T20 ලෝක කුසලානය 2024 : ‘මේක විස්සයි 20 තරග ක්‍රීඩා කරන්න හොඳ තණ තීරුවක් නෙමෙයි’

2024 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වී අදට (ජුනි 11 වෙනිදාට) දින 11ක් ගතවී අවසන් ය.

T20 ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගේ සුපුරුදු දක්ෂතාවයන් දකින්නට මේ දක්වා ප්‍රේක්ෂකයින්ට නිසි අවස්ථාවක් හිමි නොවිය.

මේ දක්වා තරගාවලියේදී පිතිකරුවන් අභිබවා සිය අණසක පතුරුවන්නට සමත්වී ඇත්තේ පන්දු යවන්නන් වීම විශේෂත්වයකි.

මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ සිදුවුයේ කුමක් ද?

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුයේ පිතිකරණ අංශයෙන් වාර්තා පිට වාර්තා බිහිවූ IPL තරගාවලිය අවසන් වී දින කිහිපයකින් අනතුරුවය.

බොහෝ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වුයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී IPL තරගාවලිය මෙන් පිතිකරුවන්ගේ දස්කම් සමග හොඳ තරගාවලියක අත්දැකීම විඳ ගැනීමටය.

(ජුනි 10වැනිදා) දකුණු අප්‍රිකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති තරගයත් සමග මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පවත්වා ඇති මුළු තරග සංඛ්‍යාව 21ක් වන අතර එම තරග 21න් තරග 10ක් ඇමෙරිකාවේ ද, සෙසු තරග 11 බටහිර ඉන්දිය කොදෙව් දුපත් හි පිහිටි ක්‍රීඩාංගණ වලදී ක්‍රීඩා කරනු ලැබීය.

මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග 21 තුළ දී ලකුණු 200 සීමාව ඉක්මවා යාමට කණ්ඩායමක් සමත්ව ඇත්තේ එක් ඉනිමකදී පමණක් වීම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර බටහිර ඉන්දිය කොදෙව් දුපත් හි බ්‍රිජ්ටවුන් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 201 රැස් කිරීමට සමත් විය.

මේ දක්වා ඇමෙරිකාවේ ක්‍රීඩා කර ඇති තරගවලදී කණ්ඩායමක් විසින් ඉනිමකදී රැස් කළ උපරිම ලකුණු සංඛ්‍යාව වුයේ ලකුණු 197ක් පමණි.

ඇමෙරිකාවේ මේ දක්වා පවත්වා තිබෙන තරග 10 යෙන් තරග දෙකකදී ලකුණු 100 සීමාව ඉක්මවා යාමට කණ්ඩායම් වලට නොහැකි විය.

එමෙන්ම තරග 6 කදී කිසිදු කණ්ඩායමක් ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට අපොහොසත්වූ අතර ලකුණු 150 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට කණ්ඩායම් සමත්ව ඇත්තේ තරග 2 කදී පමණි.

ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රිඩාංගණවලට චෝදනාවක්

T20 ලෝක කුසලාන තරගාවලියේ දී සම සත්කාරකත්වය දරනු ලබන ඇමෙරිකාව විසින් ක්‍රීඩාංගණ 03ක් තරගාවලිය සඳහා සුදානම් කරන ලදී.

ඇමෙරිකාවේ ක්‍රීඩා කළ තරගවලදී පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම පිළිබඳ බොහෝ දෙනා චෝදනා එල්ල කළේ තණ තීරු සැකසීම සම්බන්ධයෙනි.

"තණතීරු ගැන යමක් කළ යුතුයි. මෙහි ඉන්දියාව සහ පකිස්තානය අතර පවත්වන තරගය ගැන හිතාගන්න බෑ" යැයි ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බොග්ලේ සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.

හර්ෂ බොග්ලේ අනුමාන කළ පරිදිම පසුගිය ජුනි මස 09 වෙනිදා නිව්යෝර්ක් හි නාසාව් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේදී දෙපිලම වාර්තා කළේ ලකුණු 232ක් පමණි. එහිදී දෙපිලේම කඩුලු 17ක් දැවී යන ලදී.

ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රිඩාංගණවල ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට ගෙන එන ලද තණ තීරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර නිවේදනය කරන ලදී.

විශේෂයෙන් නිව් යෝර්ක් හි පිහිටි නාසාව් ක්‍රීඩාංගණයේ තණ තීරු සවි කොට අවසන් කිරීම සිදුවුයේ T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ විමට සති කිහිපයක් ඉතිරිව තිබියදීය.

‘මේක T20 තරග සෙල්ලම් කරන්න හොඳ තණ තීරුවක් නෙමේ’

ඇමෙරිකාවේ ක්‍රීඩාංගණවලදී පිතිකරුවන් අපහසුතාවයට පත්වන හේතුව කුමක්දැයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා තරග විචාරක රොෂාන් අබේසිංහ ගෙන් බීබීසී සිංහල කළ විමසීමේදී ඔහු පිළිතුරැ දෙමින් කියා සිටියේ ඇමෙරිකාවේ ක්‍රීඩාංගණවල ඇති තණ තීරු තරග පැවැත්වීමට තරම් උචිත මට්ටමක නොතිබෙන බවයි.

"මම දකින පළවෙනි දේ තමයි ඇමෙරිකාවේ මේ සෙල්ලම් කරන්නේ Dropping Pitches වල."

"මේවා ගෙනල්ලා තියෙන්නේ කිලෝමීටර් දහස් ගානක් ඈත ඉදලා. මේ තණ තීරු ගේනකොට තිබුණු උෂ්ණත්වය, ඇමෙරිකාවට ගෙනාවට පස්සේ ගබඩා කරලා තියෙද්දී තිබුණ උෂ්ණත්වය වගේ සාධක ගොඩක් මේ පිචස් වල හැසිරීම තීරණය කරන්න හේතු වෙනවා.ඒක එක මුලික හේතුවක් විදිහට මම දකිනවා."

"ඒ වගේම අලුත් පිච් එකක් හැදුවම ඒක රෝල් කරන්න ඕන වගේම තරග ක්‍රීඩා කරන්න ඕන තණ තීරුව පදම් වෙන්න. ඒ කිසිම දෙයක් මෙතැනදී වෙලා නැහැ. තවම මේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරල තියෙන්නේ තරග 3-4ක් විතරයි."

"මේක තමයි මම දකින මුලික සහ ප්‍රධාන හේතුව මේ තණතීරුවල ලකුණු ලබා ගන්න අමාරු වීමට හේතුව."

"ඊයේ (ජුනි 10 වෙනිදා) දකුණු අප්‍රිකාව - බංගලාදේශය අතර තරගය බලන්න. දකුණු අප්‍රිකාව ලකුණු 25 කට කඩුලු 04ක් දැවී ගියා."

"ඊට කලින් දවසේ තිබ්බ ඉන්දියාව - පකිස්ථාන තරගයත් අඩු ලකුණු ගානකට සිමා වුණා. මේක අපි දකිනවා." ඔහු පැවසුවේය.

මෙවර T20 ලෝක කුසලාන තරගවලදී වෙනදා දක්නට ලැබෙන උද්වේගකාරීත්වය අත්විදීමට නොහැකිව ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

"අපි T20 ක්‍රිකට් තරගයක් කියන්නේ විනෝදාස්වාදයක් ගෙන එන තරග ක්‍රමයක් හැටියට."

"ඒකෙදී විනෝදාස්වාදය කියන්නේ පිතිකරුවෙක් එල්ල කරන හතරේ සහ හයේ පහරවල් වගේම රැස් කරන ලකුණු සංඛ්‍යාව එක්ක."

"මිනිස්සු තවමත් IPL එක ගැන කතා කරන්නේ එකේදි ලකුණු 200 ඉක්මවලා රැස් කරපු නිසයි."

"මේක අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියට වගේම විස්සයි 20 තරගවලට ඇති කරපු දුර්වල ප්‍රචාරණයක්."

"මේක විස්සයි 20 තරග ක්‍රීඩා කරන්න හොද තණ තීරුවක් නෙමෙයි. ඒක තමයි බොහෝ අයගේ අදහස. මගේ අදහසත් ඒකමයි." ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ICCය වැරැද්ද පිළිගනියි

ඇමෙරිකාවේ නාසාව් කවුන්ටි ක්‍රීඩාංගණයේ තණ තීරු සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 06 වෙනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරන ලදී.

නාසාව් ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වූ තරම් හොද ප්‍රතිඵල ගෙන නොදුන් නමුත්, ඉදිරි තරග සඳහා ලබා දිය හැකි ඉහළම මට්ටමේ තණතීරු ලබාදීමට උත්සාහ ගන්නා බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.