කුරුසිපත් කිරීමේ සිරිත ඇරඹියේ කවදා ද? කෙසේ ද?

    • Author, මාගරීතා රොද්‍රිගුවස්
    • Role, බීබීසී මුන්ඩෝ

කුරුසය මත මියගිය ප්‍රසිද්ධතම පුද්ගලයා ජේසුතුමන් ය. නමුත් උන්වහන්සේ ඉපදීමටත් බොහෝ කලෙකට පෙර සිටම මෙම බිහිසුණු දඬුවම් ක්‍රමය භාවිතාවේ පැවැතියේ ය.

"පුරාතන යුගයෙ දි කාවහරි මරන්න පාවිච්චි කරපු ම්ලේච්ඡතම ක්‍රම තුනෙන් ඉතාම නරකම ක්‍රමය විදියට සැලකුණේ කුරුසියට තියලා ඇණ ගහන එක," දකුණු අප්‍රිකාවේ නිදහස් රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ පර්යේෂිකාවක ද, කතුවරියක ද වන ලුවිස් සිලියර්ස් බීබීසීයට පවසයි.

"ගිනි තියලා [මරණ] එක යි, හිස ගසා දමන එක යි ඊට පස්සෙ තියෙන්නේ."

"ඒක, මිනිස්සු තුළ පුළුවන් තරම් භීතියක් ඇතිකරන්න බලාගෙන සිදුකරපු අතිශය කෲරත්වයේ සහ සංදර්ශනාත්මකබවේ එකතුවක්," ස්පාඤ්ඤයේ නවාරා විශ්වවිද්‍යාලයයේ දේව ධර්මය පිළිබඳ පීඨයේ සහකාර මහාචාර්යවරයෙකු වන දියේගෝ පෙරේස් ගොන්දාර් සඳහන් කරයි.

බොහෝ අවස්ථාවන්හි දී, වින්දිතයාගේ මරණය සිදුවූයේ කුරුසිපත් කිරීමෙන් දින ගණනකට පසු, එතැනින් ඇවිද යන ඕනෑම කෙනෙකුගේ දෑස ඉදිරියේ ය.

මෙහිදී ශරීරය හුස්ම හිරවීම, රුධිර වහනය, විජලනය, විවිධ ඉන්ද්‍රීන් අක්‍රීයවීම ඇතුළු බොහෝ ගැටලුවල එකතුවක් අත්විඳියි.

නමුත්, කුරුසියේ ඇණ ගැසීම ප්‍රථමයෙන් සිදුවූයේ කොහේ දී ද සහ කෙසේ ද යන්න ගැන අප දන්නේ මොනවා ද?

ක්‍රිස්තුස්වහන්සේටත් වසර 500කට පෙර දී

ආචාර්ය සිලියර්ස් විශ්වාස කරන පරිදි කුරුසිපත් කිරීම බොහෝවිට ඇරඹෙන්නට ඇත්තේ, අද අප 'මැද පෙරදිග' ලෙස හඳුන්වන ප්‍රදේශයේ බොහෝ කලකට පෙර පැවති මහා ශිෂ්ටාචාරයන් ද්විත්වයක්වන ඇසිරියානුවන් හා බැබිලෝනියානුවන්ගෙනි. මරණ දඬුවම ලබාදීමේ මෙම ක්‍රමය, "ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දි පර්සියානුවන් ක්‍රමිකව ක්‍රියාත්මක කර ඇතැ,"යි ද ඇය විශ්වාස කරයි.

මේ පිළිබඳ පැරණිතම තොරතුරු අපට ලැබෙන්නේ විවිධ ඇසිරියානු මාළිගා සැරසිලි වලින්බව මහාචාර්ය පෙරේස් පෙන්වා දෙයි.

"ඒවයෙ බිත්තිවල තියෙනවා සටන්, යටත්කර ගැනීම් වගේම, හිරකාරයො මරාදාපු ක්‍රම පෙන්වන චිත්‍ර සටහන්. ඒකෙ පෙන්වන උල තැබීමේ තාක්ෂණ ක්‍රමය, කුරුසිපත් කිරීමට ටිකක් සමානබව පේන්න තියෙනවා."

2023 දී ආචාර්ය සිලියර්ස් කුරුසිපත් කිරීමේ ඉතිහාසය සහ ව්‍යාධි විද්‍යාව සම්බන්ධයෙන් ලිපියක් ලිවීය. මෙය දකුණු අප්‍රිකානු වෛද්‍ය ජර්නලයේ ප්‍රකාශයට පත්විය.

පර්සියානුවන්, විධිමත් කුරුසිය මත ඇණ ගසනවාට වඩා, ගස් හා කණු මත තබා ඇණ ගැසීම සිදුකළබව ඇය එහි දී පැහැදිලි කරයි.

"දඬුවමට ලක්වන තැනැත්තා අවමනට පාත්‍ර කිරීමත්, කුරිරු මරණයක් ලබාදීමත් මරණ දඬුවමටම සම්බන්ධ කරන එක [ඒ කාලේ] නිතර සිද්ධවුණා. එයින් එක් ක්‍රමයක් වුණේ, හුස්ම හිරවීමෙනුයි මහන්සියෙනුයි මැරිලා යන්න ගහක එල්ලලා යන එක," මහාචාර්ය පෙරේස් වැඩිදුරටත් පවසයි.

ව්‍යාප්තිය

ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ දී, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මෙම දඬුවම නැගෙනහිර මධ්‍යධරණී රටවලට ගෙන ආවේ ය.

"ඇලෙක්සැන්ඩරුයි ඔහුගෙ සේනාවයි 'ටයර්' නම් නගරය (වර්තමාන ලෙබනනය) වැටලුවා. ඒක අඩුවැඩි වශයෙන් බිඳ හෙළිය නොහැකි නගරයක්," ආචාර්ය සිලියර්ස් කියයි.

"අවසානයේ ඔවුන් නගරයට කඩා වැදුනම, නගරවැසියන්ගෙන් 2000ක් විතර කුරුසෙ තියලා ඇණ ගැහුවා."

මහා ඇලෙක්සැන්ඩර්ගේ අනුප්‍රාප්තිකයෝ ඊජිප්තුවට හා සිරියාවට පමණක් නොව, ෆිනීෂියානුවන් විසින් ගොඩනගන ලද මහා උතුරු අප්‍රිකානු නගරය වූ කාර්තිජ් වෙත ද මෙම දඬුවම හඳුන්වාදුන්හ

පියුනික් යුද්ධය අතරතුරේ දී (ක්‍රි. පූ. 264 - 146) මෙම තාක්ෂනය උගත් රෝමානුවන් එය "වසර 500ක් පුරා පරිපූර්ණ කළ" වග පර්යේෂිකාව පවසයි.

"රෝමන් හමුදා කොහේ කොතැන ගියත් කුරුසිපත් කිරීම සිදුකළා," ඇය පවසයි.

එසේම, ඔවුන් මේ මරණ දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කළ ඇතැම් ස්ථානයන්හි දී, ප්‍රදේශවාසීහු එය වැළඳගත්හ.

ක්‍රිස්තු වර්ෂ නවයේ දී, තොයිතොබර්ග් වනයේ සටනින් ජය ගැනීමෙන් අනතුරුව, ජර්මානු ජෙනරාල්වරයා වූ ආමීනියස් රෝමානු සොල්දාදුවන් කුරුසිපත් කරන ලෙස අණ දුන්නේ ය. ඉන්, ජර්මානු ගෝත්‍රයන් අතින් රෝමානුවන් ලැබූ අවමන්සහගත පරාජය නිරූපණය කෙරිණි.

ක්‍රිස්තු වර්ෂ 60 දී, පෞරාණික බ්‍රිතාන්‍ය ගෝත්‍රයක් වූ අයිසීනායිහි රැජිණ, බූඩිකා, ආක්‍රමණික රෝමානුවන්ට එරෙහිව මහා කැරැල්ලක් මෙහෙයවූ අතර රෝම සොල්දාදුවන් ගණනාවක් කුරුසිපත් කළා ය.

ශුද්ධ වූ දේශය

පුරාණ ඊශ්‍රායලය, රෝමානුවන් පැමිණීමට ද පෙර සිටම මෙවැනි දණ්ඩන ක්‍රමයක් භාවිතා කර ඇත.

"රෝමානුවන් ශුද්ධ වූ දේශය අත්පත්කර ගන්නත් කලින් සිද්ධවුණු කුරුසිපත් කිරීම් ගැන සඳහන් මූලාශ්‍රයයන් අපට තියෙනව," මහාචාර්ය පෙරේස් පවසයි.

එම මූලාශ්‍රයයන්ගෙන් එක් අයෙකුවන්නේ, ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී ජෙරුසෙලමේ උපන් රෝමානු-යුදෙව් ජාතික ඉතිහාසඥයෙකු, දේශපාලඥයෙකු, හා සොල්දාදුවෙකු ද වූ ෆ්ලාවියුස් යෝසේෆුස් ය.

යුදෙව්වන් 27 වසරක් පාලනය කළ අලෙක්සන්දර් යනායුස්ගේ පාලන සමය (ක්‍රි. පූ. 125 - 76) පිළිබඳ ඔහු තැබූ සටහන්වල, ක්‍රි. පූ. 88 දී පමණ සිදුවූ සමූල කුරුසිපත් කිරීමක් ගැන ඔහු සඳහන් කරයි.

"ඔහු ප්‍රකටව පෙනෙන ස්ථානයකටවී සිය උපපතිනියන් සමග සමරමින්, යුදෙව්වන් 800ක් දෙනා කුරුසිපත් කරන්නට අණ කළේ ය, එසේම ඔවුන්ගේ දරුවන් ද, ඔවුන්ගේ භාර්යාවන් ද, තවමත් පණ පිටින් සිටි අවාසනාවන්තයින්ගේ දෑස් ඉදිරිපිට දී මරා දමන්නට ඔහු අණ කළේ ය," ෆ්ලාවියුස් යෝසේෆුස් ලියා තිබේ.

රෝමානුවන්

නමුත් ආචාර්ය සිලියර්ස් පවසන පරිදි, මෙම දඬුවමට X හැඩයේ කුරුසය ද ඇතුළු විවිධාකාරයේ කුරුසයන් ඇතුළත්කර තිබුණේ රෝමානුවන් ය.

"එහෙම නමුත්, ඔවුන් බොහෝ අවස්ථාවන්වල භාවිතා කළේ ප්‍රසිද්ධ ලතින් කුරුසය, ඒ කිව්වෙ 'ටෝ' එක (ඉංග්‍රීසි හෝඩියේ ටී අකුර හැඩයේ කුරුසය). මේ කුරුස උසට හැදුවට, සුලබ වුණේ මිටි කුරුසය. ඒක කෙලින් හිටවපු කණුවක් සහ හරස් දණ්ඩකින් (පැටිබියුලම) සමන්විත වුණා."

කුරුසියේ උස් කණුව මරණ දඬුවම ලබාදෙන ස්ථානයට ගෙනයෑම පැවරුණේ ද මරණ දඬුවමට ලක්වන තැනැත්තාට ය.

"ඒ තැනැත්තා නිරුවතින් නොහිටියොත්, ඔහුගේ ඇඳුම් ඉවත්කරලා, ඉන් පස්සේ කණුව මත උඩුකුරුව වැතිරිලා, පැටිබියුලම උඩින් අත් දෙක විහිදුවලා තියවනවා."

ලේ වැකුණු ක්‍රියාවලිය

අනතුරුව ඔවුන්ගේ බාහු හරස් දණ්ඩට තබා බඳිනු ලැබීම හෝ මැණික් කටුව හරහා ඇණ ගැසීම මඟින් නොසෙල්වෙන සේ තබයි.

සාමාන්‍යයෙන් වින්දිතයාගේ අත්ලට ඇණ නොගැසුවේ, වින්දිතයාගේ ශරීර බර හේතුවෙන් අත්ලෙහි මාංශය ඉරීයෑමට හැකි නිසාවෙනි. ඒ වෙනුවට, අස්ථි මඟින් ඇණය සිරකර තබාගනු ඇති ස්ථාන වන මැණික් කටුවට හා ඉදිරි බාහුවට ඇණ ගසනු ලැබුණි.

මෙම එක් ඇණයක් සෙන්ටිමීටර 18ක් පමණ දිගු, සෙන්ටිමීටරයක් පමණ ඝනකම් ඒවා විය.

දඬුවමට ලක්වන තැනැත්තා තිරස් දණ්ඩට සම්බන්ධ කළ පසු, ඔහු හෝ ඇය ඉහළට ඔසවා, ඒ වන විටත් පොළොවට සිටුවා ඇති සිරස් කණුවට සවිකරනු ලබයි.

ඔවුන්ගේ දෙපා සිරස් කණුවට තබා බඳිනු හෝ ඇණ ගසනු ලැබෙයි. මෙය, එක්කෝ දෙපය කණුව දෙපසින් තිබෙන ලෙස හෝ එක් පයක් මත අනෙක තිබෙන අයුරින් සිදුකරනු ලැබේ.

දෙපය එක මත එක තබා ඇණ ගසන විට දී, වින්දිතයාගේ දණහිස් නැමී තිබෙන අයුරින් සකස්කර, එකපිට තැබූ දෙපයේම පතුල් අස්ථි හරහා විනිවිද යන සේ එක් ඇණයක් ගසනු ලැබේ.

මින් ඇතිකළ වේදනාව සිතින් මවාගන්නට ද අපහසු ය.

"ස්නායු කීපයකටම බලපානවා," මහාචාර්ය පෙරේස් පවසයි.

"කෙලින් වාඩිවෙලා හුස්ම ගන්න නම් කකුල්වලට ගැම්ම ගන්න වෙනවා."

එසේ සිදුකරද්දී, "ලේ ගොඩක් ගලනවා, වේදනාව හුඟක්ම වැඩියි, නමුත් එහෙම නොකළොත්, ඔබ හුස්ම හිරවෙලා මැරෙනවා."

බොහෝවිට එය සෙමින් සිදුවන මරණයක් වූ අතර, අභ්‍යන්තර ඉන්ද්‍රීයයන කීපයක් අක්‍රීයවීමෙන් පසු පැමිණියේ ය.

මෙය සිදුවන්නේ රුධිර සංසරණය බිඳවැටීම නිසා සිදුවන හයිපොවොලීමික කම්පනය හේතුවෙන්බව ආචාර්ය සිලියර්ස් පැහැදිලි කරයි - රුධිර වහනය හා විජලනය නිසා වින්දිතයින් අඩු රුධිර පරිමාවෙන් (හයිපොවොලීමියා) පීඩා විඳි නමුත්, ප්‍රධානකොටම ශ්වසන අපහසුතාවෙන් ද පීඩාවට පත්විය.

බොහෝදෙනා හුස්ම හිරවීම නිසා මියගියහ.

පැය ගණන්, දින ගණන් විඳවීම

කුරුසිපත් කරනු ලැබූ බොහෝදෙනා මියයෑම සඳහා දින ගණනක් ගතවීම, දණ්ඩන ක්‍රමයේ කෲරත්වය උග්‍ර කළේ ය. එනමුත් ඔවුන් පැය කීපයක් තුළ දී ද මියයෑමට හැකිබව කියනු ලැබේ. බයිබලයට අනුව ජේසුතුමන් කුරුසිය මත ගතකර ඇත්තේ පැය හයකි.

"සමහර අවස්ථාවල, මරණය ඉක්මන් කරන්න බලාගෙන සොල්දාදුවො කළේ වින්දිතයාගෙ දණහිසට ගහලා කකුල් බිඳින එක. එහෙම කළාම වින්දිතයට බැරිවෙනවා දෙපයේ මස්පිඬු ආධාරයෙන් [රුකුල් අරගෙන] හුස්ම ගන්න. එතකොට ඔවුන් ඉක්මණින් මැරෙනවා," මහාචාර්ය පෙරේස් පවසයි.

බයිබලයට අනුව, ජේසුතුමන්ගේ දෙපසින් කුරුසිපත් කළ අපරාධකරුවන් දෙදෙනා සඳහා රෝමානු සොල්දාදුවන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතිමුත්, ජේසුතුමන් ඒ වන විටත් මියගොස් සිටිබැවින් උන්වහන්සේට එසේ සිදුකර නැත.

"ජේසුතුමන්ට ඒ වෙනකොටත් කස පහර දීලා තිබුණා. මේ කසය [කසයේ අගට] ලෝහ කෑලි, අස්ථි කෑලි අමුණලා හදපු එකක්. [ඉන් පහරකෑ නිසා] උන්වහන්සේ ඒ වෙනකොටත් සෑහෙන රුධිර පරිමාවක් අහිමිවෙලා තිබුණා. ඇත්තෙන්ම, කස පහර කෑමෙන්ම පමණක් මියගිය මිනිස්සු ඉන්නවා," විද්‍යාර්ථියා සඳහන් කළේ ය.

'පරම සතුරන්'

කුරුසිපත් කිරීමේ අරමුණ වූයේ දණ්ඩනයට ලක්කෙරෙන්නන් "මහජනයාට නිරාවරණය කිරීම සහ අවමානයට පාත්‍ර කිරීම" බව මහාචාර්ය පෙරේස් පවසයි.

"යම්කිසි අපරාධයක් කිසිවෙකු විසින් සිදුකිරීම රෝමානුවන්ට අවශ්‍ය නැතිබව පැහැදිලිව පෙන්නන්න, පරම සතුරන් වෙනුවෙන් වෙන්කළ මරණයක් ඒක."

එය බොහෝවිට යොදාගෙන ඇත්තේ රෝම වැසියන් සඳහා නොව වහලුන් සහ විදේශිකයන් වෙනුවෙනි.

"කුරුසිපත් කිරීම බොහෝ වෙලාවට බැඳිලා තිබුණේ රාජද්‍රෝහීකම, හමුදා කැරලි, ත්‍රස්තවාදය සහ රුධිරය වැගිරීම සිදුවෙන්න ඉඩ තිබුණු අපරාධයන් එක්ක යි."

එම හේතුව නිසාවෙන්, ජේසුතුමන් කුරුසියේ ඇණ ගසනු ලැබීම සැබැවින්ම වැදගත්බව මහාචාර්ය පෙරේස් පවසයි.

"නමුත් ඔවුන් උන්වහන්සේ අනතුරක් විදියට දැකපු එකත් කැපී පෙනෙන කාරණාවක්."

"ලෝකය වෙනස්වෙනවාට අකමැති පුද්ගලයො උන්වහන්සේව ඉවරයක් කරලා දාන්න උත්සාහ කළා විතරක් නෙවෙයි, ඔවුන් උන්වහන්සේට මරණ දඬුවම ලබාදෙන්න තෝරාගත් ක්‍රමයෙන් ඔවුන් උත්සාහ කළා [උන්වහන්සේගේ පණිවුඩය] ඉදිරියට යා යුතු නැතිබව පැහැදිලිව පෙන්නන්න."

අහෝසි කිරීම

ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවසේ දී පළමු කොන්ස්ටන්ටීන් නම් රෝම අධිරාජයා කුරුසිපත් කිරීම අහෝසිකර දැමූ අතර, කිතු දහම වැළඳගත් පළමු රෝම අධිරාජයාබවට පත්විය.

ඔහු කිතු දහම නීත්‍යානුකූල කළ අතර, සාම්ප්‍රදායික ආගම්වලට අහිමිවූ වරප්‍රසාද ඔහුගේ අනුගාමිකයින්ට ලැබුණි. මෙය, රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිකරණයට මඟ පෑදීය.

එනමුත්, එම දණ්ඩනය ලොව වෙනත් තැනක දී භාවිතාවේ යෙදවිණි. 1597 වසරේ ජපානයේ ඉද මිෂනාරිවරුන් 26 දෙනෙකු කුරුසිපත් කෙරුණු අතර, එරට කිතුණුවන්ට එරෙහි පීඩාසහගත දිගු කාලච්ඡේදයක් එසේ ඇරඹිණි.

එනමුත්, එහි කෲර ඉතිහාසය තිබියේවා, කුරුසය කිතුණුවන්ට ප්‍රේමයේ නාමයෙන් සිදුකළ කැපකිරීමක් සංකේතවත් කරයි.