විවාහක රූ රැජින අර්බුදය: වත්මන් ලෝක විවාහක රූ රැජිනට කුමක් වේද?

winner of Mrs. Sri Lanka 2020 Caroline Jurie removes the crown of 2021 winner Pushpika de Silva

ඡායාරූප මූලාශ්‍රය, AFP

පසුගියදා පැවති විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ගේ කිරුළ ඉවත් කිරීමට අදාළව ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද වත්මන් ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර ඇප මත මුදා හැරිණි.

බ්‍රහස්පතින්දා (අප්‍රේල් 08 ) කුරුදුවත්ත පොලීසිය විසින් එම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"සුළු තුවාල සිදුකිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා මත" කැරොලයින් ජූරි හා නිරූපණ ශිල්පීනි චූලා පද්මේන්ද්‍ර මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

පොලිස් ඇප මත පසුව මුදා හැරුණු එම දෙදෙනාට අප්‍රේල් 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පසුගිය දා කුරුඳුවත්ත පොලිසිය විසින් කැරොලයින් ජූරි හා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සංවිධායක චන්දිමාල් ජයසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේ ඇති වූ සිද්ධිය පිළිබඳව පුෂ්පිකා ද සිල්වා කරන ලද පැමිණිල්ලකට අනුවය.

Celebrations on stage at the Mrs Sri Lanka beauty pageant

මේ අතර පසුගියදා පැවති විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ගේ කිරුළ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කැරොලයින් ජූරි පිළිබඳව ඇමරිකාවේ ලෝක විවාහක රූ රැජින තරගාවලි ආයතනය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධායකයෝ පවසති.

පුෂ්පිකා ද සිල්වා
ඡායාරූප ශීර්ෂ වැකිය, පුෂ්පිකා ද සිල්වා

"ඇයට (කැරොලයින්ට) කිසිම අයිතියක් නෑ වේදිකාවට ඇවිත් 'මයික්' එකක් උදුරලා අරගෙන ජයග්‍රාහිකාව මේ කෙනා කියල කියන්න. මොකද විනිශ්චය මණ්‌ඩලයටයි මටයි තමයි සම්පුර්ණ බලය දීලා තියෙන්නේ ජයග්‍රාහිකාව තෝරන්න. යම්කිසි ප්‍රශ්ණයක් තියෙනවා නම් නිත්‍යානුකුලව ඇයට තිබුණා Mrs World ආයතයට email කරලා, දැනුම් දීලා ඒ දේවල් සුහදව හා offially විසදගන්න." යැයි තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මාධ්‍ය හමුවේ පැවසීය.

චාන්දිමාල් ජයසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය, චාන්දිමාල් ජයසිංහ

මේ වන විටත් ලෝක විවාහක රූ රැජින තරග පවත්වන සමාගම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ට පුෂ්පිකා ද සිල්වා ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදින ලෙස එම ආයතනය කැරොලයින් ජූරි ගෙන් ඉල්ලා ඇති බව ද ඔහු කීය.

"කැරොලයින් ජූරි වේදිකාවේදී හැසිරුණු ආකාරය අපකීර්තිමත් හා ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකාරියකට නොහොබිනා ආකාරයේ හැසිරීමක්. මේ වන විටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරල තියෙන්නේ."

ඇමෙරිකාවේ මිසිස් වර්ල්ඩ් (Mrs world inc.) සමාගම පසුගියදා හටගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසන්නේ කැරොලයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් කණගාටු වන අතර ඇය ශ්‍රී ලංකාවේ පැවැති තරගයේදී තරග රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳ සමාලෝචනය කිරීමටත් අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ මිසිස් වර්ල්ඩ් (Mrs world inc.)

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලකාවේ විවාහක රූ රැජිනක් යොමු කිරීමේ දී ඇය නිත්‍යානුකුලව විවාහක නම් එම තැනැත්තියට අදාළ තරගය සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන බවය.

අප්‍රේල් 6 වෙනිදා සවස කොළඹ පැවති මාධ්‍ය හමුකට සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා පැවසුවේ තමන්ට අවමන් කළ අයට 'සමාව දෙන' නමුත් සිදුවූ අපහාසයට නිත්‍යානුකුලව කටයුතු කරන බවය.

"මට වෙච්ච අසාධාරණය නිසා තමයි මම පොලිසියට ගියේ. මට ඇති වෙච්ච අපකීර්තියට නීතිය මගින් ක්‍රියා කරනවා," යනුවෙන් පුෂ්පිකා ද සිල්වා පැවසීය.

මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කැරොලයින් ජූරි ට ඇයගේ පාර්ශ්වයෙන් පැවසීමට ඇති දේ විමසීම සඳහා ඇය සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවය කිහිපවරක් උත්සාහ දැරීය. එනමුත් ඇයගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.

මීට දින කිහිපයකට පෙර කුරුඳුවත්ත පොලිසියට ඇය පැමිණි අවස්ථාවේදී ද මාධ්‍ය ඒ සඳහා ගත් උත්සාහය සාර්ථක නොවීය.