ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිට්වා නිසා 'දරුවන් 73 දෙනෙකුට මව, පියා හෝ දෙදෙනා ම අහිමි වෙයි': දරුවන් වෙනුවෙන් රජයේ ඉදිරි සැලසුම කුමක් ද?
- Author, බීබීසී සිංහල
ජීවිත හානි සහ දේපළ හානි රැසක් සිදු කළ දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ ආපදා හේතුවෙන් දරුවන් 73 දෙනෙකුට මව, පියා හෝ ඔවුන් දෙදෙනා ම අහිමි වී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දෙසැම්බර් 16 වන දා වන විට ලැබී ඇති දත්ත අනුව, ඒ බව වාර්තා වන අතර ඉන් දෙමව්පියන් දෙදෙනා ම හෝ එක් අයෙකු අහිමි වූ වැඩි ම දරුවන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.
එම වාර්තාවට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 21 දෙනෙකුට, මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් 20 දෙනෙකුට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් 15 දෙනෙකුට සිය දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ අහිමි දරුවන් ලෙස හඳුනාගෙන ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.
එමෙන් ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 5 දෙනෙකුට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දරුවන් 4 දෙනෙකුට සිය මාපියන් දෙදෙනා ම හෝ ඉන් එක් අයෙකු අහිමි වී ඇති අතර මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවල දරුවන් 2 දෙනෙකුට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ එක් දරුවෙකුට ආපදා හේතුවෙන් එලෙස මාපියන් දෙදෙනා ම හෝ ඉන් එක් අයෙකු අහිමි වී තිබේ.
මෙම අගයන් ඉදිරියේදී ඉහළ යා හැකි බව ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
'තොරතුරු තවමත් ලැබෙමින් පවතිනවා'
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී, ප්‍රීති ඉනෝකා රණසිංහ මේ පිළිබඳව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, එලෙස මාපිය සෙනෙහස අහිමි වූ දරුවන් සම්බන්ධව තමවත් තොරතුරු ලබා ගනිමින් සිටින බව ය.
"සමහර ගම් තියෙනවා, ගම ම නැහැ. එතකොට අපිට තොරතුරු හොයා ගන්න බැහැ මොකක් ද වෙලා තියෙන්නේ කියලා. තවමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මේ තොරතුරු ලැබෙමින් පවතිනවා."
ඉදිරියේ ලැබෙන දත්ත අනුව මෙම සංඛ්‍යා වෙනස් විය හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ද පැවසුවා ය.
'අධිකරණයේ නඩු පවරලා කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ'
එලෙස දෙමව්පියන් අහිමි වූ බවට හඳුනාගත් දරුවන් තාවකාලික භාරකරුවන් භාරයේ සිටින බවත් ඉදිරියේ දී ඔවුන්ගේ භාරකාරීත්වය නෛතිකව නිශ්චිත භාරකරුවෙකුට පැවරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී, ප්‍රීති ඉනෝකා රණසිංහ බීබීසී සිංහල වෙත පැවසුවා ය.
"දැනට ඒ ළමයි අක්කා භාරයේ, අම්මා නැතිනම් තාත්තා භාරයේ, අම්මයි, තාත්තයි භාරයේ ඒ විදිහට ඉන්නවා. තාවකාලික භාරකාරත්වයෙත් ඉන්නවා. ස්ථිර භාරකාරත්වය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරලා කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ," ඇය පැහැදිලි කළා ය.
දරුවන්ට මේ මොහොතේ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය යපහත්ව තබා ගැනීමට සහය වීමට අවශ්‍ය බව පෙන්වා දුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඊට අවශ්‍ය කටයුතු තම අධිකාරිය මැදිහත්ව සිදු කරමින් සිටින බව ද සඳහන් කළා ය.
දරුවන්ට වන්දි ලැබෙන්නේ කොහොම ද?
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට රජය විසින් ලබා දෙනු ලබන වන්දි මුදල් දෙමව්පියන් අහිමි වූ දරුවන් වෙත ලබා දෙන ආකාරය පිළිබඳව බීබීසී සිංහල ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරියගෙන් විමසීය.
"වන්දි දැන් ම දෙන්නේ නැහැ. අධිකරණයෙන් භාරකාරයෙක් පත් කළා ම, ඒ භාරකාරයාට හෝ එහෙම නැතිනම් දරුවන්ට [බැංකු] ගිණුමක් ඇරලා, ඒකට තමයි ඒ මුදල් දාන්නේ. අද වෙනකම් වන්දියක් දරුවෝ වෙනකම් කියලා කිසි ම කෙනෙක් අතට දෙන්නේ නැහැ."
මෙලෙස දෙමව්පියන් අහිමි දරුවන් සම්බන්ධයෙන් රජය ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශනගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු කියා සිටියේ එම දරුවන් පිළිබඳව සියලු තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවත් මාපිය සෙනෙහෙස අහිමි වූ දරුවන් පිළිබඳව තවමත් තොරතුරු සොයා බලමින් සිටින බව ය.
එමෙන් ම මියගිය පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන රුපියල් මිලියනයක වන්දි මුදල ද, මෙම දරුවන්ට හිමි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
"එක පුද්ගලයෙක් නැති වුණොත් මිලියනයක මුදලක් වන්දි විදිහට ලැබෙනවා. එක පවුලේ වුණත් කීප දෙනෙක් නැති වුණත් ලක්ෂ දහය ගාණේ කවුරු හරි ඉතුරු වෙලා කෙනෙක් ඉන්නවා නම් එයාට ලැබෙනවා."
ආපදාවලින් බලපෑමට ලක්වන දරුවන් වෙනුවෙන් අලුත් පනතක්?
සුනාමියෙන් පසුව ඉන් තම දෙමව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් 'සුනාමි පනත' නමින් නීතියක් හඳුන්වා දුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම පනත මේ වසරේ අහෝසි වන බැවින් අනාගතයටත් බලපාන ලෙස නව පනතක් ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටින බව බීබීසී සිංහල වෙත පැවසීය.
"සුනාමි පනත කියලා එකක් සම්මත කරගත්තා නේ ළමයින්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන්. අවුරුදු 21ක් යනකම් ඒ දරුවන්ට රැකවරණය සලසන්න ක්‍රමවේදයක් සහිතව පනතක් සම්මත වුණා ඒ වෙලාවේ. ඒක අහෝසි වෙනවානේ අවුරුදු 21 පිරුණට පස්සේ. අපේ ඉස්සෙල්ලා සාකච්ඡාව තිබුණේ ඒකට සමාන පනතක් ගේමු ද කියලා. අධිකරණ ඇමතිතුමා එක්කත් අපි කතා කළා. එයලා එක්ක අපේ නීති නිලධාරීන් සාකච්ඡා කරමින් ඉන්නවා ආපදා කළමණාකරන පනතට ම, නීතිමය වටපිතාටාවක් හදන්න එවැනි තත්ත්වයකදී දරුවන් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා."
මෙවැනි අවස්ථාවක මව්පියන් දෙදෙනා ම අහිමි වූ දරුවන්ගේ භාරකාරීත්වය අධිකරණය මගින් යම් භාරකරුවකුට පවරන තෙක් තාවකාලිකව එවැනි දරුවන් ළමා සුරක්ෂණ මධ්‍යස්ථානයක් භාර තැබීමට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීමට සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන පැවසීය.