ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
IPL 2024: මිල අධික ක්‍රීඩකයින් රැසක් අසාර්ථක වෙද්දී තරග උඩුයටිකුරු කළ නවක ක්‍රීඩකයෝ
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි වී හමාර ය. ඔවුන් එම ශූරතාව දිනා ගත්තේ, තුන් වන වරට ය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වූයේ, T20 ක්‍රිකට් තරග රටාව උඩුයටිකුරු කළ සුවිශේෂී තරගාවලියක් ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
මෙවර තරගාවලිය පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වූ අතර, තරග 74කදී ලකුණු 200 ඉක්මවූ අවස්ථා 41ක් වාර්තා වී තිබේ.
මේ අතර, පිතිකරුවන්ට කොතෙක් වාසිසහගත වුව ද, පන්දු යවන්නන් කිහිප දෙනෙකු පන්දු වාරයකදී ලබා දුන් ලකුණු සාමාන්‍යය 7ට අඩු අගයක පවත්වා ගැනීමට ද සමත් වී ඇත.
කෙසේ වෙතත්, විරාට් කෝලි, ට්‍රැවිස් හෙඩ්, ජොස් බට්ලර්, රිෂාබ් පන්ත්, සුනිල් නරයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හැර, මෙතෙක් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත්තේ, නවක ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
පන්දු යවන්නන් ගතහොත් ජස්ප්‍රිට් බුම්රා, සුනිල් නරයින් ඇතුළු සුළු පිරිසක් හැර සෙසු බොහෝ ප්‍රවීණ පන්දු යවන්නන් පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වනු දැකගත හැකි විය.
මෙම ලිපියෙහි අරමුණ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩකයින් කවුදැයි හඳුන්වා දීම ය.
රුතුරාජ් ගයික්වාද් (චෙන්නායි සුපර් කිංග්ස්)
රුතුරාජ් ගයික්වාද් චෙන්නායි සුපර් කිංග්ස් නායකයා ලෙස කටයුතු කරයි.
තරගාවලියේ වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් අතර (Orange Cap) 2 වන ස්ථානයේ පසු වන රුතුරාජ් ගයික්වාද් තරග 14කදී ලකුණු 583ක් රැස් කළේ ය.
ඔහු එම තරග 14 තුළදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් රැස් කර ඇති අතර, ඔහුගේ ලකුණු සාමාන්‍යය 53.00ක අගයක් ගනී.
ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමේ මෙතෙක් ස්ථාවර ස්ථානයක් හිමි වී නැත.
ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 6ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 19කට සහභාගි වී තිබේ.
මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ඉන්දීය සංචිතයට රුතුරාජ් ගයික්වාද් ඇතුළත් කර නැත.
අභිෂේක් ෂර්මා (සන්රයිසස් හයිද්‍රාබාද්)
මේ වන විට IPL ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රිකට් විචාරකයින්ගේ වැඩි ම කතාබහට ලක්ව ඇති ක්‍රීඩකයෙකු ලෙස අභිෂේක් ෂර්මා හැඳින්විය හැකි ය.
2018 වසරේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කර ගන්නා විට ඔහුගේ වයස 17ක් විය.
මේ වන විට වයස අවුරුදු 23ක පසු වන ඔහු තරග 16කට ක්‍රීඩා කරමින් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 484ක් රැස් කිරීමට සමත් විය.
ට්‍රැවිස් හෙඩ් සමග ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන් අභිෂේක්, දැඩි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටී.
ඔවුන් දෙදෙනා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පළමු පන්දු වාර 6 තුළදී, එනම් පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 125ක් රැස් කරමින් වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූහ.
අභිෂේක් ෂර්මාගේ ලකුණු රැස් කිරීමේ වේගය 204.21කි.
ඔහු ද මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ඉන්දීය සංචිතයට ඇතුළත් කර නැත.
රියන් පරාග් (රාජස්ථාන් රෝයල්ස්)
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් අතර රියන් පරාග් 3 වන ස්ථානයේ පසු වෙයි.
ඉනිම 16කදී පන්දුවට පහර දුන් ඔහු ලකුණු 573ක් රැස් කළේ ය.
ඊට අර්ධ ශතක 4ක් ඇතුළත් ය.
ඔහු 6 පහර 33ක් සහ 4 පහර 40ක් එල්ල කර තිබේ.
රියන් පරාග් ද පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කර නොමැත.
බී. සායි සුදර්ශන් (ගුජරාට් ටයිටන්ස්)
තවමත් 22 හැවිරිදි වියේ පසු වන බී. සායි සුදර්ශන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් ලක්ෂ 20කට ය.
අඩු වටිනාකමක් ලැබුණ ද ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී ලකුණු 527ක් රැස් කර තිබේ.
වැඩි ම ලකුණු රැස් කළ පිතිකරු ලැයිස්තුවේ ඔහු පසු වන්නේ, 6 වන ස්ථානයේ ය.
ඔහුට ද මෙවර පන්දු වාර 20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී නැත.
ශෂාන්ක් සිං (පන්ජාබ් කිංග්ස්)
ශෂාන්ක් සිං සුවිශේෂී ක්‍රීඩකයෙකු වන්නේ, වැරදීමකින් පන්ජාබ් කණ්ඩායමට මිල දී ගනු ලැබූව ද, ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා විශාල මෙහෙයක් ඉටු කිරීම නිසා ය.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් තරග 14කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 354ක් රැස් කිරීමට සමත් වී තිබේ.
ඔහු වැරදීමකින් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට ය.
ඔහුට මේ වන තෙක් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී නැත.
වරුන් චක්‍රවර්තී (කොල්කටා නයිට් රයිඩර්ස්)
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන වරුන් චක්‍රවර්ති මේ වන විට වැඩි ම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයේ පසු වෙයි.
ප්‍රමුඛ පෙළේ පන්දු යවන්නෙකු නොවන ඔහු කඩුලු 21ක් බිඳ හෙළීමට සමත් විය.
වැඩි ම කඩුලු ලාභීන් අතරින් ඔහු පසුපසින් සිටින්නේ, හර්ෂාල් පටෙල්ට පමණි.
ඔහු එක්දින තරග 6කදී ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.
මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංග්ස්)
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ කඩුලු 13ක් බිඳ හෙළුවේ, තරග 6කට පමණක් ක්‍රීඩා කරමිනි.
ඔහු ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව අඩු වීම නිසා ඔහු වැඩි ම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 23 වන ස්ථානය තෙක් පසු බැස තිබේ.
ජේක් ෆ්‍රේසර් - මැක්ගර්ක් (දිල්ලි කැපිටල්ස්)
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කළ මුල් තරග 5ට නොකැඳවන ලද ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් පසුව ක්‍රීඩා කළ තරග හතේදී ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් වූයේ, කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණය ඍජුව බලපෑ හෙයිනි.
මේ වන විට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එල්ල කළ වේගවත් ම අර්ධ ශතක දෙක ම ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබේ.
ඔහු තරග දෙකකදී පන්දු 15කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
ඊට අමතරව, ඔහු පන්දු 35කදී සහ පන්දු 20කදී ද අර්ධ ශතක දෙකක් රැස් කර තිබේ.
තරග 9කට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 330ක් රැස් කළ අතර, අඩු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම නිසා සෙසු පිතිකරුවන්ට සාපේක්ෂව රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව අඩු හෙයින් ඔරේන්ජ් කැප් ලැයිස්තුවේ සිටින්නේ, 29 වන ස්ථානයේ ය.
ඔහු මෙතරම් දක්ෂතා දැක්වුව ද, පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියට නම් කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඔහු ඇතුළත් කර නැත.
සමස්තයක් ලෙස විශ්ලේෂණය කිරීමේදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නවක ක්‍රීඩකයින් වැඩි දක්ෂතා අතර සිටි බව පෙනී යයි.