සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය හම්බන්තොටට ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය පැවැත්වීමේ ස්ථානය වෙනස් කිරීමට මේ වන විට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඒ එම තරග පැවැත්වීම සඳහා පෙර සුදානම් කර තිබු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිහිටි කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයයි.
මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට රැගෙන යාම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සලකා බලමින් සිටියි.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ තරග මොනවාද ?
සැප්තැම්බර් 9 වෙනිදා සිට ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග මෙරට දී ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 9,10,12, 14 සහ 15 යන දිනවලදී එම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන සැප්තැම්බර් 17 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත.
වර්ෂාව නිසා අමුතුම ලෝක වාර්තාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාව
මීට 16 වසරකට පෙර, එනම් 2006 වර්ෂයේදී ද වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග 07ක් අඛණ්ඩව අවලංගු කිරීමට සිදුවීම නිසා ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබේ.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමග පැවති තුන් කොන් එක්දින තරගාවලිය අගෝස්තු මස 14 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පැවැත්වීමට සුදානම් කර තිබු අතර එම තරගාවලියේදී යැවීමට හැකිව ඇත්තේ එක් තරගයකදී පන්දු 22ක් පමණයි.
තරගාවලිය පැවැත්වෙමින් තිබු කාල සීමාවේදී කොළඹ සිදුවූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවෙන් පිටව ගියද, වර්ෂාව හේතුවෙන් සම්පුර්ණයෙන්ම තරගාවලිය අතහැර දැමීමට සිදුවූ බව ක්‍රිකට් වාර්තා පොත්වල දැක්වෙයි.
එම තරගාවලිය සඳහා පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ය. එමෙන්ම එම කණ්ඩායම නියෝජනය කළ අජිත් අගාකර් වත්මන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබීමද විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වර්ෂාව නිසා සේදී ගිය බලාපොරොත්තුව
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ පකිස්ථානය වුවද එරටදී තරග කිරීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරග කිහිපයක් හයිබ්‍රිඩ් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරන ලදී.
එම තීරණය අනුව ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග තුනක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි පළමු තරගය වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හැර සෙසු තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ගේ වැඩිම අවධානයක් හිමිකර ගෙන තිබූ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ද වර්ෂාව නිසා අත්හැර දැමිණි.
මේ අතර (සැප්තැම්බර් මස 4 වැනිදා) පැවති ඉන්දියාව සහ නේපාලය අතර වූ ක්‍රිකට් තරගයට ද වර්ෂාව හේතුවෙන් අවස්ථා කිහිපයකදී බාධා එල්ල විය.
දඹුල්ලට අකමැති ඇයි?
ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යෝජනා කර තිබුනද ඉන්දියාව ඇතුළු තවත් එක කණ්ඩායමක් එයට අකමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා නවාතැන් ගැනීමට සුදුසු හෝටල් නොමැති බව පවසමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉදිරි සතිය ගැන කාලගුණ අනාවැකිය
ඉදිරි සතියේදී කොළඹ ඇතුළු දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥවරිය බීබීසි සිංහල වෙත පැවසුවේ සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනවලදී විටින් විට කොළඹ දිස්ත්‍රික්කයට තද වැසි බලාපොරොත්තු වන බවයි.
සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර මීළඟ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද සැප්තැම්බර් මස 10 වෙනිදායි.
ආසියානු කුසලාන තරග කොළඹින් බැහැර ක්‍රීඩා පිටියකට ?
2015 වර්ෂයේ සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි 20 තරග 05ක් සහ එක්දින තරග 04ක් පවත්වා තිබේ. ඉන් වර්ෂාව නිසා බාධා එල්ල වී ඇත්තේ තරග දෙකකට පමණි.
වැසි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කාලගුණ දත්ත පුරෝකථන කර ඇති පසුබිමක ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වන විට පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වූ අවසන් නිවේදනය ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද හෝ හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
B කාණ්ඩයේ ඉරණම තීරණය කරන තීරණාත්මක තරගය අද
ආසියානු කුසලානයේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පකිස්ථානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි. මෙම තරගයේ ප්‍රතිඵලය මත B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා පත්වෙනු ඇත.
ඇෆ්ගනිස්ථානයට සුපිරි සිව්දෙනාගේ වටයට තේරීමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහොත් ලකුණු 275 කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කොට තරගය ලකුණු 68 කින් හෝ ඊට වැඩි ගණනිකින් ජය ගත යුතුයි.
එසේත් නොමැතිනම් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සිදුකළහොත් ලබා දෙන ඉලක්කය පන්දු වාර 35ක් තුලදී සම්පුර්ණ කළ යුතුය. අනෙක් අතින් අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාවෙනු ඇත.












