බංගලාදේශයට එරෙහි ජයත් සමග ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 11ක් ජය ගනියි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ පළමු තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් කඩුලු 05 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ පළමු තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් කඩුලු 05 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව පළමු වතාවට පිට පිට එක්දින තරග 11ක් ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඉකුත් ජුනි මස 04 වෙනිදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති එක්දින තරගයේ සිට මේ දක්වා එක්දින තරග 11ක් පිට පිට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම කැපි පෙනෙන වාර්තාවකි.

බංගලාදේශ පිතිකරුවන්ට පාරා වළල්ලක් වූ තීරණය

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසිය වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එම තීරණයට අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ටන්සීඩ් හසන් දෙවන පන්දු වාරයේ දී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්විය.

ඉන් පසුව ධනංජය සිල්වා විසින් මොහොමඩ් නයීම් ලකුණු 16 කට දවා ගනු ලබන වීට බංගලාදේශ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 7.4 කට ලකුණු 25ක් ලෙසය.

අත්හැරීම සහ රැක ගැනීම

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හුසේන් සැන්ටෝ විසින් ලකුණු දෙකක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් නායක දසුන් ශානක අතින් ගිලිහි ගියේය.

බංගලාදේශ නායකයා ලකුණු 05ක් ලබා ගෙන සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ඉතා අනර්ඝ අයුරින් රැක ගැනීමට කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය.

බිඳුණු ඉනිම ගොඩ නැගු මැද පෙළ

බංගලාදේශ ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 36 කදී බිඳ වැටීමෙන් අනතුරුව නජ්මුල් හුසේන් සැන්ටෝ සමග එක්වූ ටෝව්හිඩ් හිර්දෝයි සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට සමත් විය.

ලකුණු 20ක් රැස් කරමින් සිටියදී ටෝව්හිඩ් හිර්දෝයි ගේ කඩුල්ල දවා ගැනීමට නායක දසුන් ශානක සමත් විය. එවිට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 95ක් ලෙසය.

හිර්දෝයි ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි මුෂ්ෆිකර් රහීම් ලකුණු 13 කට දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හුසේන් සැන්ටෝ ලකුණු 89 කට දැවී ගියේය.

 සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 32 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 32 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවේ ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම පන්දු වාර 42.4 කදී ලකුණු 164 කට සීමා විය.

සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 32 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවේ ය.

මහීෂ් තීක්ෂණ ලකුණු 18 කට කඩුලු දෙකක් ද, ධනංජය සිල්වා, දසුන් ශානක සහා දුනීත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ද දවා ගනු ලැබීය.

පස්සට පය නොතැබූ බංගලාදේශ පන්දු යවන්නන්

ලකුණු 165ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය ඉනිමේ ආරම්භයේ සිට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් එල්ල වුයේ දැඩි පීඩනයකි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකට, පැතුම් නිශ්ශංක ලකුණු 14 කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 05 කට දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වීය.

 බංගලාදේශ පන්දු යවන්නන්

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

වගකීම උරමතට ගත් සදිර සහ අසලංක

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු තුනක් ලකුණු 43 කට දැවි ගොස් තිබියදී පිටියට එක්වූ සදිර සමරවික්‍රම සහ චරිත් අසලංක සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කිරීමට සමත් විය.

සදිර සමරවික්‍රම පන්දු 77 කදී ලකුණු 54ක් රැස් කරමින් සිටියදී දැවී ගිය අතර, ධනංජය සිල්වා ලකුණු දෙකකට දැවී ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු පුරුවේ සටහන් වුයේ ලකුණු 128 කට කඩුලු 05ක් ලෙසය.

සදිර සමරවික්‍රම පන්දු 77 කදී ලකුණු 54ක් රැස් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සදිර සමරවික්‍රම පන්දු 77 කදී ලකුණු 54ක් රැස් කළේය.

සදීර සමරවික්‍රමගේ දැවී යාමෙන් පසු චරිත් අසලංක පන්දු 92කදී නොදැවී ලකුණු 62ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබියදී ය.

චරිත් අසලංක පන්දු 92කදී නොදැවී ලකුණු 62ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චරිත් අසලංක පන්දු 92කදී නොදැවී ලකුණු 62ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සධීර සමරවික්‍රම පැවසුවේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දෙකක් දැවී ගොස් තිබීම නිසා කණ්ඩායමට හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම සඳහා ධනාත්මකව පිතිකරණයේ යෙදීමට සිතා ගත් බවය.

පන්දුව දඟ කැවෙන අතරම වේග පන්දු යවන්නන් විසින් යවන පන්දු තරමක් වේගය අඩාලව පිත්තට පැමිණීම නිසා එම තණ තීරුවේ පිතිකරණයේ යෙදීම පහසු කාර්යක් නොවූ බව ඔහු පැවසුවේය.

බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් පවසා සිටියේ එම තණ තීරුවේ ලකුණු 300ක් ලබා ගැනීම පහසු නොවන නමුත් තරගයක් දීම සඳහා අවම වශයෙන් ලකුණු 220 - 230ක් ලබා ගත යුතුව තිබු බවයි.

ශ්‍රී ලංකාව ලකුණු 30 කට කඩුලු තුනක් දැවී ගොස් සිටියදී තවත් ඉක්මන් කඩුල්ලක් දෙකක් දවා ගැනීමට අවස්ථාව නොලැබුණු බව ඔහු සඳහන් කළේය.

පිතිකරුවෙක් වශයෙන් තමන්ට වගකීමක් පැවරී ඇති නමුත් එය අද දිනයේදී ඉටුකරලීමට අවස්ථාවක් නොවූ බව ෂකිබ් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ බංගලාදේශය රැස් කළ ලකුණු ප්‍රමාණය සමග සැසදීමේදී තණ තීරුව යහපත් එකක් යැයි හැඟුණු බවයි.

"පන්දු යවන්නන් හොඳින් වගකීම් ඉටුකළා. ඒ වගේම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දි මෙම තණ තීරුව භාවිතා කර තිබු නිසා ඒ ගැන මනා අවබෝධයක් තිබුණා."

"අසලංක නැවත ලකුණු අතරට පැමිණීම යහපත් දෙයක්. ඒ වගේම සධීර හොඳින් ක්‍රීඩා කළා."

මතීෂ පතිරණ පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු වරට තරගයේ වීරයා ලෙස සම්මානය හිමිකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

එමෙන්ම වේගය අඩාල කරන ලද පන්දුවෙන් ඉනිමේ අවසන් භාගයේ කඩුලු දවා ගැනීමට හැකිවූ බව ද ඔහු පැවසුවේය.

මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මිළඟ තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර සැප්තැම්බර් 2 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය.