'සියවස් දෙකක් පැරණි' තැපැල් සේවය රටට තවදුරටත් අවශ්‍ය ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ඇසිපිය හෙළන ක්ෂණයකින් ලෝකයේ එක් කෙලවරක සිට තවත් කෙලවරකට පණිවිඩයක් යැවීමට තරම් සන්නිවේදන තාක්ෂණය දියුණු වී තිබේ.
විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ සන්නිවේදනය මෙතරම් දියුණු වුව ද තැපැල් සේවය තවමත් ලොව පුරා බොහෝ රටවල නොනැසී පවතී.
"වසර දෙසීයක පනහකට වැඩි කාලයක් පුරා" තවමත් මෙරට ක්‍රියාත්මක වන තැපැල් සේවයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ කෙටි විමසුමක් බීබීසි සිංහල අපි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නෙමු.
ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්දේසි යටත් විජිත පාලන සමයේ මෙරට තැපැල් සේවය ආරම්භ කර ඇත්තේ 1978 වසරේදී ය. ඒ මුහුදුබඩ පළාත්වල මුල් ම තැපැල් කාර්යාල කිහිපයක් ආරම්භ කරමිනි.
මුල් වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල් ගාස්තු නියම කිරීම 1799 වසරේ සිදුවූ බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වේ.
ලන්දේසීන් විසින් පිහිට වන ලද "ඊස්ට් – ඉන්දියා කොම්පැණි" නමැති ආයතනය එවකට තැපැල් සේවාව මෙහෙය වූ අතර එය රාජකාරී කටයුතු සඳහා පමණක් සීමා විය. සාමාන්‍ය ජනතාවට තැපැල් පහසුකම් ලබා ගැනීමට එමගින් ඉඩ නොලැබිණි.
බ්‍රිතාන්‍යයන් රටේ පාලනය සියතට ගත් පසුව, තැපැල් සේවාව ප්‍රතිසංවිධානය කරන ලද අතර 1882දී ස්ථිර තැපැල් කාර්යාලයක් කොළඔ පිහිටුවන ලදී.
මෙරට තැපැල් ඉතිහාසයේ සන්ධිස්ථාන
ආසියාවේ මුල් ම තැපැල් රථය හඳුන්වා දීමේ ගෞරවය ශ්‍රී ලංකා තැපෑලට හිමි වන අතර එය 1832දී කොළඹ සහ මහනුවර අතර ක්‍රියාත්මක වී තිබේ. 1838දී තවත් තැපැල් රථයක් කොළඹ සහ ගාල්ල අතර ආරම්භ කරන ලද බව තැපැල් ඉතිහාසයේ සඳහන් වේ.
1877 අප්‍රේල් 1 වන දා මුල් වරට ශ්‍රී ලංකාව විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. 1949 ජූලි මස 13 වන දා නිදහස් රටක් වශයෙන් නැවතත් නිදහස ලබා ගැනීමෙන් පසු එහි සාමාජිකත්වය යථාවත් කර ලොව පළමු වැනියා බවට පත්වීමට මෙරට තැපෑලට හැකි වූ බව තැපැල් ඉතිහාසයේ සඳහන් වේ.
වසරකට දෙසීය පනහකට වැඩි ඉතිහාසයක් ඇති මෙරට තැපැල් දෙපාර්තුමේන්තුව සතුව වර්තමානය වන විට තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල, ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල ඇතුළු කාර්යල 4,138කින් සමන්විත ජාලයක් පවතී.
මුල් කාලයේ පණිවිඩ හුවමාරු වුණේ කොහොම ද?
මෙරට තැපෑල ආරම්භයේදී ඊතල යොදා ගනිමින් මෙන් ම පක්ෂීන් යොදා ගනිමින් ද පණිවිඩ හුවමාරු කරගෙන ඇති අතර නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව එම ඉතිහාසය බීබීසි සිංහල වෙත මෙලෙස විස්තර කළේ ය.
"ඒ දවස්වල අශ්වයන් පිටේ ගිහිල්ලා එක එක තැන්වල බැඳලා තියලා, තැනින් තැනට හුවමාරු වෙලා තමයි පණිවිඩ ගෙනිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව ඊතල පොයින්ට් එකෙන් පොයින්ට් එකට විදලා යවන ක්‍රම තිබිලා තියෙනවා. ඒ වගේම මිනිස්සු කැළෑ මැද්දෙන් එහෙම පණිවිඩ අරන් ගිහින් තියෙනවා, එතකොට ආරක්ෂාවට ආයුධ පාවිච්චි කරලා තියෙනවා. කරුවලට ලන්තෑරුම් අරගෙන ගිහින් තියෙනවා. ටිකක් දියුණු වෙනකොට සත්තු පාවිච්චි කරලා තියෙනවා. පරවියන්ගේ කකුලේ බැඳලත් තැපෑල මුල් කාලයේ පණිවිඩ යවලා තියෙනවා," ඔහු පැවසීය.
තැපෑලට ප්‍රවාහනය එකතු වීම
මුද්දර හඳුන්වා දීමත් සමග ම අශ්ව කරත්ත, නැව් සහ දුම්රිය වැනි ප්‍රවාහන සේවා තැපැල සේවයේ පණිවිඩ හුවමාරුව සඳහා එක් කර ගෙන තිබේ. අදටත් පවතින තැපැල් දුම්රියේ ආරම්භය ද එලෙස සිදුවූවකි.
1892 වසරේදී කොළඹ සහ පේරාදෙණිය අතර පළමු ජංගම දුම්රිය තැපැල් කාර්යාලය ධාවනය කර ඇත.
ගුවන් තැපැල් සේවය 1936දී ආරම්භ වී ඇත. එම වසරේ දෙසැම්බර් මාසයේදී ටාටා ගුවන් සමාගම එක්සත් රාජධානියේ සහ අනිකුත් බටහිර රටවල නත්තල් තැපෑල කොළඹට ගෙනවිත් තිබේ.
කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් තැපැල් සේවය 1949දී ඇරඹි බව තැපැල් ඉතිහාසයේ සඳහන් වේ.
තැපැල් පත සහ මුද්දරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ පළමු තැපැල් මුද්දරය පැංස 6ක් මිල කර ඇති අතර එය නිකුත් කර ඇත්තේ වසර 1857දී ය. ලංකා මුදලින් මුද්දරයක් නිකුත් කරනු ලැබුවේ, 1893දී වන අතර වසර 1958 මැයි 14 වන දා සිංහල අකුරු සහිත පළමු තැපැල් මුද්දරය නිකුත් විය.
ශ්‍රී ලංකාවේ පළමු තැපැල් පත නිකුත් කර ඇත්තේ, 1872 අගෝස්තු 22 වන දා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ටක්ක ටිකි ටක්ක" හදිසි පණිවිඩ සහ දුරකතන ඇමතුම් ආරම්භය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කාලයේ ඇවෑමෙන් තාක්ෂණයේ දියුණුවත් සමග හදිසි පණිවිඩ යැවීමට විවිධ ක්‍රම උපයෝගී කර ගෙන ඇති අතර නියෝජ්‍ය තැපැල්පතිවරයා ඒවා විස්තර කළේය.
"මෝර්ස් කියලා ආවා ඊට පස්සේ ටෙලෙක්ස් කියලා ආවා. මෝර්ස් කියන එක නැව්වලට පණිවිඩ සම්ප්‍රේෂණ කරන්නත් පාවිච්චි කළා. "ටක්ක ටිකි ටක්ක," සද්ද තුන විතරයි ඒකේ තියෙන්නේ. ඒ ශබ්ද තුනෙන් තමයි මුල් ඇල්ෆර්බට් එක ම කවර් වෙන්නේ. ඒක ගහන සද්දේ අහගෙන ඉඳලා අනිත් පැත්තේ කෙනා ඒක රිසීව් කරනවා. ඊට පස්සේ ඒක ටෙලෙක්ස්වලට සම්ප්‍රේෂණය වුණා."
මෙරට දුරකතන සේවය ආරම්භ වූ කාල වකවානුවේ එක් පළාතක සිට තවත් පළාතකට දුරකතන ඇමතුම් ලබා ගැනීම හැකියාව නොතිබි අතර තැපැල් කාර්යාල හරහා හුවමාරු මධ්‍යස්ථානය අමතා පිට පළාතට දුරකතන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් ද අතීතයේ සලසා දී තිබූ බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව බීබීසි සිංහල වෙත පැවසීය.
එකල පැවති තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තුමේන්තුව 1980 වසරේදී දෙකඩ කර දෙපාර්තුමේන්තු දෙකක් බවට පත් කර ඇත.
එම වකවානුවේ පැවති තැපැල් බැංකු ක්‍රමය ද කාලයාගේ ඇවෑමෙන් අහෝසි වී ගොස් තිබේ.
සන්නිවේදනය සීමා වී තිබූ තැපැල් දෙපාර්තුමේන්තුව කාලයත් සමගම ජනතාව වෙත විවිධ සේවා ලබා දෙන ස්ථානයක් බවට පරිවර්තනය විය. ඒ අනුව දැනටත් තැපැල් දෙපාර්තුමේන්තුව හරහා සේවා රාශියක් ක්‍රියාත්මක වේ.
තවමත් තැපෑලේ ක්‍රියාත්මක සේවා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විදුලි බිල්පත්, ජල බිල්පත් හා දුරකතන බිල්පත් ගෙවීම, රජය මගින් ලබා දෙන විවිධ ආධාර, විශ්‍රාම වැටුප් ගෙවීම තැපැල් ස්ථාන හරහා සිදු කෙරේ.
දේශීය මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පාර්සල් යැවීමේ කුරියර් සේවාව ද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව මගින් සිදු කරනු ලබන බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව පැවසීය.
එමෙන් ම පෞද්ගලික ලෙස මුද්දර මුද්‍රණය කරන සේවාවක් ද තැපැල් දෙපාර්තුමේන්තුවෙන් ක්‍රියාත්මක කරයි.
"පෞද්ගලික මුද්දර කියලා තියෙනවා. වෙඩින් කපල් එකකට පුළුවන් පින්තූරේ දාලා මුද්දරයක් ගහලා වෙඩින් ඉන්විටේෂන් යවන්න. විශේෂ අවස්ථාවලට ඇනවසරිවලට ඒ වගේ මුද්දර මුද්‍රණය කරගන්න පුළුවන්," යැයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසීය.
එමෙන් ම, තැපැල් දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරක බංගලා කිහිපයක් ද පවතී.
නුදුරේදී ම නිවසට ම මුදල්
ඉදිරියේදී හඳුන්වා දීමට තවත් සේවාවක් ගැන ද නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව කරුණු පැහැදිලි කළේ ය.
"පිටරටින් සල්ලි ආවොත්, ලංකාවෙන් සල්ලි යවන්න ඕන වුණොත්, හැම තැන ම බැංකු නැහැ. වෙන රටවල තියෙනවා සල්ලි ගෙදරට ම ගිහින් දෙන සේවාවක්. අපි බලාපොරොත්තු වෙනවා ගෙදරට ම මුදල් ගිහිල්ලා දෙන සේවාවක් ආරම්භ කරන්න."
'ස්පීඩ් පෝස්ට් එක ඉතා ම හොඳින් ක්‍රියාත්මක වෙනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ විදේශයන්ට පාර්සල් යැවීමේ සේවාව කිහිපවරක් භාවිත කර ඇති ප්‍රසාද් [සැබෑ නම නොවේ] එම සේවය පැසසුමට ලක් කළේ ය.
"ස්පීඩ් පෝස්ට් එක ඉතා ම හොඳින් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ තැපෑලේ. මම ජපානයට තමයි පාර්සලය යැව්වේ. දින දෙකක්, දෙකහමාරක් වගේ ඇතුළත පාර්සලය ගියා. අපි නිතර ම කෑම වගේ දේවල් යවනවා," යැයි ඔහු බීබීසි සිංහල වෙත පැවසීය.
පිට රටට පාර්සල් යැවීමට පවතින වෙනත් කුරියර් සේවාවලට වඩා අඩු මුදලකින් වේගවත්ව සහ වගකීමක් සහිතව ශ්‍රී ලංකා තැපෑල හරහා විදේශ රටවලට පාර්සල් යැවිය හැකි බව ඔහු ලද අත්දැකීමෙන් ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කළේ ය.
'මම කවදාවත් ලියුම් යවලා නැහැ'
නව යොවුන් වියේ තරුණයෙකු වන කවින්ද ප්‍රනාන්දු කිසි දිනක තැපැල් සේවය හරහා පුද්ගලික ලිපි ගනුදෙනුවක් කර නැත.
"මම කවදාවත් ලියුම් යවලා නැහැ. බැංකුවලින් ආපු ලියුම් දෙක තුනක් ඇරෙන්න, වෙන පෞද්ගලික ලියුම් මට ඇවිල්ලා නැහැ," යැයි ඔහු බීබීසි සිංහල වෙත පැවසීය.
තැපෑල තවදුරටත් අවශ්‍ය ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තාක්ෂණයේ දියුණුව හේතුවෙන් මේ වන තෙක් තැපැල් සේවය භාවිත කර නොමැති, ලෝකයේ දියුණු ම සන්නිවේදන තාක්ෂණ ක්‍රම භාවිත කරන, නව පරපුර නියෝජනය කරන කවින්ද ප්‍රනාන්දු පවසන්නේ තවදුරටත් මෙරට තැපැල් සේවය නොනැසී පැවතිය යුතු බව ය.
"ඒක නැති වෙන්නේ නැතුව තියෙන්නත් ඕනේ ඒවා. තාක්ෂණය කොච්චර තිබුණත් කරන්ට් එක නැති වුණොත් ඒවා පාවිච්චි කරන්න අමාරුයි. හැබැයි ලියුම භෞතික දෙයක් නේ. මොනවා වුණත් ඒක තියෙනවා. සාක්ෂි විදිහට තියා ගන්න පුළුවන් නේ ඕන වෙලාවක.
"ඊ මේල් එකක් හරි වට්ස්ඇප් පණිවිඩයක් එකක් හරි දාපුව ම ඒක සර්වර් එකක ඩවුන්ලෝඩ් වෙලා තියෙන දෙයක්, ඕක නිකමට හරි ඩිලීට් වුණොත්, ඩිලීට් වුණා ම තමයි. සමහර වෙලාවට අපි ඩිවයිස් එක මාරු කරද්දි වට්ස්ඇප් මැසේජ් නැති වෙන අවස්ථා තියෙනවා. ලියුමක් වගේ දෙයක් අපි ෆයිල් කරලා හරි අපි ගාව තියා ගත්තොත් අවුරුදු ගාණනක් ඒ විදියට ම තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙලාවට ඒක තියෙනවා. සමහර විට ඒක අතීත මතකයක් වගේ වෙන්න පුළුවන්," යැයි කවින්ද ප්‍රනාන්දු බීබීසි සිංහල වෙත පැවසීය.
'මානව සංහතිය පවතින තුරු තැපෑල අත්‍යවශ්‍ය සේවාවක්'
කොළඹ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය අජන්තා හපුආරච්චි තැපැල් සේවය හඳුන්වනු ලබන්නේ, ප්‍රාථමික මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තිබිය යුතු සේවාවක් ලෙස ය.
"තාක්ෂණය දියුණු වුණාට කරන්න බැරි දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු විශ්වවිද්‍යාලයෙන් මට එවන්න තියෙනවා තීසිස් එකක්. ඕනේ නම් මට ඔන්ලයින් මාර්ගයෙන් මට ගෙන්ව ගන්න පුළුවන්. නමුත් ඊට වඩා මට ඒක භෞතිකව අවශ්‍ය නම් මුහුදින් හරි ගුවනින් හරි එහෙම නැතිනම් කෝච්චියෙන් හරි ඒ වගේ මොන ම ක්‍රමයට හරි යවන්න අපිට අවශ්‍ය වෙනවා තැපෑල."
වට්ස්ඇප් එකේ කවුරු හරි මට එවන්න පුළුවන් ඔර්ජිනල් ලියුමක්, ඒ කලර්ස් දාලා ඒ විදියට ම. ඒත් ඒක ඔර්ජිනල් එක නෙමෙයි නේ. ඒකත් එන්නේ තාක්ෂණය හරහා නේ. කවදා හරි ආයේ ඕනෑ කමක් වෙච්ච වෙලාවට ඔර්ජිනල් පෙන්වන්න කියන්නේ ඒකනේ," යැයි බීබීසි සිංහල වෙත පැවසූ මහාචාර්යවරිය තැපැල් සේවය පොදු ජනයාට මෙන් ම රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය සේවාවක් බව අවධාරණය කළා ය.
තැපැල් සේවයේ නීතිමය සේවය මහාචාර්යවරිය විස්තර කරන්නේ, ලියාපදිංචි තැපැල් සේවාවේ ඇති නෛතිකභාවය ද විස්තර කරමිනි.
"රෙජිස්ටර් පෝස්ට් එකේදී රෙජිස්ටර් කරලා මුද්දරයක් ගහනවානේ, එතකොට ඒක රාජ සන්තකයි. මට ඒක ආපහු ඉල්ලන්න බෑනේ. එතකොට රාජ සන්තක භාණ්ඩයක් හැටියට තමයි සැලකෙන්නේ. අන්න ඒ වගේ නෛතික පැත්තක් තියෙනවා. රෙජිස්ටර් පෝස්ට් එකේදී අපිට කුවිතාන්සියක් දෙන්නේ, හදිස්සියේවත් ඒ භාණ්ඩය ගිහිල්ලා තිබුණේ නැතිනම්, මේක ගිහිල්ලා නෑ කියලා ඒගොල්ලන්ට විරුද්ධව අපිට ඇක්ෂන් ගන්න පුළුවන් වෙන්න."
තාක්ෂණය කෙතරම් දියුණුවට පත්වුව ද තැපැල් සේවය හරහා සිදු කරන ඇතැම් දේ නවීන තාක්ෂණික සන්නිවේදන ක්‍රම හරහා සිදු කළ නොහැකි බව අවධාරණය කළ මහාචාර්ය අජන්තා හපුආරච්චි මානව සංහතිය පවතින තුරු තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බව අවධාරණය කළා ය.














