'තහඩුවක් ගියත් ලක්ෂ 10ක් ගෙවන' බවට ගත් තීන්දුවේ වෙනසක් - වන්දි ගෙවන්න අලුත් ක්‍රම 2ක්

    • Author, බීබීසී සිංහල

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීමේදී රජය විසින් ගෙන තිබූ තීන්දුවක් වෙනස් කර තිබේ.

අර්ධ වශයෙන් හානියට පත්වූ නිවසක් වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් කාණ්ඩ 4ක් යටතේ ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ඉහතදී පවසා තිබූ අතර එම තීන්දුවේ වෙනසක් සිදුව ඇත.

තක්සේරු නොකර ලක්ෂ 5ක වන්දියක්

ඒ අනුව, අර්ධ වශයෙන් හානි වූ නිවාසවලට සිදුවූ හානිය තක්සේරු නොකර වන්දි මුදල් ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නන්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

නිවාසවලට සිදුවූ හානිය තක්සේරු කර අදාළ වන්දි මුදල් ලබා ගැනීමට කැමත්තක් දක්වන පුද්ගලයන්ට තක්සේරු කිරීමෙන් පසුව උපරිම රුපියල් ලක්ෂ 25කට යටත්ව වන්දි ලබා දෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

"කාණ්ඩ කීපයකට තමයි ගෙවන්න තීරණය වෙලා තියෙන්නේ. නමුත් ඒ ගෙවල් කාණ්ඩ කීපයකට වර්ග කරන්න ගියා ම අපිට තක්සේරු කරන්න වෙනවා නේ, එතකොට තාක්ෂණික ඇගයීම් කණ්ඩායමක් ගිහිල්ලා බලන්න වෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල තාක්ෂණික නිලධාරීන් වෙනත් වැඩවලත් යෙදිලා ඉන්නේ. ඒ නිසා මේක කල්ගත වෙන්න බොහොම ඉඩ වැඩියි. ඒ නිසා මූලික වටයේදී අර්ධ හානි වෙච්ච නිවාසවලට ලක්ෂ 5ක තක්සේරු නොකර දීමනාවක් දෙනවා."

රජයේ බලධාරීන් විසින් නිවසට අර්ධ හානි සිදුව ඇති බවට තහවුරු කරන ලද නිවාස හිමියන්ට මෙලෙස තක්සේරු නොකර රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන අතර එය ලබා ගන්නා පුද්ගලයන්ට එම හානිය වෙනුවෙන් නැවත වන්දි ලබා දීමක් සිදු නොකරන බව ද ඇමතිවරයා කියා සිටියේ ය.

වන්දි ලබා දෙන්නේ කවදා ද?

ඇමතිවරයා පවසන්නේ, ලබන වසරේ ජනවාරි මාසයේදී නිවාස හානි සඳහා වන්දි ගෙවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ය.

තක්සේරු කර වන්දි මුදල් ලබා දීම මාසයක් හෝ දෙකක් ඇතුළත සිදු කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය සුසිල් රණසිංහ, රුපියල් ලක්ෂ 5ක වන්දිය ලබා දීමත් සමග තක්සේරු කර වන්දි ලබා දෙනු ලබන නිවාස සංඛ්‍යාව අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

"ගෙවල්වලට හානි ගෙවීම සඳහා තියෙන වැඩසටහන දැන් හදාගෙන යන්නේ. ආපදා සහන සේවා මධ්‍යස්ථානය තමයි ගෙවන්නේ. ඒ සම්බන්ධව නිශ්චිතව හෙට අනිද්දා නිල ප්‍රකාශයක් කරයි, චක්‍රලේඛ නිකුත් වෙයි මෙහෙමයි වෙන්නේ කියලා."

ආපදා තත්ත්වයෙන් පූර්ණ නිවාස හානි සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබා දෙන අතර, ඉඩම අහිමි පුද්ගලයන්ට රජයෙන් ඉඩමක් හෝ ඉඩමක් මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ලබා දීමට කටයුතු කරන බව ද නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

'තහඩුවක් ගියත් ලක්ෂ 10යි' - වන්දි ගැන ජනපති කළ මුල් ප්‍රකාශය

කෙසේ වෙතත්, දෙසැම්බර් 05 වන දා පාර්ලිමේන්තුවේදී වන්දි ලබා දීම සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මීට වෙනස් අදහසකි.

"ආපදාවට ලක්වෙලා තියෙන නිවාසයකට රුපියල් ලක්ෂ 25 දක්වා, ඒ ගෙවල් යළි ප්‍රතිසංස්කරණය සඳහා මුදලක් දෙනවා. අපි හිතනවා ඒක ලක්ෂ10,15,20,25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි ඒ, තහඩුවක් කියන්නේ එතන ඒ නිවසක් නෑ ඔවුන්ට. අපි දන්නවා ඒ පළාත්වල ප්‍රශ්නය. ඒගොල්ලන්ට අපි මොක ද කරන්නේ, නැවත ඒ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕනා."

ජනාධිපති ප්‍රකාශ කළ තීන්දුව වෙනස් වුණේ ඇයි?

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ එම තීන්දුව පසුව පැවති සාකච්ඡාවලින් පසුව වෙනස් වී ඇති අතර, තක්සේරු නොකර වන්දියක් ලබා දීමට තීන්දු ගැනීමට හේතුව පිළිබඳව ද අමාත්‍ය සුසිල් රණසිංහ පැහැදිලි කළේ ය.

"අපේ මූලික ඉලක්කය තමයි ගෙවල් විනාශ වෙච්ච එක් ලක්ෂ දහ දාහක් වගේ ප්‍රමාණයක් ඉන්නවා නේ පූර්ණ හා අර්ධ හානි වෙලා. ඒ කට්ටියගේ ජන ජීවිතය ස්ථාවර කරන්න, ඒ කට්ටිය පදිංචි කරන්න ඕන ඉක්මනටම. පදිංචි කරන්න ගියාම, නිවාස අර්ධ හානි වෙච්ච අවදානම් කලාපවල නොවන, තැන්වල ඉන්න කට්ටිය තමයි ඉක්මනට පදිංචි කරන්න පුළුවන්. එතකොට ලක්ෂ පහේ දීමනාව දුන්නා ම ඒකෙ ලොකු ක්‍රියාවලියක් නැහැ, සංකීර්ණ නැහැ ඉක්මනට ම හම්බ වෙනවා ගේ හදාගෙන පදිංචි වෙන්න පුළුවන්. ඔය ක්‍රියාවලිය පහසු කරන්න තමයි අපි තීරණයක් අරගෙන තියෙන්නේ ලක්ෂ පහේ දීමනාවක් දෙනවා තක්සේරු නොකර."

'ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව, උපරිමය රු 2,500,000.00ක් දක්වා. (හානි තක්සේරුව අනුව)' යනුවෙන් ආපදා වන්දි ලබා දීම සම්බන්ධව දෙසැම්බර් 05 වන දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ දැක්වේ.