාජ ගැටලු සඳහා කැපවීමක් සනිටුහන් කර ඇත.

461 වසරේදී මිය ගිය පළමු වන ලියෝ පාප් වහන්සේ, රෝම අධිරාජ්‍යයට ප්‍රහාර එල්ල කළ ඇටීලා රජ හමුවී රෝමයට පහර නොදෙන ලෙස ඉල්ලා සිටියේ ය. අවසාන ලියෝ පාප් වහන්සේ 1878 සිට 1903 දක්වා කතෝලික සභාවට නායකත්වය දුන් අතර කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වැදගත් පත්‍රිකාවක් ලිවීය.

කාර්මික විප්ලවය, මාක්ස්වාදයේ ආරම්භය සහ පුළුල් සංක්‍රමණය වැනි ප්‍රධාන වෙනස්කම් ඇති කාලයක සමාජ යුක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ප්‍රසිද්ධියට පත්වූ 13 වන ලියෝ පාප් වහන්සේට සම්බන්ධ නමක් නව පාප් වහන්සේ තෝරා ගත් බව බොස්ටන්හි හිටපු අගරදගුරු සීන් පැට්‍රික් ඕ'මැලී සිය බ්ලොග් අඩවියේ ලියා තිබේ.

LGBT ප්‍රජාව සම්බන්ධයෙන් නව පාප් වහන්සේගේ අදහස් පැහැදිලි නොමැති නමුත්, ගතානුගතික College of Cardinals ඇතුළු ඇතැම් ආයතන විශ්වාස කරන්නේ ඔහු ෆ්‍රැන්සිස් පාප් වහන්සේට වඩා ඒ සම්බන්ධයෙක් අඩු පිළිගැනීමක් දක්වන බව ය.

අසාමාන්‍ය අවස්ථාවන්හිදී සමරිසි යුවළ සහ අනෙකුත් අයට ආශීර්වාද කිරීමට ෆ්‍රැන්සිස් පාප්තුමා ගත් තීරණයට 14 වන ලියෝ පාප් වහන්සේ සහය දක්වා ඇතත්, එය ක්‍රියාත්මක කිරීමේදී රදගුරුවරුන් දේශීය සංස්කෘතීන් සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.

පසුගිය වසරේ දේශගුණික විපර්යාස පිළිබඳව කතා කරමින්, ප්‍රෙවොස්ට් පැවසුවේ, "වචනවලින් ඔබ්බට ගොස් ක්‍රියාවට" යොමු වීමට කාලය පැමිණ ඇති බව ය.

පරිසරය සමග "අන්‍යෝන්‍ය සම්බන්ධතාවක්" ගොඩනගා ගන්නා ලෙස ඔහු මානව ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.

තව ද ඔහු වතිකානයේ සූර්ය පැනල සවි කිරීම සහ විදුලි වාහන භාවිතය ඇතුළු සංයුක්ත පියවර ගැන කතා කර ඇත.

කාන්තාවන්ට රදගරු සංසදයට පත්වීම සඳහා අවසර දීමට ප්‍රථම වරට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගත් තීරණයට ඔහු සහය පළ කර ඇති අතර, එම පත්වීම් පිළිබඳව ඔවුන්ට අදහස් ලබා දී ඇත.

"ඔවුන්ගේ දැක්ම දියුණු එකක් බව අපි කිහිප වතාවක් දැක තිබෙනවා," ඔහු 2023 දී වතිකාන ප්‍රවෘත්ති ආයතනයට පැවසීය.

2024 දී ඔහු කතෝලික ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, "කාන්තාවන්ට අවස්ථාව ලබා දීමෙන් පල්ලියේ බිෂොප්වරුන් ලෙස සේවය කිරීමට හොඳ ම පුද්ගලයින් තෝරා ගැනීමට උපකාර වන," බව ය.