අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

Alejandra Rodríguez stands on the stage of Miss Universe final.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් 2024 මැයි 25 දින ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින අවසන් මහා තරගයේදී

ආර්ජන්ටිනා රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ පළමු ස්ථානය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉතිහාසයේ වයස්ගතම විශ්ව රූ රැජිණ වීම සඳහා 60 හැවිරිදි කාන්තාවක තැබූ බලාපොරොත්තු සුන් වී තිබේ.

ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස්හි පැවති තරගයේ "හොඳ ම මුව" කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නීතිඥවරියක වන අලිහැන්ඩ්‍රා මරීසා රොඩ්‍රිගස් සමත් විය.

ඇය ස්පාඤ්ඤ භාෂාවෙන් ක්‍රියාත්මක වන මාධ්‍ය නාලිකාවකට පැවසුවේ, ඇයගේ සහභාගීත්වය තුළින් "ඉදිරියේදී ඇති වන වෙනසක පළමු පියවර" සනිටුහන් කිරීමට බලාපොරොත්තු වූ බව ය.

අප්‍රේල් මාසයේදී රොඩ්‍රිගේ මෙනවිය බුවනෝස් අයර්ස්හි රූ රැජිණ ලෙස කිරුළු පැළඳීම සම්බන්ධයෙන් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් හිමි වූ අතර, වයස් භේදය පිළිබඳව ඇති වැරදි මතවලට අභියෝග කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්හු ඇයට ප්‍රශංසා කළහ.

විශ්ව රූ රැජිණ තරග සංවිධායකයින් වයසට අදාළ නීති වෙනස් කිරීමෙන් පසුව ඇයට ඊට සහභාගි වීමට අවස්ථාව උදා විය.

2023 වසරේදී උපරිම වයස් සීමාව ඉහළ දමන තෙක්, තරගකාරියන්ගේ වයස් සීමාව වූයේ, අවුරුදු 18 සහ 28 අතර ය.

"මට වුණ දේ ප්‍රතිඵලයක් විදිහට, සමහර විට ඒක කරන්න පහසු නොවූ බොහෝ දෙනෙකුට නව දොරක් විවෘත වී තිබෙන බව මම විශ්වාස කරනවා."

මාධ්‍ය වාර්තාවලට අනුව, රොඩ්‍රිගස් මෙනවිය රෝහලක නීති උපදේශකවරියක වන අතර, තරුණ පෙනුමක් පවත්වා ගැනීම සඳහා ඇයට උපකාර වී ඇත්තේ, ඇගේ ජීවන රටාව යි.

Magaly Benejam, on the left, from Córdoba, raises both hands to touch the crown on her head.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්ජන්ටිනා රූ රැජිණ බවට පත්වූයේ 29 හැවිරිදි රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක වන මාගලී බෙනෙජම් ය

ඇය, සැප්තැම්බර් මාසයේදී මෙක්සිකෝවේදී පැවැත්වීමට නියමිත 2024 ජාත්‍යන්තර විශ්ව රූ රැජිණ තරගය සඳහා ආර්ජන්ටිනාව නියෝජනය කරනු ඇත.

පළමු ජාත්‍යන්තර විශ්ව රූ රැජිණ තරගය පැවැත්වූයේ, 1952 වසරේදී ය. දිගු කලක් තිස්සේ, පසුගිය වසර දක්වා, නව යොවුන් වියේ පසු වූ සහ වයස විසි ගණන්වල පසුවූ අවිවාහක කාන්තාවන්ට පමණක් ඊට සහභාගි වීමට අවස්ථාව සැලසිණි.

නවීකරණය කිරීමේ උත්සහයක් ලෙස, 2023 වසරේ සිට අදාළ තරගය සම්බන්ධයෙන් තවත් නීතිවල වෙනස්කම් සිදු කෙරිණි. එම වෙනස්කම් අතර, විවාහක හෝ දික්කසාද වූ කාන්තාවන්ට මෙන් ම, දරුවන් ලැබූ සහ ගර්භණී කාන්තාවන්ට ද සහභාගි වීමට අවස්ථාව ලැබිණි.

Alejandra Rodriguez poses for a picture in La Plata, Buenos Aires in April 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් මාසයේ පැවති මිස් බුවනෝස් අයර්ස් තරගයෙන් රොඩ්‍රිගස් මෙනවිය ජයග්‍රහණය කිරීම ගෝලීය මාධ්‍ය අවධානයට ලක්විය

"මම හිතන්නේ ටිකෙන් ටික සිදුවූ සෑම වෙනස්කමක් ම ධනාත්මකයි," රොඩ්‍රිගස් ඇමෙරිකානු මාධ්‍ය වෙත පැවසුවේ, "අවස්ථාව ලබා දීමට ප්‍රමුඛත්වය දීම" සම්බන්ධයෙන් තමන් කෘතඥ වන බව සඳහන් කරමිනි.

රොඩ්රිගස් පැවසුවේ, තමන්ට සිය රට නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවුව ද, රූමත්බව, වයස, හැඩය සහ බර සම්බන්ධයෙන් පවතින වැරදි මත ක්‍රමයෙන් වෙනස් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ය.