ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජපානයෙන් සුබ පණිවිඩයක් ද?

Japanese Finance Vice Minister Masato Kanda, Finance Minister Shunichi Suzuki and Bank of Japan Governor Kazuo Ueda speak during a news conference at the annual spring meetings of the World Bank Group and the International Monetary Fund (IMF) at the IMF headquarters on April 12, 2023 in Washington, DC.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ණය ප්‍රතිව්‍යුහගතකරණය කර, පෙර නොවූ විරූ ආකාරයේ මූල්‍ය අර්බුදයක මුහුණදී සිටින ශ්‍රී ලංකාව මුදා ගැනීම සඳහා වන සාකච්ඡාවල දී ණයහිමියන් අතර එකඟතාවකට පැමිණ ඇතැයි 'සතුටින් ප්‍රකාශ කරන' බව ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි සඳහන් කළේය.

ජපානය සහ ප්‍රංශය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලිය දියත් කිරීමේ අවස්ථාවට ඊයේ අප්‍රේල් (13) පස්වරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන් අද 14 පෙරවරුවේ) සහභාගි වෙමින් ජපාන විදේශ ඇමතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ වොෂිංටනයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) මූලස්ථානයේ දීය.

ණයහිමියන් අතර එකඟතාවක්

“ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කර, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයෙන් මුදාගැනීමට ණයහිමියන් අතර එකඟතාවකට පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමට මම ඉතා සතුටු වෙමි" යැයි පැවසූ ෂුනිචි සුසුකි, ශ්‍රී ලංකාවේ අර්බුදයට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව පවසමින් සියලුම පාර්ශව වලට ඒ වෙනුවෙන් සහභාගී වන ලෙස ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ගොඩඒම සඳහා කඩිනම් ණය විසඳුමක් අවශ්‍ය බව මේ අවස්ථාවට එක්වූ IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය.

"මෙම සාකච්ඡා දියත් කිරීම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා හොඳ සලකුණකි. ශ්‍රී ලංකාව තවමත් ගැඹුරු ණය අර්බුදයක පවතී. මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් ගොඩ ඒම සඳහා කඩිනම් ණය විසඳුමක් ඉක්මණින් අවශ්‍ය වේ" යැයි ඔහු පැවසීය. කෙන්ජි ඔකමුරා තවදුරටත් සඳහන් කළේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ණයහිමියන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි.

“මූල්‍ය අරමුදලේ මූල්‍යකරණය දිගටම කරගෙනයෑමට ණය තිරසාරභාවය ප්‍රධාන පූර්ව අවශ්‍යතාවයකි” ඔහු සඳහන් කළේය.

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන ණයහිමි රටවල් විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම වේදිකාව IMF ණය වැඩසටහන වෙනුවෙන් සහාය වන බවද ඔහු පැවසීය.

"සියලු නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සාකච්ඡා සඳහා සහභාගීවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පළමුවැනි වැඩසටහන් සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම හරහා ඉක්මන් ප්‍රගතියක් ලැබිය හැකියි." ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ජපාන රජයට ස්තුතිය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සංසන්දනාත්මක සැලකීමේ මූලධර්ම මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව සියලුම ණය දෙන රටවල් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග අඛණ්ඩව සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. සූම් ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් වොෂින්ටන් ඩීසී හි පැවති සැසිවාරයට එක්වූ ජනාධිපතිවරයා ඉන්දීය සහ ප්‍රංශ රජය සමඟ එක්ව මෙම තීරණාත්මක හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජපාන රජයට ස්තුතිය පුද කළේය.

"මෙය ශ්‍රී ලංකාවේ ණය ආතතිය විසඳීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය දෙන රටවල සම්බන්ධීකරණ ප්‍රයත්නවල ආරම්භය සනිටුහන් කරයි" යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා, IMF ණය වැඩසටහන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, IMF වැඩපිළිවෙළේ ප්‍රධාන අංග ඇතුළත් නව නීති සම්පාදනය කිරීම රජයේ අරමුණ බවත් පෙන්වාදුන්නේය.

"සම්පූර්ණ ආර්ථික ගැලපුම් වැඩසටහනක් සඳහා අරමුදල් සපයන ලෙසට වන ශ්‍රී ලංකාවේ ඉල්ලීම සඳහා මූල්‍ය අරමුදලට හැකිවන ආකාරයෙන්, කාලෝචිත මූල්‍ය සහතික ලබාදුන් පැරිස් සමාජයේ බලධාරීන්ට මෙන්ම පැරිස් සමාජයේ නොවන රටවලටද අපි ස්තූතිවන්ත වෙමු," ඔහු වැඩිදුරටත් පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සාර්ථකව නිම කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම වාණිජ ණයහිමියන් ද එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අපගේ ආර්ථිකයේ, මේ තීරණාත්මක මොහොතේ, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහ අපගේ ජනතාවගේ සමාජ, ආර්ථික යහපැවැත්ම නඟාසිටුවීමට හැකි ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට, අපි ඔබේ කඩිනම්, අඛණ්ඩ සහ නොසැලෙන සහයෝගය මත විශ්වාසය තබමු” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චීනය මෙම ප්‍රයත්නයට සම්බන්ධ වන්නේ නම් එය “ඉතා හොඳයි"

මීට පෙර ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා, ණයහිමියන් වෙනුවෙන් නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි ප්‍රකාශ කළේ අප්‍රේල් 12 දිනය.

එහිදී චීනය මෙම ප්‍රයත්නයට සම්බන්ධ වන්නේ නම් එය “ඉතා හොඳ” බව ද ජපාන මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

මෙම වසරේ G7 කණ්ඩායම් රැස්වීමේ මුලසුන හොබවන ජපානය, මෙවර සංවාදයේ ප්‍රමුඛතා අතරට ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීමට උත්සාහ දරා ඇත.

ෂුනිචි සුසුකි මේ බව ප්‍රකාශ කරන ලද්දේ, G7 මූල්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජපාන මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ මෙම 'වේදිකාව', ණයගැති රටවල් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ණයහිමි රටවල් එක්වන රැස්වීම් මාලාවකින් සමන්විත විය.

"මෙම රාමුව සැකසීමට අපි විශාල උත්සාහයක් ගත්තා. බොහෝ රටවල් ඊට සහභාගීවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා. චීනය ද ඊට එක්වුණොත් එය ඉතා යහපත් බව ප්‍රකාශ කළ හැකියි," ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ගෝලීය ණය හිමියන්, ණයගැති රටවල් සහ අන්තර්ජාතික මූල්‍ය ආයතන ගෝලීය ණය අර්බුදය විසඳීම සඳහා වැඩිදියුණු කළ දත්ත බෙදාගැනීම සහ පැහැදිලි කාලසටහන් ඇතුළුව, දිගුකාලීන ඇණහිට ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රයත්නයන් නැවත ආරම්භ කිරීමට හා විධිමත් කිරීමට යෝජනා වී ඇති ක්‍රමවේදයන්ට අප්‍රේල් 13 වනදා එකඟවිය.

ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුවේ සහ G20 කණ්ඩායමේ වත්මන් සභාපතිවරයා ලෙස ඉන්දියාව ඇතුළු පාර්ශව රැසක්, වොෂින්ටනයේ පැවැත්වෙන මූල්‍ය අරමුදලේ 'වසන්ත රැස්වීම්' අතරතුර සංවිධානයකර තිබූ නව ගෝලීය ස්වෛරී ණය වටමේසයේ පළමු පූර්ණ රැස්වීමෙන් පසුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම එකඟතාවන් ප්‍රකාශයට පත්කළේ ය.

කෙසේ වෙතත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ලොව විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ කිසිදු කැපවීමක් පිළිබඳ සඳහනක් මෙම ඒකාබද්ධ ප්‍රකාශයේ ඇතුළත් කර නැත.

පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පදනම් කරගනිමින් චීනය ප්‍රකාශකර තිබුණේ, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන්හි දී සිදුවන පාඩුවල කොටස්කරුවන් විය යුතුයැ යි කියා ය.

චීනය අන්තර්ජාතික ණය පාර්ශවකරුවන්ට එවැනි කොන්දේසියක් පනවන ලද්දේ, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සිය මූල්‍ය සහතිකය මේ මස අවසානයේ ශ්‍රී ලංකාව සමග පවත්වන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ප්‍රශ්නගතවීමට ඉඩ ඇති බැවින්යැ යි අදහස් පළව තිබේ.

කෙසේ වෙතත්, චීනය තවමත් එම කොන්දේසිය මත රැඳී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ද අද වොෂිංටනයේ දී නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අදහසක් ලබාගත නොහැකි ය.

මෙම ප්‍රකාශයේ වැඩිදුරටත් අන්තර්ගතව ඇත්තේ, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සඳහා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවස්ථාවල දී සහනදායී මූල්‍යකරණයට අදාළ තොරතුරු සහ අදාළ ආයතනවල කේවල් කිරීමේ කොටස වැනි තොරතුරු පමණකි.

මීට සමගාමීව, IMF මූලෝපාය ප්‍රධානී සීලා පෂර්බශෝග්ලු මෙහිදී පෙන්වාදී ඇත්තේ, චීනය සහ තවත් පාර්ශව ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට දායකවන විවිධ ක්‍රම පවතින බව පිළිගෙන ඇති අතර, බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට ඊට දායකවිය හැකි හොඳම ක්‍රමය වන්නේ, හැකිතාක් ප්‍රදාන කොන්දේසි යටතේ අවශ්‍යතා සහිත රටවලට නැවුම් මූල්‍ය පහසුකම් සැපයීම බව යි.

IMF විසින් පටිගත කරන ලද වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසුවේ, G20 පොදු රාමුව යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලීන් වේගවත් කිරීමට සහ ඒවා වඩාත් කාර්යක්ෂම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකර ඇති බවකි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මෙම රැස්වීම පැවැත්වුණේ, G20 පොදු රාමුව යටතේ සැම්බියාව, ඝානාව සහ ඉතියෝපියාව සඳහා ණය සහන ගිවිසුම් අවසන් කිරීමේ අඛණ්ඩ ප්‍රමාදයන් මධ්‍යයේ ය.

පෂර්බශෝග්ලු සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කළේ, මේ අතරින් සැම්බියාවේ ගැටලුව සම්බන්ධයෙන් IMF "ශුභ ආරංචියක්" බලාපොරොත්තුවෙන් පසුවන බව ය.

එක්සත් ජනපදය සහ අනෙකුත් පාර්ශ්වය බොහෝදුරට මෙම ප්‍රමාදයන්ට දොස් පවරන්නේ, මේ වන විට ලෝකයේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලීන් 'ඇදගෙන යෑම' සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් මෙම ක්‍රියාවලීන්ට සම්බන්ධවීමට දක්වන අකමැත්ත සම්බන්ධයෙනි.

ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව මෙම ක්‍රියාවලියේ විවිධ අදියරවල පවතින නමුත්, G20 රාමුව යටතේ සුදුසුකම් නොලබන මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව පසුවන්නේ වෙනම ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් යටතේ ය.

එමනිසා, මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය විසින් මෑතක දී ඇතිකරගත් එකඟතාව ධනාත්මක පියවරක් ලෙස වොෂිංටනයේ රැස්ව සිටින ඇතැම් පාර්ශ්වයන් විසින් සළකා ඇත. එහෙත් පාර්ශව බහුතරය මතුකර ඇති ගැටලුව වන්නේ එම මූල්‍ය සහතිකයේ ප්‍රමාණවත්භාවය පිළිබඳව ය.

සහනදායී මූල්‍ය ප්‍රවාහයන් සැපැයීම හරහා, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලීන්වල දී බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල භූමිකාව මේ රැස්වීමේ දී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්ව ඇති අතර, ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සංගමය විසින්, අඩු පොළී හෝ ශුන්‍ය පොළී හරහා සපයන ලද ණය වෙනුවෙන් සහන සැලසිය යුතු බව එහිදී ප්‍රකාශවී තිබේ.

ණයහිමියන්ට සැලකීමේ සංසන්දනාත්මකභාවය, කඩයිම් දිනයන්, ක්‍රියාවලිය ආරම්භයේ දී ණය ගෙවීම් අත්හිටුවීම, හිඟ මුදල්වලට සහන ලබාදෙන ආකාරය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ මූලධර්ම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතිවල දී නැවත හමුවීමට මෙම රැස්වීමේ දී නියෝජිතයන් එකඟවී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එවැන්නක් පිළිබඳව සළකා බැලීමට සුදානම් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත.

මේ වන විට වොෂිංටනයේ රැඳීසිටින මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රාජ්‍යයන්වල ණය වෙනුවන් එම රටවල ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම වෙනුවෙන් සංකල්පයක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇත.

එම සංකල්පයට අනුව ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකාව කුමක් කිරීමට අපේක්ෂා කරන්නේදැ යි ජනමාධ්‍ය වෙතින් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආචාරය වීරසිංහ මෙසේ පවසා ඇත.

"එය ඉතා ප්‍රයෝජනවත් සහ කාලීන මූල්‍ය මෙවලමක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉලක්කය වන්නේ හැකි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමයි. ණයහිමියන් මෙම මෙවලම සුදුසුබවට ඉල්ලීමක් කළහොත්, එය නිශ්චිත කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කළ හැකි නම්, එවැන්නක් භාවිත කිරීමට අප සුදානම්."

ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම යනු, මූල්‍ය අර්බුදයන්ට ලක්ව ඇති රටවල දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන ස්වාභාවික සම්පත් සහ ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට අදාළ රටවලට ණය ලබාදී ඇති පාර්ශ්වයන් මැදිහත්වීම යි.

එම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට ණයහිමියන් මූල්‍යාධාර ලබාදෙනු ලැබේ. ඒ වෙනුවෙන් ණය ලබාගෙන ඇති රාජ්‍යයන් 'යම් කැපවීමක්' සිදුකළ යුතු ය.

මේ වන විටත් බාබඩෝස්, බෙනින් සහ සීෂෙල්ස් ආදී රාජ්‍යයන් කිහිපයක් එවැනි හුවමාරු වැඩසටහන් සඳහා සිය ණයහිමියන් සමග ගිවිසුම් අත්සන්කර ඇත.

"ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් හුවමාරු කරගැනීම' IMF විසින් මෑතක දී හඳුන්වාදුන් සංකල්පයකි. 2022 දෙසැම්බර් මාසයේ දී මේ සම්බන්ධයෙන් IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා සහ තවත් සාමාජිකයන් කිහිපදෙනකු විසින් ඊට අදාළව වාර්තාවක් සකස්කර ඇත.

මෙහිදී IMF ණය වැඩසටහනේ චීන සහභාගීත්වය පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආචාර්ය වීරසිංහ පවසා ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට සහ සිය ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට චීනයට සහායවනු ඇතැ යි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව යි.

නිල සහ වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.