මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි වී ඇති අනුරාධපුර 'විශ්ව චක්‍රය' ගැන ඔබ මෙම තොරතුරු දැන සිටියා ද?

- Author, බීබීසී සිංහල
ලෝකයේ පැරණි ම සිතියමක් බවට අනුමාන කෙරෙන පෞරාණික වශයෙන් ඉතා වැදගත්කමකින් යුත් අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති 'විශ්ව චක්‍රය' මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියෝ පවසති.
උන්වහන්සේ ඉකුත් දා රන්මසු උයනේ ඇති 'විශ්ව චක්‍රයට' කර ඇති හානිය පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට වැඩම කරන ලද අවස්ථාවේ මේ බව පැවසීය.
උන්වහන්සේ කළ දැනුම් දීමක් අනුව අනුරාධපුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක R.G. ජයතිලකගේ විශේෂ උපදෙස් මත පුරාවිද්‍යා නිලධාරිනියක එම ස්ථානයට පැමිණි අතර ඇය විසින් 'විශ්ව චක්‍රයේ' පවිත්‍ර කිරීමට පියවර ගනු ලැබීය.
විහාරාධිපති හිමියන් පවසන්නේ, 'විශ්ව චක්‍රය' නමැති මෙම පෞරාණික උරුමය රැක ගැනීම සියලු ම දෙනාගේ වගකීමක් බවත් මෙය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක වැටක් ඉදි කරන්නේ නම් ඒ සඳහා දායකත්වය ලබා දීමට තමන් වහන්සේ සූදානම් බවත් ය.
රන්මසු උයන

අක්කර හතළිහක පමණ බිම්කඩක් ආවරණය කෙරෙන 'රන්මසු උයන' නම් පෞරාණික නාගරික උද්‍යානය බෞද්ධ විහාර තුනකින් වටවී විශ්වයේ රහස් හෙළි කරනු ලබන්නේ යයි පැවසෙන සිතියමක සටහනක් ලෙස සැලකෙයි.
රන්මසු උයනේ සංරක්‍ෂණය කරනු ලැබ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තු අතර ගල් පුවරුවක නොගැඹුරු ලෙස කැටයම් කර ඇති විෂ්කම්භය මීටර් 1.8ක් පමණ වන "සක්වල චක්‍රය" එසේත් නැත්නම් 'විශ්ව චක්‍රය' දක්නට ලැබෙයි.
එම පුවරුවේ ඉදිරිපස මුහුණත නැරඹිය හැක්කේ බිම්මට්ටමේ සිට පමණි. කදිම නැරඹුම් කලාපයක් සම්පාදනය කෙරෙමින් ඉහත කී ගල් පුවරුව ඉදිරිපිට නිමවන ලද පාෂාණමය ආසන හතරක් ද දක්නට ලැබෙයි. එකී සිතියම සහ ආසන යන අංග දෙක ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ විද්වතුන් සියවසකට අධික කාලයක් බලවත් ගැටලුවකට පත් කිරීමට ලැබීමට හේතුවී ඇත.
රන්මසු උයන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතා දීර්ඝ අවධියක් පරිහරණය කරන ලද භූමියක් යැයි පැවසේ.
"මෙහි දෙවන සංවර්ධන අදියර ක්‍රිස්තු වර්ෂ හත්වෙනි සියවසේදී ආරම්භ කරන ලද බවක් පෙනෙනවා. එම අදාළ කාලවකවානුව තුළ තවත් ඉදිකිරීම් කීපයක් උයනේ සැලැස්මට එකතුකරලා තියෙනව. සක්වල චක්‍රය ඒ කාලයේ එකතුවූ නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් එම නිර්මාණයේ පැවැත්ම, ක්‍රියාකාරිත්වය හෝ ඊට අදාළ වෙනත් යමක් භික්ෂූන් විසින් ඉතා සූක්‍ෂමව වාර්තාකරනු ලැබ තිබෙන ඓතිහාසික වාර්තාවල සඳහන් කරනු ලැබ නැති නිසා ඒ ගැන දැන ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා," කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මීට පෙර අවස්ථාවක බීබීසීය වෙත පැවසීය.
සක්වළ චක්‍රය/ විශ්ව චක්‍රය යනු කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සක්වළ චක්‍රය / විශ්ව චක්‍රයසහ එහි අරමුණ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නමුත් එම නිරූපණ කලාව ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි සහ දහවෙනි සියවස්වලට අයත් අනුරාධපුර යුගයේ වෙනත් කැටයම්වලට වෙනස් මුහුණුවරක් ගන්නා බව පෙනී යයි.
සක්වළ චක්‍රයේ මධ්‍ය කේන්ද්‍රය සමාන්තර සිරස් සහ තිරස් රේඛා මගින් බෙදුන සමකේන්ද්‍රීය කව හතකින් සමන්විත වෙයි. ඍජුකෝණාශ්‍රාකාර කුටි හරස් කවයන්ගෙන් යුක්තය.
එහි අන්තර්ගතය තේරුම්ගත නොහැකි පුද්ගලයකුගේ ඇසට සක්වළ චක්‍රයේ ඇතුළත් කුඩ හෝ දුනු සහ ඊතල, සරුංගලයක් රළ හැඩයේ රේඛා සහ සිලින්ඩරාකාර හැඩතල ගොචරවනු ඇත. චක්‍රයේ අවසන් වළල්ලේ මුහුදු ජීවීන්, මත්ස්‍යයන්, ඉබ්බන් සහ මුහුදු අසුන් කැටයම් කර ඇත.
එකී අනුරපුර යුගයට ම අයත් සඳකඩ පහන වැනි වෙනත් නිර්මාණයක අන්තර්ගත කැටයම් සමග සසඳන විට එම කැටයම් අතර වෙනසක් ඇත. සඳකඩ පහනේ දක්නට ලැබෙන්නේ ලියවැල්, හංසයන් සහ නෙළුම්මල් ආදියයි.
ඒවා සියල්ල බෞද්ධ නිරූපණ කලාවේ සංකේතයන් ය. එහෙත් සක්වළ චක්‍රයේ අන්තර්ගත සංකේත ආගමික මුහුණුවරක් නොගනී. එවැනි සංකේත තෝරාගන්නා ලද්දේ කුමක් නිසා ද? යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොකෙරෙයි.
අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව විශාල ගල්පව්වක කෙළවරක සක්වළ චක්‍රය නොනැසී සැඟව පවතින්නට ඇතැයි අදහස් කෙරෙයි. අවට හාත්පස පිහිටි අපූරු දර්ශනය පිරික්සන විට පොකුණු දෙකක් සහ ඊට අනුබද්ධ ස්නාන වේදිකා දක්නට ලැබෙයි.
ඒවා අනුරපුර රජුන් විසින් ඔවුන්ගේ පැන් පහසුවට පාවිච්චිකරන්න්ට ඇතැයි සැලකෙයි. යම් හෙයකින් පිටසක්වලවාසීන් මෙම රමණීය බිම්කඩින් පෘථිවියට ළඟාවී නම්, ඔවුන්ට මීට වඩා අපූරු ස්ථානයක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. ඝර්ම කලාපීය ඝන වනාන්තරයෙන් වැසීගිය මෙම ආරාම පුදබිම වැඩි වශයෙන් ජානාවාසවීමකින් තොරව පැවැති අතර බලධාරීන්ගේ රැකවරණය යටතේ පැවතිණි.
පුරාවිද්‍යාත්මක වැදගත්කම
මෙම කෞතුක වස්තුව අනාවරණය කරන ලද්දේ, සිවිල් සේවකයෙකු සහ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ HCP බෙල් විසිනි.
HCP බෙල් 1911 වසරේ එවක සිටි ආණ්ඩුකරුට යොමු කරන ලද වාර්තාවක මෙවැනි සටහනක් තබා ඇත.
"ඇතැම් විට දැනට සොයා ගෙන ඇති පැරණිතම නිර්මාණය වියහැකි මෙම පෞරාණික "ලෝක සිතියම පැහැදිලි ලෙස ම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්‍යාත්මක දැනුමේ පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි."
එහි මෙසේ ද සඳහන් වෙයි.
"නූතන අර්ථයෙන් නවීන සිතියමක් නොවන නමුත්, මෙම පෞරාණික විශ්වීය චිත්‍රය විශ්වය පිළිබඳ බෞද්ධ ආකල්පයේ චාම් අව්‍යාජත්වය පිළිබිඹු කරයි," චක්‍රයෙහි අන්තර්ගත සංකේත සහ මුහුදු ජීවීන් බුදු දහම පිළිබඳ දැනුම මත පදනම්ව මහපොළොව, මුහුදු, අභ්‍යවකාශය සහ විශ්වය ලෙස ඔහු අර්ථකථනය කළේ ය.
මෙහි වඩාත් ම කැපී පෙනෙන සමානත්වය වන්නේ අනුමාන වශයෙන් ශ්‍රී ලංකාවේ තාරකා දොරටුව උපරිමය ජලයට සම්බන්ධ බවක් පෙන්නුම් කිරීම ය. ක්‍රිස්තු පූර්ව 300දී ඉදිකරන ලද තිසා වැව ආසන්නයේ පිහිටි 'සක්වල චක්‍රය' මෙන් ම ඊජිප්තුවේ අබු ඝුරාබ් සහ පීරු දේශයේ 'La Puerta de Hayu Marka' ආදියත් ජලාශ ආශ්‍රයෙහි ඉදිකරන ලද නිර්මාණ වේ. තාරකා දොරටු න්‍යාය අනුව මිහිකත ජලයෙන් රන්රුවන් ලබා ගැනීමට පෘථිවියට අයත් නොවන ජීවීන්ට අවසර ලැබෙයි.
අභ්‍යවකාශයට පිවිසෙන දොරටුවක් ද?
මහාචාර්ය රාජ් සෝමදේව මීට පෙර බීබීසී සිංහල සේවයට පවසා ඇති පරිදි, සක්වළ චක්‍රය අභ්‍යවකාශයට පිවිසෙන තරු දොරටුවක් යැයි පැවසීමට ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැත. එම උපකල්පනය වෙනුවට මහාචාර්ය සෝමදේව වඩාත් සංවේදී නිගමනයකට එළඹෙයි. ඔහු පවසන්නේ මෙම සිතියම ලෝකයේ මුල් සිතියමක් විය හැකි බව ය.
HCP බෙල් අදහස් කළ ආකාරයට එම පැහැදිලි කිරීම සඳහා කාලය සහ ස්ථානය අනුව, ආගමික හා විශ්වීය සන්දර්භයක් උපයෝගී කර ගනු ලැබීම තාර්කික ස්වරූපයක් ගන්නා බව මහාචාර්යවරයාගේ අදහස වෙයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ භූමි දර්ශන පිළිබඳ කථිකාචාර්ය ෂෙරීන් අල්මේන්ද්‍ර මීට පෙර අවස්ථාවක බීබීසී වෙත පැවසුවේ: "මම හිතන විධියට සක්වල චක්‍රය ඒ යුගයේ ඉදිකෙරුණ මහා දාගැබ් ආදියට සමාන තවත් සංකීර්ණ ව්‍යාපෘතියක සැලැස්මක්. මම එය කෙරෙහි යොමු වෙන්නේ සීගිරිය සඳහා සැකසෙමින් තිබුණ පිඹුරුපතක් හැටියටයි."
මහාචාර්ය රාජ් සෝමදේව පවසන අන්දමට, සක්වල චක්‍රය සිතියමේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සඳහා පවතින ලොකු ම අභියෝගය එය අයත් කාලවකවානුව නිවැරදිව හඳුනා ගැනීම සඳහා සාක්ෂි නොමැතිවීම ය.














